ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පවතින්නේ
මුළුමනින්ම මෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පවතින කලාවක් විදිහටයි. එය මෙහෙයවන අධ්‍යාපන
ආයතනවල සිට සංස්කෘතික ආයතන දක්වා ආයතන, සම්මාන
උලෙළවල් ආදිය හරහා එන නිර්ණායක සහ අනුග්‍රහක වෙළෙඳපොළවල් සියල්ලම ප්‍රධාන වශයෙන් රාජ්‍යය කේන්ද්‍ර කරගෙන
පවතින ඒවා ය.
නාට්‍ය කලාව රාජ්‍ය අංශය මෙන්ම
පෞද්ගලික අංශයක් ද එක හා සමානව ඇති කර්මාන්තයක් බවට පත් වී පුළුල් වෙළෙඳපොළක් බවට
පත් විය යුතු බව මම නැවත නැවත කරන යෝජනාවයි. රාජ්‍ය අංශයකින් විතරක් පවතින්නා වූ,
විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි අනාදිමත් කාලයක සිට
පවතින දූෂිත රාජ්‍ය යන්ත්‍රයක් තුළ, සියලුම
දේවල් අතිශය දූෂිත වී, පිරිහීමට ලක් වී ඇති සේ ම නාට්‍ය කලාව
ද එම තත්ත්වයට පත් වන බව අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නාට්‍ය
කලාවට විතරක් විශේෂ සමාවක් දෙන්නට හෝ පලා යන්නට හෝ ස්ථානයක් නැහැ. නමුත් ඒ පිරිහීම නාට්‍ය කලාව ඇසුරින් ඔබ කෙතරම් දුරට
පරීක්ෂාවට ලක් කරලා තියෙනවා ද?
කෙසේ හෝ නාට්‍ය කලාව ගොඩනැඟීමට යන ගමන
ඇත්තේ රජයට බල කර රජය හරහා වෙනස් කිරීමට පුළුවන් දේවල්වලින් බව මම අවධාරණය කරමින්
ඉන්න යෝජනාවයි. එසේම මම යෝජනා කරන්නේ එසේ රජය හරහා හෙවත් ජනතා මුදල්වලින් කරගැනීමට
අවශ්‍ය දේවල් විය යුත්තේ දීර්ඝකාලීනව යම් දියුණු නාට්‍ය සංස්කෘතියකට, නාට්‍ය සම්ප්‍රදායයකට පදනම දමන ආකෘතිමය
වෙනස්කම් විනා එදා වේලට කීයක් හරි රජයෙන් පන්නාගෙන සාක්කුවට දමා ගැනීමේ ක්‍රමය
නොවෙයි. නමුත්, අපට හැමදාම ගොඩනඟා ගැනීමට නොහැකි වූයේ
එවැනි පොදු යහපතට අදාළ ආකෘතිමය දේවල් වන අතර, අප හැමදාම උත්සාහ කළේ කෙසේ හෝ මූල්‍යමය හෝ භෞතික අනුග්‍රහයක් රජයෙන්
තමන්ගෙ වැඩකට ලබා ගැනීමයි. උදාහරණයකට ඉන්
ප්‍රධාන එකක් නම්, උලෙළවල්වලින් දිනන නාට්‍යකරුවන්ට දිය
යුතු තෑගි සහ වරප්‍රසාද එම වසරේම නාට්‍යකරුවන් පමණක් අරගල කර ලබා ගන්නට උත්සාහ
කිරීම. රජය හරහා සියලුම දෙනාට ප්‍රයෝජනවත්
පුළුල් නාට්‍ය සංස්කෘතියකට පදනම වැටෙන බොහෝ සංශෝධන කර ගත හැකි නමුත්, එසේ කිරීමට ඉදිරිපත් වීමට කිසිවෙක් ඇති බවක්
පෙනෙන්නට නැහැ. හැම කෙනෙක්ම වගේ උත්සාහ කරන්නේ තමන්ගේ ආයතනයට, සංවිධානයකට හෝ තමන්ගේ කණ්ඩායමට එනම්, තමන්ට පමණක් යමක් පෞද්ගලිකව රජයෙන් ගන්න
පුළුවන් ද කියන එකටයි. සාමාන්‍යයෙන් බොහෝ විට සිදු වන්නේ, නාට්‍යකරුවන් එළියේ දී මාධ්‍යවල
දී සියලුම නාට්‍යකරුවන් වෙනුවෙන් කතා කරන
බව ප්‍රකාශ කරන නමුත්, ප්‍රායෝගිකව කරන්න ගියාට පසු පොදු
යථාර්ථයන් ගොඩනඟා ගැනීමේ අවස්ථාවේ දී බොහෝ අය මඟඇරලා යාමයි. (මම මේ සම්බන්ධව දීර්ඝ
විස්තරයක් වෙනත් ලිපියක දී කතා කළා)
බොහෝ කාලයක ඉඳන් මේ පවතින ක්‍රමය
ක්ෂණික සහ තාවකාලික ලාභවලින් යැපෙන ක්‍රමයක් සකස් වෙලා තියෙන බව අපි දන්නවා.
මම යෝජනා කරමින් ඉන්න පොදු යහපත සඳහා
අවශ්‍ය දීර්ඝකාලීනව හා මහා පරිමාණයේ ආකෘතිමය වෙනස්කම්වලට යාම යනු පවතින ක්‍රමය
විශාල වශයෙන් විවිධ අභියෝගවලට, තර්ජනවලට සහ සංශෝධනවලට ලක් වීමයි. එවිට
එම පවතින ක්‍රමයෙන් යැපෙන්නා වූ කිසිම කෙනෙක් ඊට සහයෝගයට එයි කියලා හිතන්න
අමාරුයි. මෙය නාට්‍ය කලාව සම්බන්ධයෙන් පමණක් නොව ශ්‍රී ලංකාව වැනි කාලාන්තරයක් ඉතා
දූෂිත, පිරිහී ගිය ක්‍රමවලින් පැවැතීමේ වාසි
ගන්නට පුරුදු වී සිටිය පසු ඒවා වෙනස් කරන්නට, සංශෝධනය කරන්නට අතිශයින් අපහසු වීමේ පොදු යථාර්ථයයි. වෙනස්කම් සඳහා
කෙතරම් පිරිස් කතා කළ ද, හරියටම අවශ්‍ය වෙනස්කමට යන කොට බොහෝ අය
මඟහරින්නේ මේ නිසයි. එකම රටේ නාට්‍ය කලාවත් මේ අර්බුදයටම මුහුණ දී නැද්ද?
රජයෙන් වාර්ෂිකව නාට්‍ය කලාවට වෙන් කරන ප්‍රතිපාදනවලින් එම වසර තුළ සිදු වී
ඇත්තේ මොනවා දැයි ඔබ පරීක්ෂාවකට ලක් කළොත් තේරේවි, එවැනි මුදලකින් මීට වඩා අර්ථවත් දීර්ඝකාලීනව ප්‍රයෝජනවත් වන කොයි
තරම් දේවල් කරන්න පුළුවන් ද කියා. ඇත්ත වශයෙන්ම මම දන්නා තරමින් කිසිවෙක් එම
මුදල්වලට සිදු වන සම්පූර්ණ දේ පිළිබඳව එවැනි පරීක්ෂාවකට ලක් කරපු අවස්ථාවක් පිළිබඳ
වාර්තා වෙලා නෑ. ශ්‍රී ලංකාව වැනි රටවලට දියුණු වීමට විවිධ සංවර්ධන වැඩවලට මුදල්
නැති බව මතුපිටින් පෙනුණත්, ලැබෙන මුදලට වුව සිදු වී ඇත්තේ කුමක්
දැයි ඔබ පරීක්ෂා කළහොත්, තේරේවි ප්‍රශ්නය මුදල් නොවන බව. එම
දූෂිත ක්‍රමයට තව ඒ වගේ දෙගුණයකින් මුදල් ලැබුණත්, සිදු වන්නේ එම මුදලට සිදු වූ දෙයම බව ඔබට වැටහේවි.
නාට්‍ය කලාව සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය
දැඩි ලෙස විවේචනය කරපු ඔවුන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ පෙන්නපු සුගතපාල ද සිල්වා,
බන්දුල ජයවර්ධන, ගාමිණී හත්තෙට්ටුවේගම සහ ධර්මසිරි බණ්ඩාරනායක වැනි නාට්‍යකරුවන්ගේ හඬ
වඩාත් ප්‍රබලව තිබුණු කාලවල දී මීට වඩා රජයේ පාර්ශ්වයෙන් නාට්‍ය කලාව සම්බන්ධව ක්‍රියා
කෙරුණ හැටි අපට දකින්නට තිබුණා. ක්‍රමක්‍රමයෙන් රජයේ නාට්‍ය ක්‍රියාකාරකම්වල ප්‍රචාරය
කරන පෝස්ටරය පවා බාල කොළවලින් අතිශය අසාර්ථක විදිහට නිර්මාණය කරමින් ප්‍රචාරය
සඳහාවත් කිසිම උනන්දුවක්, උද්‍යෝගයක් නැතිව බොහෝ අවස්ථාවල සම්පත්ධාරීන් ලෙසට ද කවුරු හෝ දැන හඳුනන කෙනෙක්
දමාගෙන කොහේ හෝ තැනක මොනවා හෝ කරලා දාන ගණනට වැටිලා තියෙනවා. කනගාටුව නම්, රජය එසේ කිරීමටත් වඩා අද වන විට නාට්‍යකරුවන්ගෙන් ද ඊට
විශාල විරෝධයක් එන්නෙ නැති වීමයි. ක්‍රමක්‍රමයෙන් නාට්‍යකරුවන් ද මේ පවතින රාජ්‍ය
තන්ත්‍රයට ම එක්ව සහයෝගය දෙමින් නැත්නම්, නිහඬව විරෝධය පළ නොකරමින් ඒ සමඟ යන්නට හදන ගතියක් පෙනෙනවා. එහෙම වුණේ
කෙසේ ද?
මීට ප්‍රධානම හේතුව තමයි, මම මීට පෙර ඔබට පෙන්වා දුන් පරිදි නාට්‍ය කලාව
පුළුල් වෙළෙඳපොළ බලවේගයක් විසින් හසුරුවන්නේ නැතිව රාජ්‍යතන්ත්‍රය සහ
නිලධාරීවාදයක් විසින් හසුරුවනු ලබන ඒකපාර්ශ්වීය තත්ත්වයක නරකම ප්‍රතිඵල කරා ක්‍රමක්‍රමයෙන්
පත් වීම. ක්‍රමයෙන් නාට්‍ය කලාවට අදාළ රජයට සම්බන්ධ නිලධාරීන් බවට පත් උනෙත් බොහෝවිට නාට්‍ය කලාවේ ම විවිධ විදිහට ක්‍රියා කරන නාට්‍යකරුවන් සහ
කලාකරුවන් මයි. එබැවින් නාට්‍යකරුවන්ට ඔවුන් සමඟ විශාල පෞද්ගලික සම්බන්ධතා තිබුණා.
නාට්‍ය කලාව ගැන ලියන අය ද, නිලධාරීන් ද සම්මාන විනිශ්චයකරුවන්.
මොවුන් සියලුම දෙනා බොහෝ විට එකම පිරිසක් බවට පත් වුණා. රජයට එරෙහි වීම යනු ඔවුන්ට
එරෙහි වීමක් බවට පත්වුණා. එක පැත්තකින් ඔවුන් තරහ කර ගන්නවාට වඩා ඔවුන්ට විරෝධය පළ
නොකර හිඳීමෙන් ලැබෙන වාසිය වැඩි වුණා. (නාට්‍ය කලාව පිරිහීමේ ම ලක්ෂණයක් තමයි අදහස් විවේචන භාරගන්නට අකමැති වීම ) එක් පැත්තෙන් අර සුගතපාල ද සිල්වා ලා
හිටිය කාලයේ මෙන් නාට්‍යකරුවා තදබල දේශපාලන ආස්ථානවල ඉන්නට උත්සාහ කරනවාට වඩා
පවතින තත්ත්වයට අනුගත වී ආරක්ෂා වෙන්න නැඹුරු වුණා. මේක කිසි දිනෙක දියුණු වීමට
නොහැකි අතිශය දූෂිත පිරිහීමේ තත්ත්වයක් වුණත්, එම පිරිහුණු, දූෂිත තත්ත්වය දැනෙන්නෙ නැති වන තරමටම
අප සියලුම දෙනා එහි කොටස් බවට පත් වී එය සාමාන්‍ය සම්මතය සහ රටාව බවට පත්වෙලයි
තියෙන්නේ.
මෙය අතිශයින්ම සංකීර්ණ සමාජ ක්‍රමයක්.
නාට්‍ය කලාව තුළ මේ වෙන කොට රාජ්‍ය සහ රාජ්‍ය විරෝධී නමින් ප්‍රබල දෙපාර්ශ්වයක්
දකින්නට නැති තරම්. ඒ වගේම රජයේ පාර්ශ්වය
නියෝජනය කරන යම් පිරිසක් ඇත්නම්, ඔවුන්
රජය ආරක්ෂා කිරීමට විශේෂයෙන් උත්සාහ කරන අය ද නෙමෙයි. රජයට වඩා ඒ පිරිස්වල ඇති
පෞද්ගලික ගනුදෙනු සහ පෞද්ගලිකව රජය යොදා ගනිමින් කරන්නට පුළුවන් දේවල් වඩා
තීරණාත්මක භූමිකාවක් කරනවා. මේ ක්‍රමයට එරෙහි වී එය ප්‍රශ්න කර එහි දූෂණය සොයන
කිසිවකුට පවතින්නට අපහසුයි. ඉතා පහසුවෙන් එවැන්නන්ව කපාදැමීමට සහ මර්දනය කිරීමට
හැකියාව තියෙනවා. නාට්‍යකරුවන් පවා නාට්‍යකරුවන්ව ම ප්‍රශ්න කරන තරමට මේ ක්‍රමයේ
මම ඉහතින් පෙන්වූ කිසිවක් ප්‍රශ්න කරන්න හෝ විමසන්නට යන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් රජයට බලපෑම් කිරීමට සහ පවතින ක්‍රමය වෙනස් කිරීම් වලට නාට්‍යකරුවන් තුළින් බලවේගයක් ගොඩ නැගීම ගැන හිතන්නට අපහසුයි. ඉහත මගේ අවධානයට සහ විවේචනයට ලක්වන්නේ පුද්ගලයන් වශයෙන් ඔවුන් කවුද යන්න නොව ක්‍රමයක් ලෙසට මෙය වෙනස් වන්නට බැරි ආකාරය හැදී ඇති හැටියි. කෙසේ හෝ මේවා වෙනස් කිරීමට සැබෑ වුවමනාවෙන් ඇති නිලධාරීන් හෝ නාට්‍යකරුවන් ඇත්නම් ඔවුන්ට මගේ විවේචනය එල්ල වෙන්නේ නැති බව සලකන්න.
මේ සන්දර්භය තුළ පවතින තත්ත්වයන් ප්‍රශ්න
කරන්නට, වෙනස් කරන්නට රජයට බලපෑම් කරන්න ගොනු
වෙන්නේ කොහොම ද? ඒ කවුද කියන එකත් අතිශය සංකීර්ණ ප්‍රශ්නයක්
ලෙසට ඉතිරි වෙනවා.
මම මෙතැන් සිට ඉදිරියේ දී කතා කරන්න
බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් රජයට කළ යුතු බලපෑම්, යෝජනා මොනවා ද යන්න පිළිබඳවයි. එවැනි ප්‍රධාන කීපයක් ඉදිරියේ දී
සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සමහර යෝජනා මේ වෙන කොටත් විවිධ අර්බුද යටතේ මම
කතා කරලා තියෙනවා.
පින්තූරය:
‘ඩබල ්ගේම්කාරයෝ’ නාට්‍යය: ‘ඩබල්
ගේම්කාරයෝ’ නාට්‍යයට පාදක වෙන්නේ එක්තරා නාට්‍ය කණ්ඩායමක් විසින් පවතින රජය
විවේචනය කරන නාට්‍යයක් පුහුණු වීම් වන
අතරවාරයේ දී එම නාට්‍ය කණ්ඩායමට මැර පිරිසක් පැන පහර දෙන විට එතැනින් පැන දුවන
නළුවන් දෙදෙනකු ඔවුන්ට සිදු වූ දේ සහ නාට්‍යයේ කතාව අපට කීමයි. මෙවැනි නාට්‍ය
කරන්නට යාමේ දී මිතුරන් විසින්ම එකට වැඩ කරපු එකා පාවාදීම පිළිබඳව සහ එක් චරිතයකට
සමාජය පිළිබඳව ඇති කලකිරීම, වෛරය
සහ පශ්චත්තාපය පිළිබඳව කතා කිරීමයි.
No comments:
Post a Comment