ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. මේ ලිපියෙන් අපි විමසන්න යන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැන්නක් වඩා සංවිධානාත්මක ව සහ සැලැසුම්සහගතව යොදා ගැනීම සම්බන්ධවයි.
සංචාරක කර්මාන්තය කියලා කියන්නේ රටකට කෙළින්ම විදේශ ආදායම එන මාවතක් පමණක් නොව සංස්කෘතික වශයෙන් ද රටවල් අතර කසාදයේ සිට සංස්කෘතික ආදී විවිධ හුවමාරු සහ ගනුදෙනු සිදු වෙන අතිශය වැදගත් ක්ෂේත්‍රයක්. අද එය ‘කර්මාන්තයක්‘ ලෙසට හැඳින්වුව ද ඉතිහාසය පුරාම විදේශිකයන් සංචාරය සඳහා තවත් රටකට යාම රටවල් අතර සංවර්ධනයට බොහෝ සාධනීය දේවල් ඇති කරලා තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ වඩාම ජනප්‍රිය සංචාරකයන් එන ස්ථානයක් වුවත්, එය ශ්‍රී ලංකාවට විදේශ ආදායම විශාල වශයෙන් ලබාදෙන මාර්ගයක් වුවත්, ඒ දෙස නාට්‍ය කලාව ආදී විෂයයන් ද ඇතුළු බොහෝ විෂයයන් ඇසුරින් වඩා පුළුල් අර්ථයෙන් බලා ඇති බවක් පෙනෙන්නට නෑ.
ශ්‍රී ලංකාවට එන සංචාරකයන් උදෙසා විශේෂයෙන් කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වැඩසටහන් සහ කලා සංස්කෘතික භාණ්ඩ ආදී නිර්මාණ දෙස බලන කොට පෙනෙන්නේ ඒවා සියල්ලම මෙන් සාම්ප්‍රදායික අභිචාර කලා ඇසුරින් ඉදිරිපත් කරන ඒවා බවයි. විශේෂයෙන් ඒවායේ වුව ද, ගීත, නැටුම් ආදී ප්‍රාසාංගික අංශයට එනකොට එතරම් සංවිධානය වී ඇති බවක්ද පෙනෙන්නට නැහැ.
එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, ජර්මනිය, ඇමෙරිකාව ආදී බොහෝ බටහිර යුරෝපීය රටවල් පමණක් නොව ජපානය, චීනය, ඉන්දියාව සහ අප්‍රිකාව ආදී රටවලටත් එන විදේශිකයන්ගෙන් විශාල ප්‍රමාණයක් එම රටවල වේදිකා නාට්‍ය නැරඹීමට පෙළඹිලා තියෙනවා. එකක්, එම රටවලට ආවේණික වේදිකා නාට්‍ය මොනව ද කියලා ඒ සම්බන්ධව කුතුහලයක් ඇති විදේශිකයන් දකින්න උනන්දුයි. අනික් පැත්තෙන් ඒවා හොඳ වේදිකා නාට්‍ය නිර්මාණ කරන රටවල් ලෙසට සංචාරකයන් දැනගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තය සම්බන්ධ ප්‍රචාරයේ දී ඒ බොහෝ රටවල් වේදිකා නාට්‍ය පවා ඒවාට ඇතුළත් කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් මේ සංචාරකයන්ගෙන් බහුතරයක් එන්නේ සති කීපයක හෝ මාස කීපයක විවේකයකටයි. එම විවේක කාලය තුළ ඔවුන් තමන් ගැවසෙන ප්‍රදේශ අවට ඇති බොහෝ ක්‍රියාකාරකම් වින්දනය කරන්නට සොයනවා. කලාව සම්බන්ධයෙන් ඒවා අවශ්‍යයෙන්ම සාම්ප්‍රදායික හෝ පැරැණි දේවල් විය යුතුම නැහැ. ඒ සඳහා සමකාලීන නාට්‍ය නිෂ්පාදන ඉතා පහසුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මම සමකාලීන නාට්‍ය යනුවෙන් අදහස් කරන්නේ ‘මනමේ’, ‘සිංහබාහු’ වැනි නාට්‍යවල සිට අද වර්තමානයේ අපි නිෂ්පාදනය කරන සියලුම ස්වතන්ත්‍ර, පරිවර්තන ආදී නාට්‍ය සහ රංග නිර්මාණයි.
ශ්‍රී ලංකාවට එන සංචාරකයකුට එවැනි නිර්මාණ දැනට බලා ගැනීමට ඇති ප්‍රධාන ස්ථානය බවට පත් වී ඇත්තේ මූලික වශයෙන් ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දේශීය හෝ විදේශීය ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රිය තරුපහේ සමහර හෝටල්වල ද ඔවුන්ගේ රංග අවකාශයක නාට්‍ය ආදී නිර්මාණ ඉඳහිට ඉදිරිපත් කරනවා. මගේ පවුලේ බොහෝ අය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අය නිසා බොහෝ කාලයක සිට මම අත්දැකීමෙන්ම සංචාරක ව්‍යාපාරය තුළ ඉඳලා තිබෙන නිසාත්, හෝටල් ආදිය මෙහෙයවන සංචාරක ව්‍යාපාරයේ බොහෝ අයගේ අදහස නම්, ඉදිරිපත් කිරීමට තරම් නාට්‍ය ප්‍රමාණයක් හෝ නාට්‍ය බලන්න යන්න තැන් හෝ හොයා ගැනීමට නැති බවයි. එවැනි දෑ ඇත්නම් සංචාරකයන් සිටිනා බව ඔවුන්ගේ අදහසයි.
කෙසේ හෝ එසේ සංචාරකයන් උදෙසා රංගකලා නිර්මාණ ඉදිරිපත් කිරීම් ගැන සලකා බලනවා නම්, ඒ සඳහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. සංචාරකයන් වඩාම නවාතැන්ගෙන සිටින හික්කඩුව, උණවටුන ආදී සංචාරක ජනපද මේ සඳහා වඩාම සුදුසු ස්ථානයි. එම ස්ථානවල සම්පූර්ණ රඟහලක් නිර්මාණය කරන්නට පුළුවන් නම්, වඩා හොඳ නමුත් බොහෝ රටවල සාර්ථකව අත්හදා බලා තියෙන පරිදි එවැනි රඟහලකට වඩා කූඩාරම් රඟහල් හෝ තාවකාලික රඟහලවල් අපට දැනට යොදාගන්න පුළුවන්. ප්‍රේක්ෂකයන් සීයේ සිට දෙසීය දක්වා පහසුවෙන් ඉන්දවන්න පුළුවන් වේදිකාවක් සමඟ නිර්මාණය කරන කූඩාරම් රඟහලවල් තිබෙනවා. බාහිර ශබ්ද එන එක අවම කර අවශ්‍ය නම්, වායුසමීකරණ පහසුකම් සහිතව අඩු වියදමකින් ඒවා පිහිටුවන්න පුළුවන්. කූඩාරම් රඟහලවල් කීව ද, එය දර්ශනයෙන් දර්ශනයට ගලවන්න හදන එකක් නොව දශක කීපයක් පවතින ලෙස එක තැනක තියෙන එකක්. මේවා දේශීයව හදන්නත් පුළුවන් විදේශයෙන් ආනයනය කරන්නත් පුළුවන්.
එවිට එවැනි ස්ථානයක පෙන්විය හැකි රංග ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් කොටස් 3කින් අපිට හඳුනා ගන්න පුළුවන්.
1. ඉහතින් සඳහන් කළ ආකාරයේ සමකාලීන නාට්‍ය හා අභින ආදී විවිධ රංග ක්‍රියාකාරකම්.
2. සාම්ප්‍රදායික ජන නාට්‍ය හා අභිචාරී රංග ක්‍රියාකාරකම්.
3. විවිධ රංගන ප්‍රසංග (Vaudeville). බටහිර ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය ප්‍රසංග විශේෂයක් වන මේවායේ ස්වභාවය වන්නේ ගීත, නැටුම් සමහර විට කෙටි නාට්‍ය අභින, මැජික් හෝ කුඩා සර්කස් දර්ශන ආදී විවිධ අංග පැය දෙකක් වැනි කාලයක් තුළ පෙන්වීම.
මේ විදිහට ගත් කල මෙවැනි කූඩාරම් රඟහලක් තුළ සංචාරක ජනපදයක දිනපතා මුළු මාසෙම ප්‍රසංග ඉදිරිපත් කරන්නට පුළුවන්.
මගේ යෝජනාව වන්නේ අත්හදා බැලීමක් වශයෙන් එක් සංචාරක ජනපදයක එක කූඩාරම් රඟහලකින් ආරම්භ කරන්න පුළුවන්. එය සාර්ථක නම්, රට පුරාම ඇති එවැනි සංචාරක ජනපදවල එම ව්‍යාපෘතිය ව්‍යාප්ත කර දියුණු කරන්න පුළුවන්.
මෙවැනි ව්‍යාපෘතියකට මුදල් යට කළාට අපතේ නොයන්නේ එය විදේශ ආදායම් ලබන ව්‍යාපෘතියක් නිසායි. (නිකම් හිතන්න එක් දර්ශනයකට ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5,000.00 ගාණේ දෙසීයක් විකුණුණොත් !) එකත් එකටම මීට යම් කිසි දේශීය ප්‍රේක්ෂකාගාරයක් ද නරඹන්නට එන්නට පුළුවන් බැවින්, එය එම ප්‍රදේශයේ දේශීය ප්‍රේක්ෂකාගාරයක් වර්ධනය වන්නට ද හේතු වෙනවා.
මේ සඳහා ඉංග්‍රීසි නාට්‍ය මෙන්ම සිංහල සහ දමිළ නාට්‍ය ද ඉදිරිපත් කරන්නට පුළුවන්. විශේෂයෙන් සිංහල හෝ දෙමළ ආදී නිර්මාණවල දී සංවාද. ඉංග්‍රීසියෙන් පරිවර්තනය කර තිරයක ඉදිරිපත් කරන තාක්ෂණයක් ඇති යන්ත්‍ර පවා මේ වන විට ඇවිල්ලා තිබෙන අතර, එවැනි නිර්මාණ සඳහා ඒවායේ සහයෝගය ලබා ගන්න පුළුවන්. කෙසේ හෝ මේ සඳහා විශේෂයෙන් ඉංග්‍රීසියෙන් නාට්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කරන්නට පුළුවන්. එකම දේ නම්, මෙවැනි විශ්වීය ප්‍රේක්ෂකාගාරයකට ඉදිරිපත් කරන කොට නිර්මාණ, ඉදිරිපත් කිරීම සහ සංවිධානය කිරීම ආදියෙහි ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්ටමක පැවැතිය යුතු බැවින්, සමහර විට නිර්මාණ තෝරා ගැනීමේ දී ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන්නට යම් අධීක්ෂණයක් අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා.
කෙසේ හෝ මෙවැනි අවස්ථාවකින් උදා වෙන විශේෂම දේවල්
රැසක් තියෙනවා: දේශීය නාට්‍යකරුවන්ට සහ රංග ශිල්පීන්ට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට නව ප්‍රේක්ෂකාගාරයක් (වෙළෙඳපොළක්) හමු වීම සහ ඔවුන්ට වෘත්තීයව පවතින්නට එයින් අවස්ථාව ලැබීම, විදේශ ආදායමක් ලැබීම, රටේ නාට්‍ය කලාවට තවත් මානයක් එකතු වී නාට්‍ය සංස්කෘතිය පුළුල් වීම. ඊට අමතරව එකත් එකටම ඉතාම හොඳ නිර්මාණවලට විදේශවල දර්ශන අරගෙන යාමට කැමැති විදේශීය අනුග්‍රාහකයන් හමු වීමෙන් නව රංගකලා වෙළෙඳපොළ සංස්කෘතියක් ඇති වීමට ඉඩ තියෙනවා.
නැවතත් මතක් කළ යුත්තේ, මම නාට්‍ය කලාව යනුවෙන් අදහස් කරන්නේ රංගකලාවට (Theatre) වැටෙන්නා වූ අභින ආදියේ සිට විවිධ තනි නළුවන්ගෙ රංගයන් දක්වා සියලුම රංගකලාවන් බව. නාට්‍ය කලාවක් දියුණු වන්නේ එම සියලුම රංගකලාවන් ඇසුරින් සංවර්ධනය පිළිබඳව කල්පනා කරන විටයි.
නාට්‍ය කලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට, රජයට හෝ එය මෙහෙයවන බොහෝ අයට පුළුල් දැක්මක් නැති අතර, එබැවින් එය පුළුල්ව වර්ධනය කරන්නේ කෙසේ ද? ඊට තියෙන සියලුම අවස්ථා මොනවා ද කියා එසේ සොයා බැලූ බවක් පෙනෙන්නට නැහැ. ඊට ලෝකයේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණික, වෙළෙඳ සහ නිර්මාණාත්මක උපක්‍රම ගැන ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ආදර්ශයට හෝ අධ්‍යයනයට හෝ අර ගත් බවක් පෙනෙන්නට නෑ. එසේ නොමැති නාට්‍ය කලාවක් කිසිදිනක දියුණු වෙන්නේ නෑ.
අද සෑම දෙයක්ම වෙළෙඳපොළ හරහා පවතින තත්ත්වයක් තුළ නාට්‍ය කලාව වෙළෙඳපොළවල් හරහා පවතින්නේ කෙසේ ද කියන එක තාමත් ශ්‍රී ලංකාවේ බැරෑරුම්ව අරගෙන නැති බවයි පෙනෙන්නේ. එසේම ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව බොහෝ විට මූලික වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිංහල කේන්ද්‍රීයව පමණක් පවතින්නට හදන, විවිධාකාර මාවත් හරහා පුළුල් වෙළෙඳපොළකට විවර නොවුණු සංවෘත ක්‍රියාකාරකමක ලක්ෂණයයි පෙන්නුම් කරන්නේ. එය කඩාබිඳගෙන විවිධ පුළුල් මාවත්වලට විවර කරන ප්‍රවේශයකට නාට්‍ය කලාව ගෙනියන්නට බැරෑරුම්ව මැදිහත් වීමට පිරිසක් අවශ්‍යයි.
පින්තූරය: ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ආසන්න වොලොංගොං නම් ප්‍රදේශයේ මේ දිනවල මාස කිහිපයක දර්ශන සඳහා නිමවා ඇති තාවකාලික රංගශාලාවක්. මෙහි පෙන්වන්නෙ විවිධ ප්‍රසංග රංග ක්‍රියාකාරකම්. ඇතුළට ගිය පසු තාවකාලික රඟහලක් කියා දැනෙන්නේ නැති පරිදි නිමවා තියෙනවා.

No comments:
Post a Comment