මම මෙම ලිපියේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ විශ්ව නාට්‍ය කලාවේ විවිධ කෘති සිංහල භාෂාවට ප්‍රමාණවත්ව පරිවර්තනය නොවීමේ අර්බුදයයි. සමස්තයක් විදියට ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව වර්තමානයේ ඇති පිරිහීම දක්වා පැමිණි ඒ ගමනට එය ප්‍රධාන හේතුවක් වූ බව මගේ අවබෝධයයි. නාට්‍ය කලාවේ දැනුම, නිර්මාණාත්මකභාවය, ගුණාත්මකභාවය සහ රසිකත්වය ආදිය පුළුල් වීම සම්බන්ධයෙන් එය තීරණාත්මක භූමිකාවක් කරනවා.
හැබැයි මෙම කාරණය මුළුමනින්ම මෙන්ම අදාළ වන්නේ සිංහල නාට්‍ය කලාවටයි. මීට ප්‍රධාන පසුබිම නිර්මාණය කරන සිංහල රාජ්‍ය භාෂාව වීමත් සමඟම බොහෝ දමිළ ජාතිකයන් තුළ කිසියම් ‘මර්දනයකට‘ ලක් වූ ජන කොටසක් ලෙසට ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමේ සහ කියැවීමේ ස්වයං උත්සාහයක් ඇතිවුණා. ශ්‍රී ලංකාවේ මට හමු වී ඇති බොහෝ දමිළ නාට්‍යකරුවන් සිංහල නාට්‍යකරුවන්ට වඩා ඉංග්‍රීසියෙන් කියවනවා. මෙය ලියන මොහොතේ දමිළ භාෂාවට විශ්ව නාට්‍ය කලාවෙන් කෙතරම් දුරට කෘති පරිවර්තනය වෙලා ද, ඔවුන් කෙතරම් ඉංග්‍රීසි භාෂාවෙන් කියවනවා ද කියන කාරණය මට වගකීමෙන් ප්‍රකාශ කරන්නට ඇති අවබෝධය අතිශයින් අඩුයි. සමහර විට මෙම කාරණය දමිළ නාට්‍ය කලාවට ද අදාළ වන්නට පුළුවන්. නමුත්, මේ සම්බන්ධයෙන් වඩාම අර්බුදයට ගිය තැන වශයෙන් අපි මෙය මූලික වශයෙන් සිංහල නාට්‍ය කලාව ඇසුරින් කතා කරමු.
රාජ්‍ය භාෂාව සිංහල වීම හරහා ප්‍රධාන අධ්‍යාපනය සිංහල වීමත් සමඟම අපට භාෂාමය ප්‍රශ්නයක් මතු වුණු බව අපි දැන් පිළිගන්නවා. ඒ හරහා සිංහලෙන් පමණක් ඉගෙන ගන්න සහ අදහස් ප්‍රකාශ කරන ප්‍රවණතාව සිංහල නාට්‍ය කලාවේ ඇති බහුතර තත්ත්වය බවට ක්‍රමයෙන් පත්වීම අපට තේරුම් ගන්න අමාරු නෑ. නමුත්, අවාසනාවට ඒ නිසා එම ප්‍රශ්නය හඳුනාගෙන විශ්ව නාට්‍ය හා රංග කලාවට අදාළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය කෘති සිංහලයට පරිවර්තනය කරන වැඩසටහනක් ඇති වුණේ නැහැ. රටක නාට්‍ය කලාවකට අවශ්‍ය ප්‍රමාණය සමඟ සලකා බලන කොට කිසිසේත් ප්‍රමාණවත් නැති ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පරිවර්තනය වෙලා තිබෙන නමුත්, ඒවායින් ද අතිබහුතරය විවිධ නාට්‍ය අධ්‍යක්ෂකවරුන් ඔවුන්ට නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන් පරිවර්තනය කරපු හෝ කරවා ගත්ත කෘතියි. විමර්ශන කෘති නම් මුළුමනින්ම පරිවර්තනය වෙලා තිබුණේ නැති තරම්.
මෙම පරිවර්තනය විය යුතු කෘති වර්ග දෙකෙන් එක කොටසක් නම්, විශ්ව නාට්‍ය කලාවේ ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය නාට්‍ය පිටපත්. මේවා සඳහා ආදි ග්‍රීක සහ රෝම, ඉන්දියාව, චීනය ජපානය ඇතුළු ආසියාතිකයේ, නයිජිරියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා අප්‍රිකානු මහාද්වීපයේ, අරාබිකරයේ, දකුණු ඇමෙරිකාව හෝ ලතින් ඇමෙරිකානු රටවල සිට බටහිර යුරෝපීය රටවල් ආදී ලෝකයේ ඇති ඒ ඒ රටවල ලියැවී, පළ වී අපට පහසුවෙන් ලබා ගැනීමට හැකි නාට්‍ය පිටපත්. මේවා හැකි තරම් ප්‍රමාණයක් කිසියම් ව්‍යාපෘතියක් යටතේ සිංහලයට පරිවර්තනය කළ යුතු වූ නමුත්, සිදු වෙලා නැහැ.
පරිවර්තනය කළ යුතු අනිත් වැදගත් අංශය තමයි විමර්ශන, විචාර, ඉතිහාසය, විවිධ න්‍යායන් සහ සංකල්ප, නාට්‍ය අධ්‍යක්ෂණය සහ රචනයේ සිට වේදිකා කළමනාකරණය දක්වා ප්‍රායෝගික අත්පොත් ආදිය. මේ සඳහා ලෝක නාට්‍ය කලාවේ ප්‍රධාන න්‍යායාචාර්යවරුන්ගේ දාර්ශනිකයන්ගේ සහ අභ්‍යාසකරුවන්ගේ කෘති පරිවර්තන විය යුතුයි. ශ්‍රී ලංකාවේ එවැනි වඩාම වැදගත් න්‍යායික කෘතිවලින් පරිවර්තන වෙලා තිබුණේ, භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයත්, ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයත්, ස්ටැනිස්ලව්ස්කිගේ සමහර ග්‍රන්ථත් පමණයි.
මෑත දී සමහර විට මම නොදැනුවත්ව තවත් ග්‍රන්ථ කීපයක් පළ වෙලා තියෙන්න පුළුවන්. නමුත්, මෙහි සඳහන් කිරීමට බැරි තරම් දිගු එවැනි නම් ලයිස්තුවක් තියෙනවා. උදාහරණයකට, Denis Diderot" Adolf Appia" Jerzy Grotowski" Tadashi Suzuki" Antonin Artaud" Michael Chekhov, Susan Bennett" Richard Schechner වැන්නන්. කීප දෙනෙක් මතක් කළේ ඒ ගැන යම් අදහසක් දෙන්න විතරයි ඒත් කිසිවකු මෙය බැරෑරුම්ව අරගෙන ඒ සඳහා නම් සොයා යනවා නම්, බටහිර යුරෝපීය නාට්‍ය ශාස්ත්‍රාලවල නිර්දේශිත ග්‍රන්ථ ද ඇතුළුව මම දන්නා සම්පූර්ණ ලැයිස්තුවක් ලබා දෙන්න මම සතුටුයි. ඒවා හැකි තරම් පරිවර්තන ව්‍යාපෘතියට ඇතුළත් කළ යුතුයි.
මම මෙතැන දී අදහස් කරන්නේ කෙනෙක් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා හෝ කිසියම් ලේඛකයකු ඉඳහිට යම් කෘතියක් පරිවර්තනය කිරීම නෙමෙයි. අර භාෂා පිළිබඳව ප්‍රශ්නය ගැඹුරින් තේරුම් ගනිමින් කිසියම් ව්‍යාපෘතියක් යටතේ හැකි තරම් විශ්ව නාට්‍ය කලාවේ ඉහත සඳහන් ආකාරයේ විෂයයන්වල කෘති සිංහලයට පරිවර්තනය කිරීමේ වැඩසටහනක්. අවම වශයෙන් එවැනි පොත් කීපයක් වාර්ෂික රාජ්‍ය නාට්‍ය උලෙළේ දීවත් එළිදක්වනවා නම් කෙතරම් ප්‍රයෝජනවත් ද? ඉතිහාසය පුරා එය කරගෙන ආවේ නම්... මෙවැනි ව්‍යාපෘතිවලට සමහරු නිතර අවසරයක් ලෙස කියන රජයෙන් ප්‍රතිපාදන ගැනීම නම් මූලික ප්‍රශ්නය, මම වෙනත් ලිපිවලින් ද පැහැදිලි කරලා පෙන්නුව පරිදි ඒවාට සහයෝගය, අනුග්‍රහය දක්වන්න ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝකය පුරා ඕනෑ තරම් අනුග්‍රහකවරුන් ඉන්නවා. අවශ්‍ය වන්නේ මෙය ක්‍රියාත්මක කිරීමට පිරිසක් සහ සැලැස්මක් විතරයි. මෙය රජයේ කලා මණ්ඩලය, ටවර්හෝල් රඟහල පදනම, තරුණ සේවා සභාව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ආදිය හරහා පහසුවෙන් කරන්න පුළුවන්. මගේ අත්දැකීමට අනුව මේවා කෙරෙන්නේ නැත්තේ, ඒවා බැරෑරුම්ව ගන්න සහ මැදිහත් වෙන්න මුලපුරන්න අය නැති නිසයි. රජයට මේ ගැන අදහසක් නැති අතර, රජයට යෝජනා කර හෝ බල කර හෝ නාට්‍යකරුවන්ට අවශ්‍ය නම් කර ගැනීමට බැරි දෙයක් විදියට මම මේක සලකන්නෙ නෑ.
ඊ ළඟට ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය නම්, මෙවැනි නාට්‍ය කලාවට අදාළ විශ්ව නාට්‍ය කලාවේ පොත් කිසිවක් මුළුමනින්ම මෙන් පරිවර්තනය නොවුණේ ඇයි ?
නාට්‍ය කලාවට අදාළ එම පරිවර්තනය කළ යුතු අත්‍යවශ්‍ය කෘති පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් තිබුණු ද්විභාෂික උගතුන්ගේ පරම්පරාවක් අපට සිටිය නමුත්, ඔවුන් කිසිවකු අතින් එම පොත් පරිවර්තනය කිරීම ගැන එතරම් උනන්දුවක් ඇති වුණු බවක් පෙනෙන්නට නැහැ. ඔවුන්ගේ පෞද්ගලික පොත් එකතු, දේශන සහ වෙනත් රචනා ඇසුරු කරන කොට පෙනෙන්නේ ඔවුන්ගේ යුගයේ තිබුණු ලෝක නාට්‍ය කලාවේ වැදගත් නාට්‍යකරුවන් සහ පොත් පත් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබුණ බවයි. එසේම එම ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය වීමේ වැදගත්කම එකී උගතුන් සහ නාට්‍ය කලාව සංවර්ධනය කිරීමට රජය හා එක් වූ, එමෙන්ම නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම උදෙසා විවිධ කතිකාවන් මතු කරන්නට උත්සාහ කරපු තවත් බොහෝ ක්‍රියාකාරිකයන් ද නොදන්නවා කියලා කිසිසේත් හිතන්න අමාරුයි.
නමුත්, අපේ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කරන්න කතා කරන සෑම අවස්ථාවක දීම වගේ මෙවැනි පොත් පරිවර්තන ව්‍යාපෘතියක් පිළිබඳව අදහසක් ක්‍රියාත්මක වෙලා හෝ මතු වෙලා හෝ නැතිම තරම්. එබැවින්, මෙය බැරිවෙලා මඟහැරුණු දෙයක් විදියට හිතන්නට පුළුවන් ද? (මම මේ ලියමින් සිටින සටහන්වල වැදගත්කමත් දන්නෝ දනිති!) එවැනි ව්‍යාපෘතියක් කිසි විටක සිදු නොවුණේ ඇයි යන්න අධ්‍යයනය කරන්නට තරම් රසවත් මාතෘකාවක් විදියට ඉතුරු වෙලා තියෙනවා.
කෙසේ හෝ ඔබට හිතා ගන්නට අපහසු නැහැ, යම් විදියකින් මෙවැනි පොත් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් අපට තිබුණා නම්, සිංහල නාට්‍ය කලාව කෙතරම් විශ්ව නාට්‍ය කලාවට විවෘත වෙන්න තිබුණා ද කියලා. ඒ හරහා පොත් සුලභව ඇසුරු කරන්නට නාට්‍යකරුවන්ට, ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබුණා නම්, අද අපගේ නාට්‍ය කලාව මීට වඩා බොහෝ සෙයින් ගුණාත්මකව දියුණු මට්ටමක තිබිය යුතු බව.
පින්තූරය: විල් එනෝගේ (Will Eno ) තොම්ප් පේන් - බේස්ඩ් ඔන් නතින්’ (Thom Pain - based on nothing) නම් නාට්‍යයේ ග්‍රන්ථය. එක් නළුවකුගෙන් යුක්ත මෙම නාට්‍ය පිටපත මෑත කාලයේ ලෝක නාට්‍ය කලාවේ වඩාත් ම අවධානය දිනා ගත් ස්වයං කථන රංගනයක්. බොහෝ බටහිර සහ යුරෝපීය නාට්‍ය ශාස්ත්‍රාලවල විශේෂයෙන් ස්වයංකථන අධ්‍යයනය සඳහා මෙය මේ වන විට නිර්දේශිත ග්‍රන්ථයක්.
- ධනංජය කරුණාරත්න
No comments:
Post a Comment