Friday, January 21, 2022

දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති කල...



ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 8

මෙම ලිපියෙන් මම කතා කරන්නේ මීට පෙර ලිපියෙන් අපි කතා කරපු දැනුම්වත් ප්‍රේක්ෂකයකු (Informed Viewer) නැති වීම නාට්‍ය කලාවේ පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපාන ආකාරය ගැනයි. මෙම ලිපිය වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා මීට වඩාම අදාළ ‘දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ  ප්‍රශ්නය’ නම් පෙර ලිපිය ඔබ කියවා ගැනීම ප්‍රයෝජනවත්.

දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වීම නිසා ඇතිව තිබෙන ප්‍රධානම ප්‍රශ්නය  ප්‍රේක්ෂකයාට බලයක්, හඬක් නැතිවීම සහ ඒ හරහා අවසානයේ නාට්‍යවල ගුණාත්මකභාවය පිරිහීමයි. ඒ බලය, හඬ බොහෝ විට අපට දකින්නට පුළුවන් වෙන්නේ, පවතින විචාරය ඇතුළු නාට්‍ය කලාව පිළිබඳව තිබෙන කතිකාව කෙසේ දැයි විමසන විටයි.

ඇත්ත වශයෙන් ම හොඳ නාට්‍ය කලාවක දී ප්‍රේක්ෂකයා නාට්‍යකරුවාට අභියෝගයක් බවට පත් විය යුතුයි. වෙනත් විදිහකට කියනවා නම්, වෙළෙන්දාට පාරිභෝගිකයා අභියෝගයක් නොවන තැනක එම භාණ්ඩයට සිදු වන්නේ කුමක් ද, දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වන විට නාට්‍ය කලාවට සිදු වෙන්නෙත් එයමයි. එනම්, පාරිභෝගිකයාට නිෂ්පාදනය පිළිබඳව විමසන්න, ප්‍රශ්න කරන්න, එහි හොඳ, නරක, ගුණදොස් තේරුම් ගන්නට හැකියාව අඩු වීමත්, ප්‍රකාශ කරන්නට හඬක් (පුළුල් විචාර කලාවක්) නැති වීමත් නිසා ඇති වෙන නරක තත්ත්වයයි.

මෙහි දී ‘පුළුල් විචාර කලාවක’ යනුවෙන් මම අදහස් කරන්නේ අවශ්‍යයෙන්ම විධිමත් විදිහට හෝ ශාස්ත්‍රාලීය විදිහට විචාරයක් ලිවීම පමණක් නෙවෙයි. සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍යවල දී පවා නාට්‍ය කලාව පිළිබඳව කතා කරන කොට ඒ පිළිබඳව හැකි තරම් දැනුම්වත්ව කතා කිරීමයි (සමාජ මාධ්‍ය ආදියේ ඕනෑම කෙනකුට ලියන්නට පුළුවන් මේ කාලයේ දී සෑම කෙනකුම එක්තරා විදිහකට විචාරකයෙක් හෝ ලේඛකයෙක් කියලා කියන්න පුළුවන්). පොහොසත්, දියුණු කතිකාවක් නොමැතිව කිසිසේත් ම නාට්‍ය කලාවට පවතින්නට බෑ. නාට්‍ය කලාවක මට්ටම එහි කතිකාවේ මට්ටමයි. දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වීමෙන් වෙන්නේ එවැනි පොහොසත්, පුළුල් කතිකාවක් නැති වීමයි.

මෙම දැනුම්වත් ප්‍රේක්ෂකයන් නැති වීම නිසා සිදු වන අනික් නරක නම්, නාට්‍ය නිෂ්පාදනය කරන පාර්ශ්වය එනම්, නාට්‍යකරුවා ප්‍රේක්ෂකයා ගැන එතරම් නොසලකා නාට්‍ය නිෂ්පාදනය කිරීමයි. ප්‍රේක්ෂකයන්ගේ විනිශ්චය පිළිබඳව එතරම් බියක් හෝ අදහසක් නැති වී, එය මූලික වශයෙන් ඒකපාර්ශ්වීය කටයුත්තක් බවට පත් වීමයි. එවිට සාමාන්‍යයෙන් නාට්‍යකරුවා පවතින්නේ ගුණාත්මක නාට්‍යය ඉල්ලා සිටින දැනුම්වත් ප්‍රේක්ෂකයකු මත නෙමෙයි. වෙනත් විදියකට කියනවා නම්, ගුණාත්මක වෙළෙඳපොළක් මත නෙමෙයි. ඊට වඩා, නාට්‍යකරුවා පවතින්නට උත්සාහ කරන්නේ නාට්‍යකරුවාගේ පෞද්ගලික බලපුළුවන්කාරකම්, මාධ්‍ය, ආයතන, පෞද්ගලික ගනුදෙනු සහ දේශපාලන සම්බන්ධතා ආදිය හරහායි. ඒ හරහා තමන් හොඳ හෝ සාර්ථක නාට්‍යකරුවෙක් ‌ කියන කාරණය ස්ථාපනය කරන්න උත්සාහ කිරීම හරහායි. නාට්‍යයක් පිළිබඳව ඇති කතාබහ, අදහස් ආදී සියල්ල නාට්‍යකරුවාගේ පාර්ශ්වය පැත්තෙන් පමණක් එක් එක් නාට්‍යකරුවන්ගේ හැකියාව, බලය මත ස්ථාපිත ‌‌වෙන දෙයක් බවට පත් වෙනවා. එවිට නාට්‍යකරුවන් තමන්ගේ නිර්මාණවල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට වඩා මහන්සි වන්නේ අර කී ලෙස තමන්ව වෙනත් අයුරකින් ස්ථාපනය කර ගැනීමටයි. එම තත්ත්වය තුළ කිසියම් නාට්‍යකරුවකුගේ නාට්‍ය කෙතරම් දුර්වල වුණත්, අර කී ලෙස පවතින්නට පුළුවන් නම්, එම නාට්‍යකරුවාට ප්‍රේක්ෂකයාගෙන් අභියෝගයක් නැහැ. මෙම තත්ත්වය තුළ දී සමහර විට කිසියම් නාට්‍යකරුවකුගෙන් ගුණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය වුව ද, එම නාට්‍යකරුවාට ද නාට්‍යය ගුණාත්මක නිසා පමණක් පවතින්නට අපහසු අතර, අර පවතින්නට නම්, පෙර සඳහන් කළ අනිකුත් බලවේගවල  සහයෝගය අවශ්‍යයි. මෙය ගුණාත්මක නාට්‍ය පිළිබඳව කතිකාවක් සහ ඒවා ඉල්ලන වෙළෙඳපොළක් නැති වුණාට පසු ඇති වන එක්තරා පිරිහුණු තත්ත්වයක් විදිහට අපිට දකින්න තියෙනවා. එනම්, ප්‍රේක්ෂකයාට කතිකාවන් ගැන එතරම් උනන්දුවක්, උද්‍යෝගයක්, නාට්‍ය කලාව පිළිබඳ ප්‍රමාණවත් දැනුම්වත් බවක් සහ  පුළුල් විචාර කලාවක් බලවත්ව නැති කල නාට්‍යකරුවාගේ පැත්තෙන් පමණක් නාට්‍ය නිෂ්පාදනය කර තම  නාට්‍ය කලාව විවිධ ලෙස ස්ථාපනය කරන්න කරන අරගලයක් ලෙසට එහි හැඩය නිර්මාණය වෙනවා. අද වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව විශාල වශයෙන් මෙම තත්ත්වයට පරිවර්තනය වෙමින් තියෙන බව අපට දකින්නට පුළුවන්.

එම තත්ත්වයට පත් වූ පසු බොහෝ විට විචාරය ලෙස ලියැවෙන, කියැවෙන දේවල් ද ඇතුළුව නාට්‍ය කලාව පිළිබඳ කතිකාව ඇත්තේ නාට්‍යවල ගුණ-දොස්වලට වඩා නාට්‍යකරුවන්ගේ චරිත ලක්ෂණ පෞද්ගලික ස්වභාවයන්, ඔවුන්ගේ හොඳ, නරක වැනි දේවල් සහ සම්මාන වරප්‍රසාද ආදී භෞතික අත්පත් කර ගැනීම් ගැනයි.  අපට බොහෝ විට නාට්‍යකරුවන්ව පිළිගන්නයි කියන්නේ, ඔවුන්ගේ නිර්මාණවලට වඩා ඔවුන්ගේ පෞද්ගලික ගතිගුණ සහ වෙනත් කාරණා නිසයි. උදාහරණයකට, නිහතමානීකම, කැපවීම, මුදල් ගැන නොසිතීම, ප්‍රදේශයට, ගමට හෝ භූමියට ඇති බද්ධතාවය, අවංකභාවය සහ දුක්කම්කටොළු, වේදනා දරා ගැනීමට ඇති හැකියාව. මෙන්න මේ ආදියට සමාන යම් පෞද්ගලික ගුණ යහපත්කම් ගැනයි, විවිධ අයුරින් ඒවායෙන් ගම්‍ය කරන්නේ. කලා කෘතිය යම් විචාරයකට භාජනය කරනවාට වඩා කෙනකුගේ මෙම පෞද්ගලික ගතිගුණ, ස්වභාවයන් අපට හරියටම පරීක්ෂා කර බලන්නට බැරි තරම් විවාදාත්මක අඩවියක්. ඇත්ත වශයෙන්ම ගුණාත්මක වෙළෙඳපොළක් සහ දැනුම්වත් ප්‍රේක්ෂකයකු වෘත්තීය නාට්‍ය කලාවක් තුළ  ඇති වූ පසු මුලින්ම වැදගත් නැති දේ බවට පත්වෙන්නේ නාට්‍යකරුවාගේ මනුෂ්‍යයකු ලෙස ඇති මෙම විවාදාත්මක පෞද්ගලික  චරිත ස්වභාවයයි. එවිට ප්‍රේක්ෂකයාට වඩා වැදගත් වෙන්නේ,  මුදලට සරිලන ගුණාත්මක නිෂ්පාදනයක් පමණයි. නාට්‍යකරුවාට මොන හෝ සුවිශේෂ පෞද්ගලික ගතිස්වභාවයක් ඇත් නම්, ඒවා වැදගත් වන්නට ඉඩ ඇත්තේ, නාට්‍යකරුවා අතින් ගුණාත්මක නිෂ්පාදනයක් බිහි වෙනවා නම් පමණයි. නැත්නම්, එවැනි ගතිගුණ නාට්‍ය නොකරන්නන්ටත් තිබෙන බව අපි දන්නවා.

කෙසේ හෝ දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වීම නිසාත්, ඒ හරහා දියුණු විචාරයක් නැති වීම නිසාත්, නාට්‍යකරුවාගේ පාර්ශ්වයේ පිරිස් නිතරම නාට්‍යකරුවන්ගේ නිෂ්පාදනවල අඩුපාඩු නිවැරැදිව විචාරයට ලක් නොකිරීම නිසාත් සිදු වී ඇත්තේ, එම නාට්‍යකරුවන්ට හොඳක් නොව නරකක්. ප්‍රතිඵලය එවිට නාට්‍යකරුවා නොමඟ ගොස් නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය පහළට වැටීමයි.

පින්තූරය :ලාස්ට් බස් එකේ කතාව නාට්‍යයේ නළුවා ප්‍රේක්ෂකයන් හා සම්බන්ධ වෙන මොහොතක් එල්ෆින්ස්ටන් රඟහලේ දී. ඡායාරූපය චමින්ද උපසේන.


Friday, January 14, 2022

දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්නය

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 7

යම් නාට්‍ය කලාවක හදවත ලෙස සැලැකිය හැක්කේ ප්‍රේක්ෂකයායි, හරියට ඕනෑම නිෂ්පාදනයක ද හදවත  පාරිභෝගිකයා වගෙයි. ප්‍රේක්ෂකයා බලවත් නොවූ කල ඒ නාට්‍ය කලාව පිරිහෙනවා.

පසුගිය ලිපි හරහා මම මතු කරපු කාරණයක් තමයි, නාට්‍ය කලාවක් පවතින්නට නිර්මාණකරුවා, වෙළෙන්දා හෙවත්  ඉදිරිපත් කරන්නා සහ ප්‍රේක්ෂකයා යන තුන්දෙනාගේ භූමිකාවල වැදගත්කම සහ එම භූමිකා තුනේ පැවැත්ම වෘත්තීයව තහවුරු කිරීමේ වැදගත්කම. අන්න එතැන දී ප්‍රධාන භූමිකාව කරන දැනුම්වත් ප්‍රේක්ෂකයා (Informed Viewer) යනු කවුද යන්න තේරුම් ගැනීමට මෙම ලිපිය වෙන් වෙනවා.

මේ දැනුම්වත්  ප්‍රේක්ෂකයා (Informed Viewer) හෝ දැනුම්වත් පාරිභෝගිකයා (Informed Consumer) ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අපට ගන්න පුළුවන්. උදාහරණයකට, හොඳ ඇඳුම් මොනවද කියලා දන්නා පාරිභෝගිකයෙක් ඉන්නවා. ඇය රුපියල් විසිදාහක් දීලා හොඳ ඩෙනිම් කලිසමක් ගන්න කොට බැලූබැල්මට එම ඩෙනිම් කලිසම වගේම පෙනෙන ලෙස නිර්මාණය කර විකුණන බොරු ඩෙනිම් කලිසමක් රුපියල් දෙදාහකට ඇඳුම් ගැන දන්නේ නැති කෙනකුට තවත් තැනක විකුණනවා. වාහනයක් ගන්න කොට එහි බ්‍රෑන්ඩ් එකට, එන්ජිමට, වෙළෙඳපොළට සහ භාවිතය ආදියට  අනුව හොඳ නරක බලන්නත් ඒ  සම්බන්ධයෙන් දැනුම්වත් පාරිභෝගිකයා දන්නවා. විවිධ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළෙන් ගන්න ගියාම ඒ ඒ භාණ්ඩය සහ විෂයයට අනුව නිවැරැදිව හොඳ නරක වටිනාකම් බලන්න දන්න  දැනුම්වත් පාරිභෝගිකයෙක් ඉන්නවා. ඒ සමඟම ඒ සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ද එතරම් දැනුම්වත්භාවයක් නැති පාරිභෝගිකයෙක් ද ඉන්න බව අපි දන්නවා.

මෙය පැහැදිලි කිරීමට ගන්න එක් හොඳ උදාහරණයක් තමයි, විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීය ඉහළ මැද පන්තියේ වෙළෙඳපොළ ඉලක්ක කර ගත්ත ඇඳුම් කඩ. මේ සියලුම ඇඳුම් ගුණාත්මකභාවයෙන් ඉහළ වන අතර විලාසිතාවලින් ද කිසිදු යල්පැනගිය ඇඳුමක් ඔවුන් විකුණන්නෙ නැහැ. ඇඳුම්වල විලාසිතා යල්පනිනවාත් සමඟම ඔවුන් ඒවා ඉවත් කර අලුතින් ආපු නූතන විලාසිතා ඇතුළත් කරනවා. අමුද්‍රව්‍යවලින් වර්ණ, නිමානිමාව ආදී විලාසිතාවලින් එම ඇඳුම් නිෂ්පාදනය කර ඇත්තේ, ඉතාම හොඳින් ඒ පිළිබඳව දන්නා, රවට්ටන්න බැරි පාරිභෝගිකයකුටයි. මේ පාරිභෝගිකයා බොහෝවිට විවිධ විදේශ රටවල ද සැරිසරන ඒවායෙන් ද ඇඳුම් මිල දී ගන්නා ඉහළ නිරීක්ෂණයක් තියෙන අත්දැකීම් ඇති පාරිභෝගිකයෙක් බැවින්, එම භාණ්ඩවල ගුණාත්මකභාවය ද ජාත්‍යන්තර මට්ටමේ පවතිනවා. කෙසේ හෝ ඒ තමයි, දැනුම්වත් පාරිභෝගිකයා.

මෙසේ දැනුම්වත් කියන කොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැනුම්වත් කියන්නේ, කොයි තරම් දැනුම්වත් වෙන්න ඕනෙ ද කියලා. මෙය එතරම් සංකීර්ණ කර ගන්න අවශ්‍ය නැහැ, ඕනෑම භාණ්ඩයක් පරිභෝජනයට ලබා ගන්න කොට එහි හොඳ නරක, ගුණ අගුණ, වටිනාකම් පිළිබඳව සාපේක්ෂ වශයෙන් අවබෝධයක් ඇති පාරිභෝගිකයෙක් ඉන්න බව අපි දන්නවා. එය නාට්‍යයකට එන විට, පුළුල් අර්ථයෙන් නාට්‍යයක් කියන්නේ ඇත්තටම මොකක් ද? එහි සංකේත, යටිපෙළ, දෘෂ්ටිවාද ආදිය ඇති බවත් එය විවිධ ආකෘති සහ ප්‍රවේශවලින් තමන් හා සම්බන්ධ විය හැකි බවත් ආදී නාට්‍යයක් රසවිඳීමේ දී හමු වන මූලික සංකීර්ණතා පිළිබඳ අවබෝධය. නාට්‍යයක රංගනය පිටපත ඇතුළු අනිකුත් අංග ඇතුළත්ව එහි සාර්ථක, අසාර්ථක බව හොඳින් නිරීක්ෂණය කරන්නට හැකි බව ආදිය පෙන්නලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නාට්‍ය රසය, ආස්වාදය හොඳින් හඳුනන එවැනි දැනුම්වත් ප්‍රේක්ෂකයෙක් විචාර ආදිය කියවමින් යාවත්කාලීන වෙමින් යම් උනන්දුවකින්, කුතුහලයකින් නාට්‍ය කලාව සමඟ බද්ධවෙලා ඉන්නවා. නැවතත් මේ තත්ත්වය ඕනෙම පාරිභෝගික භාණ්ඩයකට, චිත්‍රපටිවල සිට සාහිත්‍යය දක්වා ඕනෑම කලා භාවිතාවක් සම්බන්ධයෙන් අදාළ කරන්න පුළුවන්. (තිසාහාමි නාට්‍ය කලාව ගැන දන්නේ නැති වීම නිසා කිසිම අවතක්සේරුවකට ලක් වෙන්නේ නැහැ. නමුත්, ඔහුත් ටිකට් පතක් මිල දී ගෙන නාට්‍යය නරඹන්නට එනවා නම්, නාට්‍ය කලාව පිළිබඳව දැනුම්වත් වීම අවශ්‍ය වෙනවා. හරියට හොඳ දුන්න සහ නරක දුන්න මොකක් ද කියන අවබෝධය ඔහුට අවශ්‍යයි වගේ.)

එතකොට කිසියම් ක්‍ෂේත්‍රයක් තුළ මේ දැනුම්වත් පාරිභෝගිකයන් කොයි තරම් ඉන්නවා ද? දැනුම්වත් පාරිභෝගිකයාගේ හඬ කොයි තරම් බලවත් ද? ඒ තරමටම ඒ ක්‍ෂේත්‍රය වර්ධනය වනවා. නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආරක්ෂා වෙනවා.

 නාට්‍ය කලාව වඩා ම දියුණු රටවල අපිට දකින්න තියෙන  විශේෂත්වයක් නම්, ඉතා විශාල දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා කියන එක. එම නිසාම ප්‍රේක්ෂකයාට විශාල හඬක්, බලයක් තියෙනවා. මෙහි ප්‍රතිඵලය නම් එහි දී නාට්‍යකරුවාට හෝ එය ඉදිරිපත් කරන නාට්‍ය සමාගමට ප්‍රේක්ෂකයන් සමඟ පිස්සු කෙළින්න බැරි වීම. සමස්තයක් ලෙස පාරිභෝගිකයාගේ අයිතීන් ද සහිතව එම රටවල සිටින මේ දැනුම්වත් පාරිභෝගිකයා තමන් වියදම් කරන මිලට සාපේක්ෂ භාණ්ඩයේ වටිනාකම නිතරම හොඳින් ගණන් බලන්න දන්න කෙනෙක් බැවින්, වෙළෙන්දා ද පෙරළා මේ ගැන සැලැකිලිමත්ව තමයි, භාණ්ඩය ඉදිරිපත් කරන්නේ. අය කරන මිලට සාපේක්ෂව භාණ්ඩයේ ගුණාත්මකභාවයත් ආරක්ෂා කරන්න තිබෙනවා කියන එම වගකීම වෙළෙන්දාට තියෙනවා. මිලට සාපේක්ෂව භාණ්ඩයේ කිසියම් දෝෂයක් තියෙනවා නම්, එය ආපසු දී මුදල් ලබා ගැනීමට ඇති අයිතිය පාරිභෝගිකයා සම්බන්ධයෙන් එම රටවල තහවුරු කරලා තියෙන්නෙ. (නාට්‍ය කලාව කර්මාන්තයක් බවට පත් වූ පසු ගුණාත්මකභාවය ආරක්ෂා වීම සම්බන්ධයෙන් මෙය උදාහරණයක් විදිහට මතක් කරන්න පුළුවන්.) කෙසේ හෝ මේ නිසා අර ඉහළ මැද පාන්තික ඇඳුම් කඩේ පාරිභෝගිකයා මෙන් ප්‍රේක්ෂකයා පාරිභෝගිකයකු ලෙස අතිශයින්ම බලවත්. එම රටවල බලවත් විචාර කලාවක් ද පවතින අතර, විචාරකයා ද වැටෙන්නේ දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ ගොඩටයි. ඇත්ත වශයෙන්ම විචාරකයා කියන්නේ ද දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ ම හඬයි. මේ දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ පැත්ත කෙතරම් පිරිහිලා ද, එතරම්ම විචාර කලාව ද පිරිහිලා තිබීම අපට නිතරම දකින්න පුළුවන් වන්නේ මේ නිසයි.

ඒ වගේම අපි මතක තියා ගත යුතු කරුණ වන්නේ මේ දැනුම්වත් ප්‍රේක්ෂකයා කියන කෙනා නාට්‍ය නිෂ්පාදන කරපු පමණින් හෝ නාට්‍ය කලාවේ සිටි පමණින්වත්, නාට්‍ය කලාව විෂයයක් වශයෙන් ඉගෙන ගත් පමණින් වත් ඇති වෙන්නේ නැහැ. නැවතත් ඇඳුම්වලින් ම කියනවා නම්, ඇඳුම් අඳින්නේ නැති, ඇඳුම් මිල දී ගන්නේ නැති කිසිම කෙනෙක් නෑ. නමුත්, එයින් අදහස් කරන්නේ නෑ ඇඳුම් ඇඳීම නිසා ඇඳුම් නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුම්වත් පාරිභෝගික තත්ත්වයක් ඇති වෙනවා කියලා.

ලෝකයේ ඇති ඕනෑම නාට්‍යයක් අරගෙන නිරීක්ෂණය කරන විට අපට පෙනී යනවා එම නාට්‍යකරුවා සවිඥානකව හෝ අවිඥානකව තම  නාට්‍යය යොමු කරන්නේ රසයෙන්, අධ්‍යාපනයෙන්, බුද්ධි මට්ටමෙන් ආදියෙන් කවර නම් ප්‍රේක්ෂකයකුට ද කියලා. උදාහරණයකට, ‘මනමේ’ නාට්‍යයම ගතහොත්, එහි ඇති විශේෂ  සංස්කෘත සහ කාව්‍යමය භාෂාව, සංකේත, මූලාශ්‍ර, රිද්ම තාල රටා සහ යටිපෙළ ආදිය හරහා සමස්තයක් ලෙස නිෂ්පාදනය කරන්න හදපු රසය සහ අර්ථය  ආදී සියල්ලම බලන කොට පෙනී යන්නේ එය එවකට හිටි ගැමි මූලයන් තියෙන නාගරික බුද්ධිමත් සමාජය කියලා සාමාන්‍යන් හඳුනා ගන්න උගත් සිංහල බූර්ෂුවා මැද පන්තියට කර ඇති බව. එම නාට්‍යය හොඳ, සාර්ථක නාට්‍යයක් කියලා වැළඳ ගැනීමට අවශ්‍ය දැනුම, රසය, අවබෝධය ඒ ප්‍රේක්ෂකයන්ට තිබුණු අතර, ඔවුන් එම නාට්‍යයේ දැනුම්වත් ප්‍රේක්ෂකයා විදිහට ගන්න පුළුවන්. එම නාට්‍යයේ සාර්ථකත්වය පිළිබඳව කතිකාව ගොඩනැඟෙන්නෙ ඔවුන් තුළයි. නමුත්, ඒ අවබෝධය එම නාට්‍යයටම මූලාශ්‍ර වුණු ගැමි අමුද්‍රව්‍ය ඇති සාමාන්‍යයෙන් නාට්‍ය නොනරඹන ගැමියාට තිබුණෙ නැහැ. ‘මනමේ’ නාට්‍යය මෙතරම් විශාල හඳුනා ගැනීමකට ලක් වන්නේ මේ කී දැනුම්වත් ප්‍රේක්ෂකයා නිසා මිසක් අර ගැමියා නිසා නෙමෙයි. පසුකාලීනව ‘මනමේ’ නාට්‍යයේ සීමාවන් සම්බන්ධයෙන් යම් විචාරශීලී කතිකාවක් ගොඩනැඟෙන්නේ ද මෙම දැනුම්වත් ප්‍රේක්ෂක ධාරාව තුළමයි. කෙසේ හෝ මෙම නාට්‍යය එවකට සාම්ප්‍රදායික ‘මනමේ’ නාඩගම පමණක් දන්නා ප්‍රේක්ෂකයන්ට පමණක් නම් පෙන්නුවේ, ඔවුන් සමහර විට මෙය ‘මනමේ’ නාඩගම තරම් සාර්ථක නොවූ එය විකෘති කර හැදූ වෙන මොකද්ද ප්‍රසංගයක් කියලා හඳුන ගන්න පවා ඉඩ තිබුණා.

 කෙසේ හෝ කොළඹ  ආදී ප්‍රධාන නගර ආශ්‍රිතව යම් දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයක් ශ්‍රී ලංකාවේ සිටිනවා. එය කලින් කලට අඩුවැඩි වෙමින් ක්‍රියාශීලී සහ අක්‍රියශීලී වෙමින් පවතිනවා. නමුත්, අවාසනාවට මෙම දැනුම්වත් ප්‍රේක්ෂකාගාරය අතිශයින්ම සුළු පිරිසක් වන අතර කෙතරම් සුළු දැයි කියනවා නම්, එය ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට බලපෑමක් කරන්න බැරි තරමට මේ වෙන කොට සුළු පිරිසක් වෙලා ඉන්නවා. ඒ වගේම බොහෝ කලෙක සිට ගුණාත්මක නාට්‍ය නිතර නිෂ්පාදනය නොවීමේ හේතුවෙන් ඔවුන් අතිශයින්ම අක්‍රියශීලී වෙලා ඉන්නවා. එබැවින්, ශ්‍රී ලංකාවේ නාට්‍ය අර්බුදය ගැඹුරින් කතා කරන කොට එවැනි බලවත් දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයක් දැන් අපට නැතැයි කියා කතා කිරීම අතිශයෝක්තියක් නෙමේ. මම එසේ නැතැයි කියා සලකන්නේ එවැනි ප්‍රේක්ෂකාගාරයක් නැත්නම් එය ඇති කිරීමට කළ යුත්තේ කුමක් ද කියන කතිකාව මතු කිරීමේ සුබවාදී අදහසින් විනා අසුබවාදී අදහසින් නොවේ. මම ඒ සුළු පිරිස හෝ නැතැයි කියන අදහසින් ගන්නේ ‘අවසන්’ කියන අදහසට වඩා ඔවුන් නාට්‍ය කලාව සම්බන්ධයෙන් නිද්‍රාගත, අක්‍රිය තත්ත්වයට පත්ව සිටීමයි. නාට්‍ය කලාව සම්බන්ධ සංවර්ධනයේ දී ප්‍රේක්ෂකයා ගැන හිතන විට  ඉලක්ක කළ යුත්තේ  කිසි දිනක නාට්‍යයක් නරඹන්නට ආපු නැති අය පිරිහී ඇති නාට්‍ය කලාවට ගේන්නේ කෙසේ ද කියන එකට වඩා මෙම දැනුම්වත්, නිද්‍රාගත ප්‍රේක්ෂකයා යළි ක්‍රියාශීලී කර ගන්නේ කෙසේද කියන එකටයි. එය මුළුමනින් ම රඳාපවතින්නේ නාට්‍යවල ගුණාත්මකභාවය ඉහළට ගෙන එමින්, නාට්‍ය කලාව පිළිබඳ කතිකාව උණුසුම් කිරීම හරහායි. නමුත්, අවාසනාවට එකී කටයුත්ත ගැඹුරු සමාජ, දේශපාලන ප්‍රශ්නයක් ලෙසටයි පවතින්නේ. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය සාකච්ඡා කරමින් අපි උත්සාහ කරන්නේ ද එම ප්‍රශ්නයට ද යම් පිළිතුරක් හොයා ගැනීමට හැකි වේ දැයි බලන්නයි.

 කෙසේ හෝ අවසානයේ දැනුම්වත්, ප්‍රබල ප්‍රේක්ෂකයෙක් නැති වීම නිසා විචාරය ද ඇතුළු නාට්‍ය කලාවේ පිරිහීම ඇතිවෙලා තියෙන ආකාරය ඊ ළඟ ලිපි වලින් අපි සාකච්ඡා කරමු.

පින්තූරය: ඉතාලියේ කුඩා වෙට්රිආනෝ රඟහල (Teatrino di Vetriano) මෙය ලොව කුඩාම ඓතිහාසික (සාම්ප්‍රදායික) රඟහල ලෙස 1997 ගිනස් වාර්තා පොතට එක් වූ රඟහලයි. හතරැස් අඩි 765ක උපරිම 85 දෙනකුට පමණක් අසුන් ගත හැකි  මෙම රඟහල මුලින්ම ඉදි කරන ලද්දේ 1890දීයි.  මෙය එය බිහිවුණු යුගයේ සම්මත රඟහලක තිබුණු කුඩා බැල්කනියක් ඇතුළු සියලුම අංගවලින් යුක්තයි. එවකට එම ගමේ මිනිසුන්ට රඟහලක් අවශ්‍ය වී තිබුණු වෙනත් ගොඩනැඟිල්ලක්  පරිවර්තනය කර මෙය ගොඩනඟා ඇති අතර, එවකට සෑම ප්‍රේක්ෂකයෙක් ම නාට්‍ය නරඹන්නට ආවේ තමන්ට ඉඳගන්න පුටුවක් ද අරගෙනයි. පසු කාලයේ මෙය තරමක් අබලන් වී නැවත 1997දී ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මීටත් වඩා කුඩා රඟහලවල් වර්තමානයේ සුලබ නමුත්, එවකට ඇති සම්ප්‍රදායයට අනුව ඓතිහාසිකව ගොඩනැඟුණු ලොව කුඩාම රඟහලකට දැනට ඇත්තේ මෙයයි.


Thursday, January 6, 2022

නාට්‍ය කර්මාන්තයක වාසිය



ශ්‍රී ලාංකේය නාට්ය කලාවේ අර්බුදය 06

පසුගිය ලිපිවලින් මම පැහැදිලි කරන්න උත්සාහ කළා නාට්ය කලාවක් වර්ධනය කිරීමට ද ඇත්තේ, මූලික වශයෙන් ධනවාදී ක්රමය තුළ ඇති නාට්යකරුවා, වෙළෙන්දා (නාට්ය සමාගම හෝ ශ්රී ලංකාවේ දී නම් සංවිධායකවරයා) සහ පාරිභෝගිකයා (ප්රේක්ෂකයා) අතර ගනුදෙනුවම බව. නමුත්, කලාව වැනි විෂයයකට එද්දී එවැනි ‘ධනවාදී වෙළෙඳපොළ වචනවලින්’ ඒ ගනුදෙනුව හඳුන්වනවාට ශ්රී ලංකාවේ බොහෝ දෙනකු තාමත් කැමැති නැති බව මම දන්නවා. එසේ වුවත්, විශ්ව නාට්ය කලාවේ ‘විශිෂ්ටතම නාට්ය’ කියන සියලුම නාට්ය වාගේ බිහි වී ඇත්තේ, විවිධ වෙනස්කම්වලට යටත්ව මෙම ආකෘතිය තුළම බව මම කලින් පැහැදිලි කළා. එය කර්මාන්තයක් විදිහට වෘත්තීමව පැවැතීම තව දුරටත් වෙනමම පැහැදිලි කිරීමකට මෙම ලිපියෙන් උත්සහ කරනවා.
විවිධ රටවල නාට්ය කලාවේ වර්ධනයට එම නාට්යකරුවා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන මූලික ආකෘතිය මුල්කරගෙන විවිධාකාර සුබසාධන සහ පහසුකම් ලබා දී එම භූමිකා තුනට හැකි තරම් එකිනෙකාගෙන් අසාධාරණයක් නොවෙන යාන්ත්රණයක් නිර්මාණය කරලා තියෙනවා. සමහර රටවල් ඒ සම්බන්ධයෙන් වඩාත් සාර්ථක වී තිබෙන අතර, සමහර රටවල් විවිධ මට්ටම්වලින් එයම සාර්ථක කර ගැනීමට අරගල කරනවා. ශ්රී ලංකාවේ ද පැවැතුණේත්, පවතින්නේත් මෙම ගනුදෙනුවම වන අතර, එයින් පැවැතීමට නොහැකි වෙන තරමට ශ්රී ලංකාවේ දී එය වඩා අක්රමවත්, අවිධිමත් හෝ දියුණු නැති විදිහටයි තිබිලා තියෙන්නෙ. එවිට එය පහසුවෙන් දූෂණය වීමට ද ලක් වෙනවා. උදාහරණයකට, නාට්යකරුවාම වෙළෙන්දාගේ වැඩේ ද කිරීම සහ වෘත්තීයමයව පවතින්නට විදිහක් නැති නිසා නාට්ය කලාවට පූර්ණ ශ්රමයක් යොදන්නට සමහරුන්ට නොහැකි වීම සහ මෙම අක්රමවත්භාවය තුළ විවිධ අසාධාරණකම් හා අකටයුතුකම්වලට ලක් වීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම නාට්ය තරග ද ඇතුළුව රජයෙන් දෙන සීමිත අනුග්රහයෙන් විතරක් පවතින්නට උත්සාහ කිරීම. ඒ විදිහට අවිධිමත්ව යන්නට පුළුවන් උපරිම දුර ගිහිල්ලා තමයි, දැන් අපි එක්තරා විදිහකට වැටිලා තියෙන්නේ. මම වෙනත් තැන්වල දී ද පෙන්නලා දුන්නු පරිදි නිදහසින් පසු අප රාජ්යයක් වශයෙන් රට ගොඩනඟන කොටම සංස්කෘතික ජීවිතයේ ප්රධාන අංගයක් වශයෙන් නාට්ය කලාව පවතින්නට අවශ්ය බව තේරුම් ගෙන එය කර්මාන්තයක් ලෙසට ආකෘතිගත නොකිරීම මීට ප්රධාන හේතුවයි.
ඉතින් මම යෝජනා කරමින් ඉන්නේ නාට්ය කලාවේ වර්ධනයට සහ පැවැත්මට එම ශ්රී ලංකාවේ අවිධිමත්ව පැවැත්වුණු නාට්යකරුවා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා ගනුදෙනුවම විධිමත්, ක්රමවත් සහ සාධාරණ පිළිවෙළකට ගෙන ආ යුතු බවයි. එම තිදෙනාගේ පැවැත්ම වෙළෙඳපොළ ගනුදෙනුවක් තුළ වෘත්තීයව තහවුරු කළ යුතු බව; සුරක්ෂිත කළ යුතු බව. එවිට එය කර්මාන්තයක් බවට පත් වන අතර, කර්මාන්තයක් බවට පත් වී සාර්ථක වනවා හැර අද වෙනත් කිසිදු මාර්ගයකින් නාට්ය කලාව බේරා ගැනීමට නොහැකි බව මගේ අදහසයි. මම එසේ කියන්නේ, විවිධ වෙනස්කම්වලට යටත්ව මූලික වශයෙන් කර්මාන්තයක් ලෙස වෘත්තීයව නොපවතින ලෝකයේ කිසිම තැනක අද වෙන කොට ගුණාත්මක නාට්ය කලාවක් පවතින්නේ නැති නිසයි. ඔය දකුණු ඇමෙරිකාව, අප්රිකාව ආදී රටවල ඇති නාට්ය කලාව විශේෂයෙන් කැපීපෙනෙන රටවල ද, ඉන්දියාවේ ද ඇත්තේ, එක් පැත්තකින් බටහිර සහ යුරෝපයේ ඇති කර්මාන්තයක් ලෙස නාට්ය සමාගම් ආකෘතියත්, අනෙක් පැත්තෙන් තරමක් ශ්රී ලංකාවට සමාන නාට්යකරුවා අහල පහල අයගේ සහයෝගයෙන් සියල්ල කරන අවිධිමත්භාවයත් යන දෙකමයි. එම අවිධිමත්භාවය තුළ නාට්ය කරන අය ද අරගල කරමින් ඉන්නේ, අර වෘත්තීයමය තත්වයම අත්පත් කර ගන්නයි. නැවතත්, නාට්ය කලාව පවතිනවා කියන්නේ කෙනකු පෞද්ගලික දැන-හැඳුනුම්කම් ආදිය ද පාවිච්චි කරමින් තනිව කෙසේ හෝ ඉඳහිට මොනවා හරි නාට්යයක් නිෂ්පාදනය කර ගැනීම නෙමෙයි. ඊට වඩා කලාවක් විදියට, ක්ෂේත්රයක් විදිහට මිනිසුන්ගේ යාවජීව සංස්කෘතික අංගයක් විදිහට නාට්ය කලාව නොනැසී දිගටම පැවැතීමයි. ඔබ ශ්රී ලංකාවේ නාට්ය කලාව ගොඩ දමන්නට වෙනත් කවර මාර්ගවල ගිහින් රස්තියාදු වුණත්, කර්මාන්තයක වෘත්තීයමය ආකෘතියට එන තෙක් මේ ක්රමය තුළ පවතින්නට විදිහක් නැති කිසිදු පැකිලීමකින් තොරව මට කියා සිටින්න පුළුවන්. මෙයම චිත්රපට ආදී අනෙක් කලාවන්ට ද එයාකාරයෙන්ම අදාළයි.
තවත් මෙය පැහැදිලි කිරීමට ශ්රී ලංකාවේ නාට්ය සංවිධානය කරන හෙවත් නාට්ය ගනුදෙනුවේ දී ‘වෙළෙන්දාගේ‘ භූමිකාව කරන ජූඩ් ශ්රීමාල් වැනි කෙනකු ගනිමු. ඔහු කරන්නේ ඉතාම වැදගත් භූමිකාවක්. කිසිවකු විසින් එය කළ යුතු මයි. නමුත්, අවාසනාවට එය සිදු වෙන්නේ විධිමත්ව සංවිධානය වූ නීතිරීතිවලට, විනයකට සහ ප්රමිතියකට අනුව නෙමෙයි. මේ නිසා ජූඩ්ට මෙන්ම නාට්යකරුවන්ට ද සමහර අවස්ථාවල දී එයින් විවිධ අපහසුතා සහ ගැටලු ඇති වෙනවා, ඒ විදිහට දිගටම පවතින්න බැරුව යනවා. එතැන සිදු විය යුත්තේ, ජූඩ් වෘත්තීය කර්මාන්තයක ඇති නීතිරීතිවලට යටත්ව සමාගමක් බවට පත් වීමයි. එය සමාගමක් සඳහා නියම කර ඇති නීතිරීතිවලට සහ ප්රමිතිවලට අනුව සංවිධානය වීමයි. එවැනි යාන්ත්රණයක් තුළ කාට හෝ අසාධාරණයක් වුණාට පසු එය නිරාකරණය කර ගැනීමට ද වෘත්තීයමය ක්රමයක් තියෙනවා.
දැනට ශ්රී ලංකාවේ බොහෝ නාට්ය නිර්මාණ ව්යාපෘතිවල කිසියම් ලාභයක් ඇති වෙලා හෝ පාඩුවක් නැති වෙලා තියෙනවා නම්, ඊට එක ප්රධාන හේතුවක් තමයි, හැඳුනුම්කම් හරහා මුදල් නොගෙවා ලබා ගන්න පුළුවන් සහයෝගය සහ අනුග්රහය. නමුත්, එහි ඇති ගැටලුව නම්, එයට දිගටම පවතින්නට නොහැකි වීමයි. ශ්රී ලංකාවේ නාට්ය කලාවේ ස්වර්ණමය යුගය හෙවත් මුල් යුගයේ ඇති විශේෂත්වය නම් මුදල් ගැන එතරම් නොසිතා රඟපෑමේ සිට සංවිධානය කිරීම දක්වා මෙසේ හැඳුනුම්කම් සහ 'අවිධිමත් අනුග්රහයන්' හරහා සහයෝගය ලබා ගැනීමට අදට වඩා බොහෝ අවස්ථා සහ හැකියාවන් තිබීමයි.
ඔබ ශ්රී ලංකාවේ නාට්ය කරලා මේ වෙන කොට නාට්ය නිෂ්පාදනවලින් ඈත් වෙලා ඉන්න බොහෝ දෙනකු සමඟ කතා කළොත්, ඔවුන් බොහෝ දෙනාට අඩු-වැඩි වශයෙන් වැඩ කරන්න ගිහිල්ලා කලකිරීමට ලක් වුණු අත්දැකීම් වගයක් කියනවා. විවිධ මූල්යමය අසාධාරණකම් (පොලු තැබීම්), සමස්තයක් ලෙස ශ්රමයට සිරිලන ඇගැයීමක් හෝ ප්රතිලාභයක් නැති වීම, ගෙවීම්වල දී ඇති භේද සහ අසාධාරණකම්, සමහර නාට්යකරුවන් හැඳුනුම්කම් ආදිය හරහා රජයෙන් විශේෂ වරප්රසාද ලබා ගැනීම් මේ ආදී උදාහරණ එමටයි. කර්මාන්තයක් වූ පසු මෙය විශාල වශයෙන් පාලනය වෙනවා.
කර්මාන්තයක් වීම ගැන කතා කරන කොට සමහරු කනගාටුවට පත් වෙන කාරණයක් තමයි, ඒ නිසා නිර්මාණවල ගුණාත්මකභාවය පිරිහෙයි ද කියන කාරණය. නමුත්, නැවතත් විශ්ව නාට්ය කලාවේ විශිෂ්ටතම නාට්ය ලෙස අපි හඳුනා ගන්නා සියල්ලම මෙන් බිහිවෙලා තියෙන්නෙ එසේ කර්මාන්තයක් වූ යාන්ත්රණයක් තුළයි. එසේම හුදෙක් එය කර්මාන්තයක් වූ පමණින් ම සාර්ථක වෙන්නේ නැති බව ඇත්ත. ඊට ගුණාත්මක නිෂ්පාදන ඉල්ලා සිටින ප්රේක්ෂකාගාරයක් ද ඇති විය යුතුයි. නමුත්, දැනට පවතින මේ ව්යාකූල, පිරිහුණු තත්ත්වයට වඩා වෘත්තීය කර්මාන්තයක් බවට පත් වන විට නිෂ්පාදනවල එම ගුණාත්මකත්වය වර්ධනය වෙන්න පටන් ගන්නවා (එවැනි ගුණාත්මක ප්රේක්ෂකාගාරයක් නිර්මාණය වෙන්නේ කෙසේ දැයි අපි පසුව ලිපියකින් වෙනමම සාකච්ඡා කරමු).
ඒ කෙසේ වෙතත්, ඕනෑම රටක හුදෙක් මුදල් සෙවීම සඳහා ම කරන නිර්මාණ තියෙනවා. ශ්රී ලංකාවේ සමහරු මේවා 'ජනප්රිය' සහ 'වාණිජ' නිර්මාණ කියලත් හඳුන්වනවා. එවැනි නිර්මාණ කෙතරම් බිහි වුණත් නාට්ය කලාවකට එයින් හානි වන බවට මෙතෙක් ලෝකයේ කොහෙන්වත් තහවුරු වෙලා නැහැ. උදාහරණයකට, ‘රැල්ල’ හෝ ‘නල්ලතම්බි’ වර්ගයේ නාට්ය කොපමණ නිෂ්පාදනය වුවත්, එය ‘මරා-සාද්’ හෝ ‘මනමේ’ වැනි නාට්යවලට තර්ජනයක් වෙන්නේ නැහැ, එම නාට්ය බලන්න පුරුදුව සිටි අය එයින් වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙන වෙන ගමන් මාර්ගවල ගිය වෙනම දාරාවන් සහ ප්රවණතාවයන් විදිහට අප තේරුම් ගත යුතුයි. සමහර විට ඒ එක නාට්ය කලාවක් කරා යන ප්රේක්ෂකයන් අනිත් නාට්ය කලාව කරා යන්නෙම නැති වෙන්න පුළුවන්. නාට්ය කලාවක් වඩාත් දියුණු වෙන කොට සංකීර්ණ වෙන කොට මෙවැනි නානාප්රකාර විවිධ දාරාවන් එම සංස්කෘතියට එකතු වෙනවා. එයින් යහපතක් මිස අයහපතක් වූ බවට මෙතෙක් ලෝකයේ වාර්තා වෙලා නෑ. ඇත්තටම සිදු විය යුත්තේත් විවිධාකාර ආකෘතින්, ශෛලීන් සහ ප්රවණතාවන්වලින් නාට්ය සංස්කෘතිය විවිධත්වයට සහ සංකීර්ණත්වයට පත් වී පුළුල් 'වෙළෙඳපොළක්' ඇති වීමයි. අප කළ යුත්තේ, නාට්ය කලාව පිළිබඳව හොඳ අධ්යාපනයක් ඇතුළු බුද්ධිමය කතිකාවන් හැකි තරම් වර්ධනය කරමින් ගුණාත්මක වෙළෙඳපොළකට නිෂ්පාදනය කිරීමට සැලැස්වීමයි.

පින්තූරය.
සුප්රකට නාට්යකරු පීටර් බෲක් ඔහුගේ බොහෝ නාට්ය නිර්මාණ කෙරුවේ International Centre for Theatre Research නම් නාට්ය සමාගම හරහායි. පින්තූරයේ ඇත්තේ ඉන්දියාවේ ‘මහා භාරතය’ ඇසුරින් නිෂ්පාදනය කරපු බෲක්ගේ 'The Mahabharata' නම් පැය තුනේ කොටස් තුනකින් පෙන්නන පැය නමයක නාට්යයේ දර්ශනයක්. මෙම සමාගම තුළ සිටි සියලුම ශිල්පීන් ලෝකය පුරා විවිධ රටවලින් මිශ්රව එකතු කර ගත්ත බහු සංස්කෘතික කණ්ඩායමක්. මෙම නාට්යයේ රඟපානේත් එවැනි කණ්ඩායමක්. අදත් මෙය ලෝකයේ වැඩිම අනුග්රහයක් ලබන නාට්ය සමාගමක් විදිහට හඳුන්වනවා.

Wednesday, January 5, 2022

දියුණු නාට්‍ය කලාවක අනුග්‍රහය




ශ්‍රී ලාංකේය නාට්ය කලාවේ අර්බුදය 5

මුළු ලෝක නාට්ය කලා ඉතිහාසය පුරාම නාට්ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් ප්රධාන භූමිකාවක් කරන්නේ අනුග්රාහකයා බව පසුගිය සාකච්ඡාවලදී අපි කතා කළා. රජය, පල්ලිය,ප්රභූවරු සහ ධානපතියන් පමණක් නොව සමහර අවස්ථාවල සාමාන්ය ජනයාගේ පවා ආධාර උපකාර මතින් තමයි නාට්ය කලාවේ අනුග්රහය සාමාන්යයෙන් පැවතිලා ආවේ. අදත් මෙම තත්ත්වය එතරම් බරපතළ වෙනසක් සිද්ධ වෙලා නැති අතර එකම වෙනසකට තියෙන්නේ අද වර්තමානයේ පවතින සාමාන්යයෙන් ධනවාදී ක්රමය තුළ එය විධිමත්ව සංවිධානය වී අනුග්රහක වෙළෙඳ පොළක් ද නිර්මාණය වී තිබීමයි. නාට්ය කලාවට අනුග්රහය නැතුව පැවතීමට නොහැකි හේතුව තමයි සමස්තයක් ලෙස ගත් කල නාට්ය කලාවකට ඊට අවශ්ය අධික ශ්රමය සහ වියදම ආවරණය කිරීමට එහි සේවය මිලදී ගන්නා ප්රේක්ෂකයා හෙවත් පාරිභෝගිකයාගෙන් පමණක් යැපෙන්නට නොහැකි වීමයි. තනි නාට්ය නිෂ්පාදනයක් ලෙස ගත්තත් නාට්ය දර්ශනයේ මුදලින් ඊට ගිය සම්පූර්ණ වියදම කාර්යාලීය සේවකයින්ගේ සිට ශිල්පීන් දක්වා වෘත්තීය මට්ටමෙන් හෙවත් සාධාරණ වැටුපකින් ආවරණය කරන්න පුළුවන් වන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් කීපයක දී පමණයි.
එබැවින් වඩාම දියුණු නාට්ය කලාවක් ඇති රටවල් වල නාට්ය කලාවට අනුග්රහය ලබාදීම සඳහා රාජ්ය සහ රාජ්ය නොවන පාර්ශව හරහා විවිධාකාර ක්රමවේද සැලසුම් ආකෘති තියනවා. එකී අනුග්රහය ලැබෙන මාර්ග හැකි තරම් නොනැසී දිගටම පවත්වා ගැනීම අවශ්ය වෙනවා. ශ්රී ලංකාවේ නාට්ය කලාවේ අර්බුදය තේරුම් ගන්නට උත්සාහ කිරීම ඉලක්කය බැවින් මෙම ලිපියෙ දී මගේ අවධානය සීමා කරන්න යන්නේ මට වඩාත් සමීප අත්දැකීම් ඇති නාට්ය කලාවක් වන ඕස්ට්රේලියානු නාට්ය කලාවට අනුග්රහය ලබාදීම සඳහා ඇති මූලික සැලැස්ම කුමක්ද කියලායි. යම් යම් වෙනස්කම් සහිතව දියුණු නාට්ය කලාවක් ඇති ලෝකයේ සෑම රටකම මෙන් නාට්ය කලාවට අනුග්රහය සොයා ගැනීම සම්බන්ධයෙන් ඇත්තේ මීට සමාන ක්රමයක්.
සාමාන්යයෙන් දියුණු නාට්ය කලාවන් ඇති රටවල රජයෙන් සැලකිය යුතු මුදලක් නාට්ය කලාවේ සංවර්ධනයට යොදවන නමුත් වෘත්තීය මට්ටමට එද්දි සමහරවිට එම රජයේ අනුග්රහයෙන් පමණක්ද නාට්ය කලාවට පවතින්නට අපහසුයි. එවිට බොහෝ විට සිදු වෙන්නේ රජය මැදිහත් වී ලෝකය පුරාම ඇති විවිධ අනුග්රහකවරු සොයා බලා ඔවුන්ගේ අනුග්රහය නාට්යකරුවන්ට සාධාරණව ලබා ගැනීම සඳහා ආකෘතියක් සකස් කිරීමයි. යම් යම් සුළු සුළු වෙනස්කම් සහිතව වඩාම දියුණු නාට්ය කලාවන් ඇති රටවල්වල් සෑම එකක්ම වගේ මෙම අනුග්රාහක වෙළෙඳපොළ නැත්තං නාට්ය කලාවට අනුග්රහය ලබා ගැනීමේ කටයුත්ත රජය මැදිහත් වී සංවිධානය කරලා තියෙනවා.
ලෝකය පුරාම, ඕනම රටක ද අඩු වැඩි වශයෙන් සිටින්නට පුළුවන් නාට්ය කලාවකට මෙසේ ආධාර අනුග්රහය දෙන අය කවුරුන්ද? විවිධාකාර දේශපාලනික අත්පත්කර ගැනීම් සඳහා,ආගමික උවමනාවන් සඳහා,විවිධ සුළු ජන කොටස්වල අයිතීන් සහ සුබසාධනය ආදිය සඳහා, කාන්තා සහ විවිධ පීඩිත ජන කොටස් වල හඬ සඳහා ආදී උවමනාවන් ඉෂ්ට කර ගැනීම සඳහා චිත්රපටි, නාට්ය සහ සාහිත්ය ආදී නිර්මාණ වලට අනුග්රහය දැක්වීමට අතිවිශාල පිරිසක් ලෝකය පුරා ඉන්නවා. ඊට අමතරව විවිධ වාණිජ අරමුණු සඳහා, ප්රචාරක අවශ්යතා ආදිය සඳහා ද අනුග්රහය දක්වන්නට බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. වඩා හොඳින් දියුණු නාට්ය කලාවක් ඇති රටවල් වල රජයේ නාට්ය කලාවට සම්බන්ධ අංශයේ කටයුත්තක් වන්නේ ලෝකය පුරාම මෙසේ අනුග්රහය දක්වන්නට පුළුවන් අය සොයා ඔවුන්ගෙන් අනුග්රහය නාට්යකරුවන්ට එන විදියට ආකෘතියක් සැලසීමයි. රජය විසින්ම වෙන්කල ප්රතිපාදන ලබාදෙන අනුග්රහයද සාමාන්ය එන්නේ එම ආකෘතිය තුළමයි. සිඩ්නි නාට්ය සමාගම (Sydney Theatre Company )වැනි විශාල නාට්ය සමාගම් වල ලෝකය පුරා පවතින මෙවැනි අනුග්රහයන් සොයා බලා ඉල්ලුම් කර අනුග්රහයන් ලබා ගැනීම සඳහා වෙනමම නිලධාරියෙක් පවා පූර්ණ කාලීනව කටයුතු කරනවා. රජයේ පවා එය වෙනමම වෘත්තියක්.
කෙසේ හෝ මෙසේ නාට්ය කලාවට දෙන මූල්යමය අනුග්රහයන් විවිධ වර්ගයන් යටතේ ලබා දෙනවා. උදාහරණයකට, පිලිගත් නාට්ය ශාස්ත්රාලයකින් අධ්යාපනය ලබා ගැනීමෙන් පසු අධ්යක්ෂණය කරන පළමු නාට්යයට නාට්යකරුවාට දෙන අනුග්රහය, ස්වදේශිකයින් ගේ හෝ සුළු ජාතිකයන්ගේ ප්රශ්න කතා කරන නාට්යයකට දෙන අනුග්රහය, දුෂ්කර පළාත්වල රඟදක්වන නිෂ්පාදන වලට දෙන අනුග්රහය.
දුෂ්කර පළාත්වලට රැගෙනයන නාට්ය වල සංචාරයට යන වියදම ආදී ලෙස. මෙයාකාරයෙන් නාට්ය සහ සමාජ ප්රවර්ධනයට අවශ්ය විවිධාකර පැතිවලින් එම අනුග්රහය රටේ ඒ ඒ ෆෙඩරල් ක්රමයෙහි අවශ්යතාවයන්ට අනූව වර්ගකරනයකට ලක්කලා තියෙනවා. සමහර අනුග්රහකවරු විසින්ම ද අපි අනුග්රහය දෙන්නෙ මේ අංශයට කියලා දෙන පිලිවල ආකෘති කරලා තියනවා. අප මීට කලින් ද සාකච්ඡා කරපු පරිදි සාමාන්යයෙන් මේ රටවල් වල නාට්ය නිෂ්පාදනය කරන්නේ නාට්ය සමාගම් හරහා පමණයි. එවිට සමාගම නාට්යයක නිෂ්පාදනක ලෙස( අධ්යක්ෂක ලෙස නොවේ) එම අනුග්රහයන්ට ඉල්ලුම් කර ලබාගත යුතුය. අදාල අනුග්රහයට වඩාම සුදුසුකම් ඇති ගුණාත්මක නිෂ්පාදන කරන සමාගම් වලට ඒවා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සමහර සමාගම් නිශ්චිත අනුග්රහයන් වගයක් වාර්ෂිකව හෝ මාසිකව නොකඩවා ස්තීර පදනමින් ලබා ගන්නට සමත් වෙන අවස්ථාවන් තියෙනවා. කෙසේ හෝ එම සමාගම්වල සියලුම කාර්ය මණ්ඩලයට ද නාට්ය වය්යපෘතියේ ශිල්පීන්ට වෘත්තික ව ගෙවන්නට මෙම අණුග්රහයන් විශාල වශයෙන් ආධාර වෙනවා.
නාට්ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් අනුග්රහය කියන එක මෙතරම් තීරණාත්මක භූමිකාවක් කරද්දී එම අනුග්රහය නාට්ය කලාවට ලබාදීම සඳහා ශ්රී ලංකාවේ, විශේෂයෙන් රජය පාර්ශවයෙන් මෙතෙක් ක්රියා කර ඇත්තේ කෙසේද යන කාරණය අපගේ අවධානයට ලක් විය යුතුයි. ඉහත අනිකුත් රටවල් වල පාවිච්චි කරලා තිබෙන ආකෘතිය දෙස බැලීමේදී අපට පෙනෙන්නේ එය විශාල වශයෙන් මුදල් යට වෙන වැඩකට වඩා හොඳින් සංවිධානය වීමේ මත සාර්ථක වෙන කරුණක් බවයි. ශ්රී ලංකාවට දෙසට හැරුණොත් බොහෝ විට මෙය සිදුවිය යුත්තේ නාට්ය අනුමණ්ඩලය හෝ කලා අනුමණ්ඩලය වැනි රජය සම්බන්ධ ආයතනයක් හරහායි. හැබැයි ශ්රී ලංකාවේදී නැවතත් මතක් කළ යුත්තේ අනුග්රහය විශේෂයෙන් මුදල් සම්බන්ධ කාරණා වලට එද්දි ඉතා පහසුවෙන් දූෂණය වීමට ඉඩකඩ ඇති බවයි.එවිට අනුග්රහකවරු එවැනි දූෂණ යන්ත්රණයකට සහයෝගය දීමට පැකිලීම අපට තේරුම් ගන්න පුළුවන්. ශ්රී ලංකාවේ ඩිල්මා ව්යාපාරිකයන් ඕස්ට්රේලියාව වැනි රටවල්වල නාට්ය කලාවට පවා සහයෝගය දක්වන්නෙ එම විශ්වාසය එම යාන්ත්රණය තුළින් ලබා දුන් නිසයි.
ශ්රී ලංකාවේ නාට්ය කලාව පවතින යන්ත්රණය පවා මූල්යමය කරුණු වල සිට ආකල්ප රටාව දක්වා දූෂණය වී ඇති ආකාරය ඉදිරියේදී අපි දත්ත සාධක සහිතව සාකච්චා කරමු.
වඩා දියුණු නාට්ය කලාවක් ඇති රටවල නාට්ය කලාවට අනුග්රහය ලබා දීමට රජය සහ තවත් සමහර ආයතන සංවිධානය වෙලා තියෙන ආකාරයට උදාහරණ සඳහා මම පහතින් ප්රධාන වෙබ් අඩවි කීපයක් සඳහන් කරලා තියෙනවා. මූලික වශයෙන් එම වෙබ් අඩවි ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ( New South Wales) ප්රාන්තයට අදාළ ඒවා වන අතර අනිකුත් ප්රාන්ත වල ද එයාකාරයෙන්ම සංවිධානය වෙලා තියෙනවා. මෙම වෙබ් අඩවි වලට අමතරව තවත් රාජ්ය සහ රාජ්ය නොවන ලෙස සංවිධානය වුණු අනුග්රහය ලබා දීමේ වෙබ් අඩවි රැසක් තියෙනවා. මෙහි සඳහන් නාට්ය කලාව ද ඇතුළු විවිධ සංස්කෘතික සහ කලා ක්රියාකාරකම්වලට අනුග්රහය දක්වන්නේ කෙසේද කියන එක ගැන මා ඉහතින් කළ විස්තරයට අනුව අදහසක් ගැනීමට ඔබට හැකි වේවි කියලා හිතනවා.
පින්තූරය: නාට්ය කලා ඉතිහාසයේ ප්රෙක්ෂක ආසන වල මිල ඉහළ යාම නිසා ඇති වූ ඓතිහාසික සිදුවීමක් තමයි Old Price Riots නමින් ප්රකට වූ ලන්ඩනයේ1809 කෝවන්ට් ගාර්ඩ්න් රඟහලේ( Covent Garden Theatre) ප්රේක්ෂකයින් ගහපු කැරැල්ල. එය මාස තුනක් පැවතුණු අතර 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා .මේ ඒ ගැන එවකට ප්රකට කාටූන් ශිල්පියෙකු වූ අයිසැක් රොබර්ට් කෲක්ෂැන්ක්( Isaac Robert Cruikshank) දැක තිබූ ආකාරය.

නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්