ප්‍රතිචක්‍රීයකරණය (Recycling) නම් ක්‍රමය ලෝකයේ නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාර්ථකව යොදා ගෙන ඇති ක්‍රමයක්. විශේෂයෙන් එය නාට්‍ය කලාව දියුණු කරන්න මුදල් සහ පහසුකම් නෑ කියන රජයකට යෝජනා කරන්න පුළුවන් හොඳ ව්‍යාපෘතියක්.
ප්‍රතිචක්‍රීයකරණයේ දී අවධානය යොමු කරන්නේ රංඟහලවල් මෙන්ම පසුතල, ඇඳුම් නිර්මාණ ආදී නාට්‍ය නිෂ්පාදනයේ දී වියදම් යන අමුද්‍රව්‍ය වෙනත් අරමුණු සඳහා යොදා ගන්නා හෝ අපතේ යන ස්ථානවලින් නාට්‍ය කලාවට යොදා ගැනීමටයි. නූතන ලෝක නාට්‍ය කලාව තුළ මෙය වඩා ම අවධානයට ලක් වුණේ ඕෆ් බ්‍රෝඩ්වේ, (Off Broadway) විශේෂයෙන් ඕෆ්-ඕෆ් බ්‍රෝඩ්වේ (Off - Off Broadway) නාට්‍ය කලාව තුළ යොදා ගැනීමත් සමඟයි.
අපි දන්නවා ඒ ඕෆ් බ්‍රෝඩ්වේ සහ ඕෆ් ඕෆ් බ්‍රෝඩ්වේ නාට්‍ය සංස්කෘති බිහි වෙන්නේ ප්‍රධාන ධාරාවේ මහා නාට්‍ය සම්ප්‍රදායයට එරෙහිව විකල්ප නාට්‍ය ප්‍රවණතාවක් ලෙසට ඒ මහා සම්ප්‍රදායයන් තුළට හසු කර නොගන්නා එයින් බැහැර කරන නාට්‍ය කලාවන් බව. තේමාවලින්, ආකෘතිවලින් මෙන්ම ඉදිරිපත් කරන රටාවෙන් ද එම විකල්ප නාට්‍ය කලාවට නව මංමාවත් සොයාගෙන යන්න සිද්ධ වෙනවා.
පිළිගත් ආකාරයේ රඟහලවල් ගොඩනඟා ගැනීම මෙන්ම පසුතල සහ ඇඳුම් සඳහා විශාල ප්‍රමාණයෙන් වියදම් කිරීම ඔවුන්ට අභියෝගයක් වුණා. එබැවින්, ඔවුන් කළේ සාමාන්‍යයෙන් රඟහලවලට සුදුසුයි කියා නොපිළිගන්නා විවිධාකාර ගොඩනැඟිලි, ගබඩා කාමර, අත්හැර දැමූ කඩසාප්පු, ගෙවල්, සහ කර්මාන්ත ශාලා වැනි ගොඩනැඟිලි රඟහලවල් බවට පරිවර්තනය කර ගැනීමයි. සමහර අවස්ථාවල මුල් ගොඩනැඟිල්ලේ තියෙන ලක්ෂණ ඔවුන් ඒ විදිහටම තියාගෙනම ඒ තුළ රංග ශාලාවකට අවශ්‍ය දේවල් හැදුවා. ඔවුන් විවිධ හැඩවලින් යුක්ත විවිධ ප්‍රේක්ෂක සංඛ්‍යාවලින් යුක්ත රංග අවකාශවලට ඔවුන් ගියා. කෙසේ හෝ වැදගත් දේ නම්, වෙනත් වැඩ සඳහා යොදා ගත් ගොඩනැඟිලි විශාල පරිවර්තනවලට ලක් නොකර අඩු වියදමකින් අපූරු විවිධ ආකෘතිමය රංග අවකාශ බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන් වීමයි. ඒවා ආදර්ශයට ගනිමින් පරිවර්තනය කළ ලෝකප්‍රකට රංග (සහ විවිධ කලාවන් සඳහා) අවකාශයක් තමයි කැරේජ්වර්ක්ස් (Carriageworks) නම්, ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ තියෙන රඟහල් සංකීර්ණය. එය ගොඩනඟා ඇත්තේ එක්දහස් අටසිය ගණන්වල ආරම්භ කර පසුව අත්හැර දැමූ විශාල දුම්රිය වැඩපළක් පරිවර්තනය කිරීමෙන්, එම මුල් ගොඩනැඟිල්ලේ රේල් පාරවල් ද ඇතුළු බොහෝ අංග තාමත් එසේම තිබේ.
ශ්‍රී ලංකාවේ දී අපට මේ ක්‍රමය ඉතා සාර්ථකව යොදා ගත හැකි ය. ඉන් වැදගත්ම එකක් තමයි රජයේ විවිධාකාර ක්‍ෂේත්‍රවල ඇති කාර්යාල සංකීර්ණවල සහ රජයේ සේවකයන් පුහුණු කරන මධ්‍යස්ථාන වැනි තැන්වල ඇති ශ්‍රවණාගාර. ඒ වගේම ඒ බොහෝ ඒවා නාට්‍ය පෙන්වන සවස් වරුවල මෙන්ම මාසයේ වැඩි දවසක් භාවිතයට නොගෙන පවතී. විශේෂයෙන් පිටතින් යන්නට එන්නට පහසු පරිදි පිහිටා ඇති ශ්‍රවණාගාර මේ සඳහා සලකා බැලිය හැකි ය. මෙම ශ්‍රවණාගාර නාට්‍ය පෙන්වීමට මෙන් ම පුහුණු වීම් සඳහා ද යොදාගත හැකි ය. ඒ සඳහා ඒවා භාවිත නොකරන වේලාවලට සහ කාලවලට අනුව නාට්‍ය කලාවට ලබා දිය හැකි ය. සමහර විට සාධාරණ යම් මුදලක් එම කාර්යාල වෙත (සුබසාධන සංගමයට) අය කරමින් කුලියට දීමට හැකි ය. මම කොළඹ ආශ්‍රිතව මෙන්ම ලංකාව පුරා ද නාට්‍ය වැඩමුළු, දේශන සහ විවිධ පුහුණු වීම් මෙවැනි ස්ථානවල මෙහෙයවා ඇත්තෙමි. බොහෝ විට ඒවාට අවසර ගත්තේ කිසිවකු විසින් ඉහළ නිලධාරියකුගේ ඇඳුනුම්කම් හරහායි.
මේ සමහර ශ්‍රවණාගාරවල නියම රංගාලෝකය අඩුකම සහ සුළු වාස්තවික අඩුපාඩු කීපයක් ඇරෙන්නට නාට්‍ය පෙන්වීම සඳහා සතුටුදායක තත්ත්වයේ පවතී. මෙම ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය වඩාත් බැරෑරුම්ව ගන්නා අවස්ථාවක දී ඒවා නියම රංගශාලාවක වාස්තවික තත්ත්වයට අවශ්‍ය විදිහකට යම් ප්‍රතිසංස්කරණයකට ලක් කළ හැකි ය. මගේ යෝජනාව වන්නේ මුලින්ම නියම රංගාලෝකය ගැන කරදර නොවී මේවා රංග සහ පුහුණුවීම් අවකාශ බවට පරිවර්තනය කර ගන්නේ කෙසේ ද යන්නට කල්පනා කළ යුතු බවයි.
මීට අමතරව රජයේ අතිවිශාල ගොඩනැඟිලි සංඛ්‍යාවක් අත්හැර දමා තිබේ. ඒවා වසා දමා වැටකොටු බැඳ කිසිදු ප්‍රයෝජනයක් නැතිව පවතී. අවම වශයෙන් මේවායෙන් ප්‍රයෝජනයක් ගන්නා තුරු තාවකාලික පදනම මත හෝ රංගශාලාවක් බවට පත් කිරීමට නොහැකි නම්, නාට්‍ය පුහුණු වීම් සඳහා හෝ ලබා ගත හැකිය.
බොහෝ පාසල්වල ඇතුළු අධ්‍යාප න ආයතනවල ද ඇති ශ්‍රවණාගාර ද රංග ශාලා බවට විවිධාකාරයෙන් පරිවර්තනය කර ප්‍රයෝජනයට ගත හැකිය.
කෙසේ හෝ රට පුරා දහස් ගණනින් ඇති රජයේ ශ්‍රවණාගාර සහ අත්හැර දැමූ ගොඩනැඟිලි පිළිබඳව යම් අධ්‍යයනයක් කර ඒවායින් නාට්‍ය පුහුණු වීම්වලට සහ දර්ශනවලට යොදා ගත හැකි ඒවා සොයා බැලුවොත්, කෙතරම් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් දැයි දැකගත හැකි ය.
මේ ආකාරයට නාට්‍ය කලාවට අදාළත්වයක් නැති ක්‍ෂේත්‍රවල තිබෙන ශ්‍රවණාගාර නාට්‍ය කලාවේ ප්‍රයෝජන සඳහා ලබා දීම එක්තරා විදිහක අසාම්ප්‍රදායික, අසම්මත බව ඇත්ත. නමුත්, ලෝකයේ විවිධ රටවලින් උදාහරණ අරගෙන අවශ්‍ය අය දැනුම්වත් කර මෙය කරන්න බැරි දෙයක් නොවේ.
හොඳට හෝ නරකට ශ්‍රී ලංකාවේ දී මෙවැනි දෙයක් ඇමැතිවරයකු හරහා සිදු කර ගත හැක ිය. එබැවින්, මගේ යෝජනාව වන්නේ අදාළ ක්‍ෂේත්‍රවල ඇමැතිවරයාව හමු වීමෙන් මෙම ප්‍රතිචක්‍රීයකරණ අදහස අත්හදා බැලිය හැකි බවයි.
ඉහතින් යෝජනා කළ ආකාරයේ ස්ථාන අත්පත් කර ගැනීම සඳහා මුදල්වලට වඩා අවශ්‍ය වන්නේ සැලසුම්සහගත නීතිමය මැදිහත් වීම් සහ වෙනස්ව සිතීමකි. කෙසේ හෝ ඒවා රජයකට අවශ්‍ය නම්, කළ නොහැකි දේ නොවේ. අවශ්‍ය වන්නේ නාට්‍ය කලාව පැත්තෙන් රජය ලවා කරවගන්නා පිරිසක් පමණය.
නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමේ දී ඇති වෙන ප්‍රධානම අභියෝගයක් වන්නේ නාට්‍ය නරඹන්නේ නැති ප්‍රේක්ෂකයා තුළ නාට්‍ය නැරඹීමේ පුරුද්දක් ඇති කරන්නේ කෙසේ ද යන්නයි. සාමාන්‍යයෙන් දැනට බොහෝ විට කෙරෙන පරිදි විවිධ සම්බන්ධතා සහ බලපුළුවන්කාරකම් හරහා ප්‍රවේශ පත්‍ර විකුණා රඟහල තුළට නොදමන්නට සාමාන්‍යයෙන් එම ප්‍රේක්ෂකයා ස්වකැමැත්තෙන් එම නාට්‍යය නරඹන්නට නොපැමිණෙයි. එම නිසා එවැනි තැන්වල නාට්‍ය නැරඹීමේ සංස්කෘතික පුරුද්දක් වර්ධනය වෙන්නේ නැත. සාමාන්‍යනෛාන් එවැනි අවස්ථාවල දී ඇති වන ප්‍රශ්නය වන්නේ ප්‍රේක්ෂකයා නාට්‍ය පෙන්වන තැනට සුවිශේෂයෙන් සූදානම් වී තමන් නුහුරු නුපුරුදු ගමනක් යන්නට සිදු වීමයි. මේ නිසා නාට්‍ය කලාව මිනිසුන් අතරට ගෙන යාමේ දී එසේ මිනිසුන්ට වෙනමම සූදානම් වී නො ගිය ග මනක් එන්නට කියනවාට වඩා මිනිසුන් ඉන්නා ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව තුළටම නාට්‍ය රැගෙන ගොස් එහි කොටසක් බවට නාට්‍ය පත් කිරීම වඩා ප්‍රායෝගික ය.
මේ සඳහා ඉහතින් සඳහන් කළ ආකාරයට රජයේ ආයතනවල අවකාශ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමය පාවිච්චි කිරීමටම අදාළව තව වැදගත් යෝජනාවක් තියෙනවා. එම ආයතනවල ඇති ශ්‍රවණාගාරවල ඒවා දැනට තියෙන සැටියෙන්ම වුව ද, විශේෂයෙන් කෑම පැයේ දී කෙටි නාට්‍යයක් හෝ දෙකක් රඟදැක්වීම පහසුවෙන් කළ හැකි ය. කෑම පැයේ දී කෙටි නාට්‍ය පෙන්වීමට මා දුටු හොඳ ආදර්ශ සපයපු අවස්ථාවක් නම්, අශෝක හඳගම ඔහු වැඩ කළ බැංකු කාර්යාලයේ කෑම පැයේ දී කෙටි නාට්‍ය ගෙන්වා පෙන්වූ ආකාරයයි. එහි මගේ නාට්‍ය පවා පෙන්වා තිබේ. මම සිතූ පරිදි එහි ඇති සුබසාධන සංගමයකින් අවශ්‍ය ප්‍රතිපාදන හෝ අනුග්‍රහය ලබා දුන්නා. මාසෙකට සැරයක් හෝ එවැනි ස්ථානයක නාට්‍ය පෙන්වමින් යන කොට නාට්‍ය නැරඹීමට හුරුවෙන ප්‍රේක්ෂකයන් පිරිසක් ඇතිවෙන අතර, එකම සමාජයක පිරිසක් බැවින්, ඒ පිළිබඳව කතාබහක් සහ පොදු රසිකත්වයක් ගොඩනැඟෙනවා. මෙය තමයි, ප්‍රේක්ෂකයන් තුළ ඇති කළ යුතු ම තත්ත්වය.
ශ්‍රී ලංකාව පුරා මෙවැනි රජයේ ආයතන දහස් ගණනක් තියෙනවා. කෑම පැය විනාඩි හතළිස්පහක් වැනි කොටසක් ගත්තොත්, සාමාන්‍යයෙන් හොඳ කෙටි නාට්‍යයක් දෙකක් එසේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ නාට්‍ය උලෙළවලින් වාර්ෂිකව සැලැකිය යුතු කෙටි නාට්‍ය සංඛ්‍යාවක් බිහි වෙනවා. කෙටි නාට්‍ය පෙන්වීම ද අභියෝගාත්මක බව අපි දන්නවා. එම නිසා රජය මැදිහත් වී රජයේ ශ්‍රවණාගාරවල නාට්‍ය නැරඹීමට ක්‍රමානුකූල වැඩසටහනක් හදා ගැනීම කිසිසේත් අපහසු නෑ. කාලයක් එක්කම කිසියම් ආයතනයක් එහෙම නාට්‍ය නරඹන්න පුරුදු පුහුණු වුණාට පසු සමහර විට වැඩ ඉවර වීමෙන් පසුත් නාට්‍යයක් ඇත්නම් රසවිඳින්න ඔවුන් පෙළැඹෙනවා.
මෙසේ කාලාන්තරයක් එහෙම කිසියම් පුරුදු පුහුණු රටාවක් ගොඩනැඟුවාට පසු බොහෝ දේවල් එවැනි තැන්වල ඊට අදාළව සිද්ධ වෙනවා. ඔවුන්ගෙන් නාට්‍ය කලාවට විවිධ ආධාර උපකාර ගන්නට, සමහරු රඟපාන්නට සහ නිර්මාණ කරන්නට, නාට්‍ය ගෙන්වා සංවිධානය කරන්නට සහ කතාබහ ආදිය ඇති කරන්නට පෙළැඹෙනවා. කොහෙන් හෝ පහසු තැන්වලින් වැඩි ආයාසයකින් තොරව සුළුවෙන් හෝ පදනම දැමිය යුතුයි.
පින්තූරය :ඕස්ටේ්‍රලියාව් කැරේජ්වර්ක්ස් (Carriageworks) රංග කලා සංකීර්ණයේ ඉදිරිපස පින්තූරයක්. මෙහි ආරම්භක අවස්ථාවේ තිබූ රේල්වේ වැඩපොළේ ඇති හැඩය සහ ආකෘතිය එසේම පවත්වාගෙන තියෙනවා. මෙය රංග සහ කලා අවකාශයක් බවට පරිවර්තනය වීම නිසා එම ඓතිහාසික ගොඩනැඟිල්ලේ තියෙන වැදගත්කම තවත් වැඩිවුණා. ශ්‍රී ලංකාවේ ද බෝගම්බර හිරගෙදර වැනි ඓතිහාසික ගොඩනැඟිල්ලත් වඩා සුදුසු මෙවැනි ව්‍යාපෘතියක් සඳහායි.

No comments:
Post a Comment