Friday, February 25, 2022

නාට්‍ය උලෙළ ඉරණම තීරණය කරන මොහොත

ප්‍රමාණවත් ගුණාත්මක නාට්‍ය බිහි නොවීම අර්බුදයක් බවට පත් වී ඇත්නම්, මගේ අත්දැකීමට සහ අවබෝධයට අනුව ඒ සඳහා නාට්‍ය උලෙළවල් බලපාන ප්‍රධානම තැන හඳුනා ගන්න මම මෙම ලිපියෙන් උත්සාහ කරනවා. මම මෙය හදිසියේ කියන කතාවක් නෙවෙයි, මම නාට්‍ය කරන්නට පටන් ගත්තදා සිට නාට්‍ය විනිශ්චයකරුවකු, තරගකරුවකු මෙන්ම ප්‍රේක්ෂකයකු ලෙසටද මගේ නිරීක්ෂණයෙන් කියන කතාවක්. එසේම මෙහි මගේ උත්සාහය නාට්‍ය උලෙළවල් සාර්ථක කර ගන්නේ කෙසේද කියන එක නොවෙයි, නාට්‍ය කලාවේ අර්බුදයට නාට්‍ය උලෙළවල් වඩාම බලපාන තැනක් පෙන්වා දීමයි.

නාට්‍ය උලෙළවල් ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව සම්බන්ධයෙන් අතිශය ඉරණම්කාරී භූමිකාවක් කරනවා. මේ උලෙළවල් අතර ජාතික මට්ටමෙන් වඩාම බලපෑමක් කරන නාට්‍ය උලෙළවල් දෙක ‘යෞවන සම්මාන නාට්‍ය උලෙළ’ සහ ‘රාජ්‍ය නාට්‍ය උලෙළ’යි. ඒවා ප්‍රධාන කොට මම මේ කතා කරන කරුණු ඕනෑම නාට්‍ය උලෙළක් සම්බන්ධයෙන් අදාළයි.

අපට කතා කරන්න හමුවන සියලුම නාට්‍ය මෙන් නාට්‍ය උලෙළවල් හරහා පැමිණි ඒවායි. මීට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නාට්‍යකරුවාට අවශ්‍ය ප්‍රචාරය, මූල්‍ය අනුග්‍රහය සහ ප්‍රේක්ෂකයන් වෙත

යාමට නාට්‍ය උලෙළවල් රටේ ප්‍රධානම නාට්‍ය අනුග්‍රාහක වෙළෙඳපොළ නිර්මාණය කර දීමයි. එම නිසා නාට්‍ය උලෙළවල තියෙන නීතිරීති, විනිශ්චයන්වල බලපෑම ලාංකීය නාට්‍ය කලාවේ ඉරණම තීරණය කරනවා.ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න, යම් යුගයක නාට්‍ය උලෙළවල්වලින් හොඳම නාට්‍ය ලෙස සම්මානයට සහ පිළිගැනීමට පාත්‍ර කරපු කැපීපෙනුණු නාට්‍යවල ලක්ෂණ සහ ඒවායෙන් ගත්ත විවිධාකාර ආභාසයන් එම නාට්‍ය සම්මානයට පාත්‍ර වුණු වසරට ආසන්නම අවුරුදුවල බිහිවන නාට්‍ය නිර්මාණවල දකින්නට තියෙනවා. විශේෂයෙන් අලුත් නාට්‍යකරුවන්ගේ නිෂ්පාදනවලට එය ඉතා තදින් බලපානවා. එබැවින්, යම් කාලවකවානුවක නාට්‍ය කලාව පිරිහිලායි කියන විට එම කාලයේදී නාට්‍ය උලෙළවල්වලින් මතු වුණේ කවර නම් නාට්‍ය කලාවක්ද කියලා විමසා බලන්න. මෙය නාට්‍ය විතරක් නෙමේ සිනමා, සාහිත්‍යය සහ චිත්‍ර ආදී ඕනෑම කලාවකට එක සේ අදාළයි.

නාට්‍ය උලෙළවල් දිහා බැලූවාම එවායින් ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ අවසාන වටය නමින් ඉදිරිපත් කරන උත්සව අවස්ථාවට බව පේනවා. එය ප්‍රවීණ හෝ ප්‍රසිද්ධ විනිශ්චයකරුවන් වැඩිම ප්‍රමාණයක් ඉන්නා අවස්ථාව වන අතර නාට්‍යවලට ප්‍රසිද්ධිය වඩාත් ලබාදෙන අවස්ථාවත් ඒකයි. නමුත්, ඇත්ත වශයෙන්ම නාට්‍ය තරගය විසින් රටේ නාට්‍ය කලාවේ ඉරණම තීරණය කරන ප්‍රධාන මොහොත ඒක නෙමෙයි,

ඒක ඊට බොහෝ කලින් හමුවන්නේ. එනම්, ප්‍රථම වටයෙන් පිටපත් තෝරන අවස්ථාවයි. දෙවන සහ අවසාන වටයට එන විට මුල් වටයෙන් බොහෝ නාට්‍ය ඉවත් කර අවසන්. එබැවින් පොදුවේ රටේ නාට්‍ය කලාවට බලපාන වඩා තීරණාත්මක තෝරා ගැනීම සිදුවන්නේ පිටපත් තෝරන මුල් වටයේදීයි. එසේම වඩාම සංකීර්ණ අවස්ථාවත් ඒකයි. මීට ප්‍රධානම හේතුව නම්, විශේෂයෙන් නව ආරක නාට්‍ය, පර්යේෂණාත්මක නාට්‍ය සහ අලුත් සංකල්ප වැනි දේවල් නාට්‍යයක පිටපත ඇසුරින් විනිශ්චය කිරීම අතිශයින්ම අපහසු වීමයි. මෙතැනදී මතුකළ යුතු ඉතාම වැදගත් පර්යේෂණාත්මක නාට්‍යයක් වැඩක්ම නැති නාට්‍යයක් විදියට පහසුවෙන් පෙනී යන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවන් පිටපත් ඇසුරින් පමණක් සාර්ථකව විනිශ්චය කළහැක්කේ ඉතාම සුවිශේෂ හැකියාවක් ඇති පිටපත් විනිසුරුවන්ට පමණයි.එයට නාට්‍යයේ කලාත්මක සහ දේශපාලන පැත්ත, නිෂ්පාදන පැත්ත මෙන්ම සාහිත්‍යමය පැත්ත ගැනත් නව පර්යේෂණාත්මක සංකල්ප පිළිබඳවත් හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඒ වගේම සමහර විට අලුත් නාට්‍යකරුවකුට ලෝකයේ එවැනි පවතින සංකල්ප පිළිබඳ එතරම් අවබෝධයක් නැතිව 'ඉවෙන්' කරන පර්යේෂණාත්මක අදහස් තිබෙන්නට පුළුවන්. එනම්, ඊට සමාන ලක්ෂණ පවතින නාට්‍ය කලාවෙන් හොයාගන්න අතිශයින් අපහසු වෙන්නපු ළුවන්. (ලෝක කලා ඉතිහාසය පුරාම පර්යේෂණාත්මක සහ නව ආරක නිර්මාණ බොහෝ විට පැමිණ ඇත්තේ න්‍යායික අවබෝධයට වඩා ‘ඉව හරහායි. නිර්මාණකරණයේදී ‘ඉව’ යනු සරල ආධුනික දෙයක් විදිහටසමහර න්‍යායචාර්යවරුන් සැලැකුවද, එය සම්පූර්ණයෙන්ම වැරැදියි). ඒවාගේම සමහර පිටපත් තියෙනවා මුලික වශයෙන් එතරම් සාහිත්‍යයමය පැත්ත සහ සංවාද ගැන වැඩි බරක් දමන් නැති පැය දෙකක පමණ නාට්‍යයක් කොළ කීපයකට පමණක් සැලැස්ම විදිහට ගෙනාපු ක්‍රියාව ප්‍රධාන කරගත්ත. මෙවැනි සංකීර්ණතා පිටපතක් තුළින් සොයා ගැනීම අතිශයින්ම අපහසු බව ඔබට පැහැදිලි විය යුතුයි. සමහර අවස්ථාවල අතිශය සම්මත නමුත්, හොඳ නාට්‍යයක් පවා පිටපත ඇසුරින් හොයා ගන්නට බැරි වෙන අවස්ථා තියෙනවා.ඒ වගේම පළමු වටය තරමක් අප්‍රසිද්ධියේ සිදු වන විනිශ්චයක් බැවින්, එහි හරි වැරැදි එළිදරවුවීමට ඇති අවස්ථාවද අතිශයින් අඩුයි.

 පළමු වටයේදී පිටපත් තෝරා ගැනීමේදී ඇති විය හැකි ඉහතසඳහන් අවදානම අඩු කර ගැනීම සඳහා යම් යෝජනා වගයක් දෙස අපට බලන්න පුළුවන්.

මෙතැනදී පිටපත තෝරා ගන්න යොදා ගන්න විනිසුරු ඉරණම්කාරී භූමිකාවක් කරන බැවින්, ඉහත සඳහන් කළ පරිදි පිටපත් තේරීමේදී ඇති අභියෝගතා සහ සංකීර්ණතා ජය ගැනීමට සුදුසු ඉතා පුළුල් විධික්‍රමයකින් වඩා සුදුසු විනිශ්චකරුවන් තෝරා ගත යුතුයි. නමුත්, විනිශ්චකරුවන් සම්බන්ධයෙන් අඩුම සැලැකිල්ල තබන්නේ පළමු වටයේදී බවයි බොහෝ විට අපිට පෙනෙන්නේ. සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ නාට්‍ය පිටපත්තේරීම සඳහා විනිසුරුවන් තෝරන්නෙ නාට්‍ය කලාව ගැන එතරම් පසුබිමක් නැති නිලධාරියකු හෝ එවැනි නිලධාරි මණ්ඩලයක් හෝ විසින්. ඔවුන් නිතරම මෙන් විනිශ්චයකරුවන් හඳුනා ගන්නෙ ඒ විනිශ්චයකරුවන් නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියන ආකාරයට අනුව හෝ ක්ෂේත්‍රයේ විවිධ අයගෙන් අසා දැනගැනීමෙන්. ලෝකයේ සමහර නාට්‍ය විනිශ්චය මණ්ඩලවලදීද කරන පරිදි නාට්‍ය පිටපත් හෝ නිෂ්පාදන තේරීමේදී මතුවන ඉහත සඳහන් කළ ආකාරයේ සංකීර්ණතා සහ අභියෝග පිළිබඳව දැනුම්වත් වීමට විනිශ්චය මණ්ඩලයට සහභාගී වන සියලුම දෙනාට යම් සම්මන්ත්‍රණයක්, දේශන පෙළක් හෝ වැඩමුළුවක් ආදිය කිරීම හෝ අවම වශයෙන් විනිශ්වය මණ්ඩලයේ ඉන්න සියලුමදෙනා හමුවී සාකච්ඡා කර එවැනි කාරණා පිළිබඳව අවධියක් සහ අවබෝධයක් ඇති කර ගැනීමද හානිය අවම කර ගැනීමට ප්‍රයෝජනවත්.එසේම, පළමු වටයේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව හැකි තරම් වැඩි කර පුළුල් විනිශ්චයකට ලක් කිරීමටත් පුළුවන්. 

නාට්‍යයේ ශෛලිය ඇතුළු විශේෂ නිෂ්පාදන උපක්‍රම සහ අවසාන නිෂ්පාදනය ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව කෙටි විස්තරයක්ද පිටපතට ඇතුළත් කරන්නයි කීම.

මුල් වටයේදීම හැකි තරම් නාට්‍ය ප්‍රමාණයක්, ප්‍රායෝගික නම් සියලුම නාට්‍ය පිටපත්, නිෂ්පාදනය කිරීමට සැලැස්වීම. රංගාලෝකය වැනි වියදම් යන අංශ නොසලකාහැර නිශ්චිත රඟහලවලට දිවා කාලය පුරා නාට්‍ය රඟදැක්වීමට සලස්වා විනිශ්චය කිරීම. (ප්‍රාදේශීය වශයෙන් හෝ අගනුවරට කැඳවා) එයින් පිටපත් ප්‍රතික්ෂේප වීම නිසා නිෂ්පාදනය නොවීමට ඉඩ තිබූ නාට්‍ය රැසක් නිෂ්පාදනය වන අතර, ඒ හරහා බොහෝ විට අලුත් ශිල්පීන් රැසකට අත්දැකීම් ලැබීමටද අවස්ථාව ලැබෙනවා.පිටපත ප්‍රතික්ෂේප වීමෙන් නාට්‍ය නිෂ්පාදනය නොවීම කිසිදු විශේෂ ප්‍රගතියක් ඇති කරන්නේ නැහැ. ඒ කොහොම කළත්, නව ආරක නාට්‍ යවිනිශ්චය කිරීම බොහෝ විනිසුරුවන්ට පහසු කටයුත්තක් නෙමෙයි. අවම වශයෙන් එයින් පිටපතට වඩා නිෂ්පාදන දකින්නට ලැබීමෙන් සිදුවන හානිය අවම කර ගන්න පුළුවන්. අවම වශයෙන් තෝරා නොගත් පිටපත්වලින් නිෂ්පාදනයේදී විශාල වෙනසක් වෙයි කියලා හිතන නාට්‍යවලට නිෂ්පාදනය කර ඉදිරිපත් කර පෙන්වීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් මට විශේෂයෙන් ඔබට අවධාරණය කරන්න අවශ්‍ය, නාට්‍ය උත්සව නාට්‍ය මතුවන එකම තැන බවට පත්වී ඇති නාට්‍ය කලාවක නාට්‍යකරුවන් ඇතිවෙන නැතිවෙන ප්‍රධාන අවස්ථාව මෙය බැවින්, එම  විනිශ්චය සඳහා ඉතාම දියුණු සූක්ෂ්ම යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි. හොඳ නාට්‍ය නැති වෙන්න ඉඩ ඇත්තේත්, අලුත් නාට්‍යකරුවන් මතුවීම වැළකෙන්න ඉඩ ඇත්තේත් ප්‍රසිද්ධියේ විනිශ්චය කරන අවසාන වටයේදී නොව පිටපත කියැවීමෙන් පමණක් අප්‍රසිද්ධියේ විනිශ්චය කරන මුල් වටයේදීයි.

හොඳට වගේම, නාට්‍ය තරග එකම ප්‍රධාන බලවේගය වීම නිසා නාට්‍යකරුවන් ඇති කිරීමේ සහ නැති කිරීමේ ඒකාධිකාරී හැන්දක් උලෙළවල්වලට තියෙනවා. ඒ තමයි ඒවායේ නරකම පැත්ත. මං මීට පෙරද සාකච්ඡා කළ පරිදි සහ මම යෝජනා කරන පරිදි පුළුල් නාට්‍ය කලා වෙළෙඳපොළක් වෘත්තීය නාට්‍ය කලාව සමඟ ඇති වුණු පසු මෙවැනි ඒකාධිකාරී බලවේගවලට පවතින්නට බැරිව යනවා .සිදු විය යුත්තේ නාට්‍ය උලෙළවල් නැති කිරීම නෙවෙයි, ඒවායේ ඇති ඒකාධිකාරී බලය නැති තවත් නිර්ණායකයන් සහ වෙළෙඳපොළවල් බිහිවී අගැයීම් පද්ධතිය සහ අනුග්‍රාහක වෙළෙඳපොළවල් පුළුල් වීමයි.


පින්තූරය: ඕස්ට්‍රියාවේ විලාච්හී පිහිටි වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ලොව කුඩාම රඟහල ලෙස ගිනස් වාර්තාව දිනූ ක්‍රෙම්ලොෆ් රඟහල (Kremlhof theater). මෙහි වේදිකාව අඩි පහයි පහක පමණ වන අතර, ආසන ප්‍රමාණය අටයි.සාමාන්‍යයෙන් මෙහි ප්‍රවේශ පත්‍ර අය කරන්නේ නැති අතර, ප්‍රේක්ෂකයන් ස්වේච්ඡාවෙන් දෙන ආධාර පමණක් පිළිගන්නවා මෙහි ඔපෙරා වේදිකානාට්‍ය ආදී බොහෝ නිර්මාණ ඉදිරිපත් කරනවා. මෙය මුල් වරට 2008දී විවෘත කළ අතර, 2010 සිට මේ වන තෙක් නොකඩවා නිර්මාණ ඉදිරිපත්කර තිබෙනවා.



Friday, February 18, 2022

අර්බුද ජය ගන්න ගොනු වෙන්න බැරි වීම.

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය ගැන කතා කරන කොට මතු කළ හැකි ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි, ඒක තාමත් අප නාට්‍යකරුවන්ට කරගන්නට බැරි වුණේ ඇයි කියන කාරණය. ප්‍රශ්නය දැනුම ද? මුදල් ද? සම්පත් ද හෝ වෙනත් යමක් ද? මේ ලිපියෙන් මම මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ මීට හේතු වන ප්‍රධාන ප්‍රශ්නයක් වන ආකල්පමය ගැටලුවයි. සමහර විට මේ කාරණයම ශ්‍රී ලංකාව රටක් විදියට තවමත් දියුණු වීමට නොහැකි ඇයි කියන ප්‍රශ්නයට ද සම්බන්ධ වෙන්න පුළුවන්.

කාලාන්තරයක් පුරා මානුෂික වුවමනාවන්, සම්පත් සහ වරප්‍රසාද ආදිය ඉතාම අසාධාරණ ලෙස බෙදා ගැනීමට  සහ ඒවාට තරග කිරීමට සිදුවීම යම් සාමුහික දියුණුවක් කරා යන සාරවත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදාගෙන නැති වීම, අවස්ථාවාදීත්වය තුළ එදිනෙදා ජීවත් වීමට සැලැස්වීම ආදී කාරණා මීට හේතු වී ඇති බව අර්බුදයට හේතු වන මෙම ආකල්ප දෙස බලන විට අපට පෙනී යනවා.

මේ සඳහා මම සාධක වශයෙන් පාදක කර ගන්නේ මම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය කරන්නට පැමිණිය දා සිට දිවයින පුරා රාජ්‍ය සහ රාජ්‍ය නොවන විවිධාකාර පාර්ශ්ව විසින් මටත් ආරාධනා කර සංවිධානය කරපු නාට්‍ය කලාව ගොඩනැඟීම සඳහා කළ ගොනු වීම්වල අසාර්ථකත්වයයි. මේවායින් සමහර ඒවා  සංවිධානය කළේ ජාතික තරුණ සේවා සභාව, ටවර් හෝල් රඟහල පදනම සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වැනි සංවිධාන විසින්. විශේෂයෙන් ඒවාට අදාළව අලුතින් පත්වුණු අධ්‍යක්ෂවරයකු, සභාපතිවරයකු, ඇමැතිවරයකු වැනි කිසියම් ඉහළ බලධරයකු වැඩ පටන් ගන්නට යාමේ එක්තරා අදියරක් (‘සංදර්ශනයක්‘) විදිහටයි. නාට්‍ය පාඨමාලාවන් ආරම්භ කිරීමේ සිට නාට්‍ය උත්සව සාර්ථක කර ගැනීම, නාට්‍ය කලාව දීපව්‍යාප්ත කිරීම සහ නාට්‍ය කලාවට අදාළ විවිධාකාර පොදු සංවර්ධනය පිළිබඳ තේමාවන් තමයි ඒවාට මුල් වුණේ. ඒ බොහෝ ඒවාට එවකට රටේ පැවැති ප්‍රවීණ නාට්‍යකරුවන් විදිහට හඳුනා ගන්නා අය ද කැඳවලා තිබුණා. අලුත් පරම්පරාවක් ද නියෝජනය කළ බව කියන්නට අපේ නම් ද එවැනි තැන්වලට ප්‍රයෝජනවත් වුණා.  නාට්‍යකරුවන්ට එන්නට කියලා තිබුණේ අපගේ අදහස් උදහස් අරගෙන අපත් සමඟ හොඳ වෙනසක් කරන්න කියලයි.

මේ පොදුවේ ගත්තම රටපුරා එවැනි ගොනුවීම අසාර්ථක වීමට හේතු වූ ප්‍රධාන කාරණා කීපයක්. මෙය සෑම කෙනෙක්ගෙම ලක්ෂණයට වඩා සාමාන්‍ය පොදු තත්ත්වය විදිහට ගන්න.

රජය සම්බන්ධ සමහර රැස්වීම් වලදී අපි හමු වෙන කොටම එම ඉහළ නිලධාරීන් හෝ මැති ඇමැතිවරුන් සමඟ කිසියම් නාට්‍යකරුවන් පිරිසක් හෝ කෙනෙක් සාකච්ඡා කර මූලික සැලැසුම් සියල්ලම වගේ හදාගෙන අපගේ කැමැත්තත් ඊට ලබා ගැනීමට හරිගස්සපු කූට සැලැස්මක් කියලා සමහර ඒවා අපට පෙනී ගියා. පොදු රැස්වීමට අමතරව ඒ අය වෙනම ම හමු වී තවත් රහස් රැස්වීම් යන බව තේරුම් ගියා. ඒ නිසා ඒවායේ පාරදෘශ්‍යභාවය පිළිබඳ යම් ගැටලු ඇති වී විශ්වාසය බිඳවැටී ඉදිරියට යන්නට බැරි වුණා.

ව්‍යාපෘතිය සම්බන්ධව ආපු අයට ගැඹුරු අවබෝධයක්, අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් ආදිය කරලා නැති වීම නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නැති වීම. මේ සම්බන්ධ විශේෂඥයන් එම ස්ථානවල හිටියේ බොහොම කලාතුරකින්. එබැවින්, නාට්‍යකරුවන්ගෙන් එන්නා වූ විවිධාකාර අදහස් උදහස් දියුණු කිරීමට හෝ නිශ්චිත ඉලක්කයකට අදාළව නිවැරැදිව කල්පනා කරන්නට හෝ ගෙන යන්නට කෙනෙක් නැති වීම.

කෙතරම් හොඳ අදහසක් මතු වුණත්, අදහසකට සහයෝගය දුන්නේ එහි ඇති ගුණාත්මකභාවය මත නෙමෙයි ඒ අදහස එන්නේ කාගෙන් ද කියන එක මතයි. එනිසා ‘අරයාගේ අදහස ක්‍රියාත්මක වෙනවාට මේ අය කැමැති නෑ. මෙයාගේ අදහස ක්‍රියාත්මක වෙනවාට අර අය කැමැති නෑ’ වගේ තත්ත්වයක් තිබුණා. කොච්චර හොඳ අදහසක් ආවත් ඒක වැදගත් නෑ වගේ යටගහන්න සමහරු උත්සාහ කළා. කෙසේ හෝ හොඳ  අදහසක් මතු කර ගත්තම ඒකට එතැන දී සහයෝගය දෙනවා වගේ පෙන්නුව ද, පසුව එය අධෛර්යවත් කර දියාරු කර රැස්වීම් සඳහා සම්බන්ධ වීම පවා අඩාළ කර දැම්මා.

ඒ සෑම අවස්ථාවක දී ම තිබුණේ නාට්‍යකරුවන්ට ප්‍රයෝජනවත් යම් කිසි පොදු යථාර්ථයක් ජය ගැනීමක් වුණත්, සෑම කෙනකු ම වගේ වඩා උනන්දු වුණේ එම පොදු යහපතේ වාසිය ලබා ගන්නවාට වඩා යම් කිසි  පෞද්ගලික ප්‍රතිලාභයක් වහාම ඇති වෙනවා ද කියන එක ගැනයි. එය සමහර විට මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක තමන් ඉන්නා බවට ප්‍රසිද්ධියත්, එයින් තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියකට අනුග්‍රහයක් සඳහා හෝ වෙනත් ආදායම් හෝ රැකියා වැනි අවස්ථාවක් සඳහා හෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවැන්නක් නැති වෙන කොට සමහරුන් රැස්වීම් මඟඇරියා.

පෞද්ගලික හේතු ඇතුළු විවිධ හේතු නිසා සමහරු එම රැස්වීම්වලින් ඉවත් වුණාට පසු එය තමන් නැතුව කරගෙන යාම කඩාකප්පල්  කිරීමට කළ හැකි කටකතාවල සිට ඉහළ තැන් හරහා බලපෑම් කිරීම දක්වා සෑම බාධාවක්ම කළා.

මීට අමතරව සමහර අවස්ථාවල දී සංවිධානය කරපු පාර්ශ්වය විසින් එම රැස්වීම් ගෙන යාම සඳහා අවශ්‍ය ශාලා ආදී පහසුකම් සහ ප්‍රතිපාදන ආදී යටිතල පහසුකම් හදිසියේම නැති වීම නිසාත්, ඉහළ පුටු මාරු වීම නිසාත් තාවකාලිකව කියා නවත්වා සදාකාලිකවම නැවතී ගියා.

ඒවා සිදු වන විට ඉහත කරුණු කිසිවෙක් එළිදරවු කළොත් හෝ විවේචනය කළොත්  හෝ බොහෝ විට ඔවුන්ට  එරෙහිව මඩ හෝ අපහාසාත්මක ප්‍රතිචාර ක්‍රියත්මක වුණා.

දිවයින පුරා මම කරපු වැඩමුළු ආදිය නිසා  විවිධාකාර රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශ්ව කොළඹින් පිටත රට පුරා කළ නාට්‍ය කලා සංවර්ධන සඳහා සමිති රැස්වීම් සිය ගණනකට මම සම්බන්ධ වෙලා තියෙනවා. අවාසනාවට ඒ සියල්ල බොහෝ විට එක සමානයි. මෙවැනි ආකල්පවලට, රටාවන්වලට ප්‍රවීණ, ආධුනික, ගැමි, නාගරික, උගත් නූගත්, සාම්ප්‍රදායික අය අසාම්ප්‍රදායික අය කියා කිසිම වෙනසක් දකින්නට නැහැ.

එසේම ඉහත අත්දැකීම් මට තියෙන්නෙ සිංහල නාට්‍ය කලාව කරන්නන් අතරේ වන අතර මම ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ද වැඩ කරලා තිබෙන අතර, බොහෝ විට ඉංග්‍රීසි සමාජයේ මෙවැනි ආකල්ප දකින්නට අඩුයි.

නාට්‍ය කලාව පමණක් නොවේ මෙවැනි ඕනෑ ම පොදු සංවර්ධන ව්‍යාපෘතියක් උදෙසා එක්රැස් වන විට ඉහත ආකල්පමය සහ අවස්ථාවාදී තත්ත්වයන් ජය ගන්නේ කෙසේ දැයි කියා එම ගොනු වීමට දියුණු සැලැස්මක් තිබිය යුතුයි. එවිට පුද්ගලයන් ලබා ඇති තරාතිරම, උගත්කම ආදියට රැවටී එහෙම දෙයක් නෑ වගේ රැස් වී කාලය, ශ්‍රමය නාස්ති කර ගැනීම වළක්වා ගන්න පුළුවන්.

ඉහතින් සදහන් කළ ආකාරයේ ගොනු වීම්වලින් සිදු වන හානිය සහ අසාර්ථකත්වය අවම කර ගන්න නම්, එය සිදු විය යුත්තේ අදාළ විෂයය සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් වෘත්තීයව යොදාගෙන ඔවුන් හරහා  අර්බුදය පර්යේෂණය (Research) කර  එයට  විසඳුම් සැලැසුම් සොයාගෙන ඉදිරිපත් කිරීමේ ක්‍රමයයි. එම පර්යේණයේ දී  නාට්‍යකරුවන් ආදී ශිල්පීගෙන් ද අදහස් උදහස් ගන්න පුළුවන්. නමුත්, මෙවැනි ව්‍යාපෘති සාමාන්‍යයෙන් ඒ තරම් බැරෑරුම්ව සැබෑවට ගත්ත වැඩ නොවන බැවින්, මඟ දී ඒවා අසාර්ථක වීම සහ දියාරු වී යාම ඒවාට අවශ්‍යයි.

රජයන් පැත්තෙන් ගත්තොත්, ඔවුන් හැම විට ම වගේ අපව රැවැට්ටුමුත්, මම තරයේ විශ්වාස කරන පරිදි නාට්‍යකරුවන් ඉතා ශක්තිමත්ව ගොනු වූයේ නම්, අවම වශයෙන් මම මේ කතාකරන පසුගිය අවුරුදු 30 වැනි කාලය තුළවත් අපට මීට වඩා බොහෝ දේවල් අත්පත් කර ගන්නට තිබුණා. අපේ වැනි රටවල රජය දෝතින් අරගෙන ඇවිත් දෙන කිසිවක් නැති අතර, ඇත්තේ තනිකරම ශක්තිමත්ව සංවිධානය වී රජයට බල කර කරවා ගැනීමයි. තවමත් නාට්‍ය කලාවට අවශ්‍ය බරපතළ වෙනස්කම් සහ සංවර්ධනයන් අත්පත් කර ගැනීමට  ඇත්තේ, ශක්තිමත්ව සංවිධානය  වී රජයට බලකිරීමේ ක්‍රමයමයි.

පින්තූර ය: ප්‍රංශයේ රංගශාලා සහ නාට්‍ය සමාගම් වල වැඩකරන රංග ශිල්පීන් ඇතුළු කලා සංස්කෘතික වෘත්තිකයින් 2001 වසරේ  lockdown වීමත් සමග  ඔවුන්ගේ වෘත්තීන් වලට සිදු වූ අසාධාරණයට එරෙහිව  ප්‍රංශයේ ප්‍රධාන රංග රංග ශාලා තිහක් බලෙන් අල්ලා ගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා . මේ එහි එක් අවස්ථාවක්. Théâtre de la Colline හීදී.

Friday, February 11, 2022

පුද්ගල ගනුදෙනු සහ පිරිහුණු නාට්‍ය කලාව


ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 10

වෘත්තීය නාට්‍ය කලාවක්  කියන විට ඉන් කියවෙන්නේ මුදල් ඉපැයීම සඳහා නාට්‍ය කරන්නන්ගේ කලාවක් යන්න නොව එය එම කලාවට විශේෂයෙන් ආවේණික නීතිරීති, විනය ශික්ෂණවල සිට වෘත්තීය අයිතිවාසිකම් දක්වා සියල්ල ස්ථාපනය වීම අඟවනවා. අන්න ඒ තත්ත්වය ගොඩනැඟෙන්නේ නැති ඕනෑම තැනක් පිරිහුණු ස්ථානයක් බවට පත් වීමට ඇති නැඹුරුතාව වළක්වන්නට බැහැ. ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ එසේ පිරිහී හෝ දූෂිත වී හෝ ඇති ඉතා වැදගත් පැතිකඩක්, ප්‍රතිරූප සහ පුද්ගල සම්බන්ධතා නාට්‍ය කලාවේ අයහපත් පැවැත්මට බලපෑමක් කරන ආකාරය හඳුනා ගන්න මෙම ලිපියෙන් උත්සාහ කරනවා.

නාට්‍ය කලාව පමණක් නොව ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ ක්‍ෂේත්‍රයන් වෘත්තීය නිපුණතාව, ශික්ෂණය ලබා නැති අතර, එබැවින් ඒවා සියල්ලම වාගේ පවතින්නේ පිරිහුණු තත්ත්වයන් යටතේයි. එවිට අහල-පහල කට්ටිය එකතු වෙලා එක් එක් කෙනාගේ පෞද්ගලික බලයට, ඔහෙ හිතෙන හැටියට සහ පවතින සමාජ ධුරාවලි හා  පෞද්ගලික ගනුදෙනුවලට අනුව වැඩක් කළ විට  එයට සිදු වන දේ එම විෂයයට ද සිදු වන බව කෙනකුට සිතා ගන්න අපහසු නැහැ.

කලාව තුළ පමණක් නෙමේ. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ බහුතර තත්ත්වය සකස් වී ඇත්තේ, පුද්ගල සම්බන්ධතා හරහා ‘මිනිසුන් අල්ලාගෙන‘ දේවල් කර ගැනීමටයි, එවිට ආයතනයකට හෝ ක්‍රමයකට වඩා බලවත් පුද්ගලයායි. ඔබට පොලිසියෙන් පවා සාධාරණය අවශ්‍ය නම්, ඔබ මුලින්ම සොයා  යා යුත්තේ, පොලිසියට පවා බලපෑමක් කළ හැකි බලවත් පුද්ගලයකුයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පාසල්, කච්චේරි, පොලිසි සහ සංස්කෘතික අමාත්‍යාංශය ආදී විවිධාකාර නම්වලින් ආයතන තිබුණත්, ඒ ආයතනවලින් අවශ්‍ය දේවල් සාධාරණව හෝ අසාධාරණව ඔබට කර-කියා ගැනීමට වඩාත් බලපාන්නේ පුද්ගල සම්බන්ධතායි. මෙසේ වන්නේ සාමාන්‍යයෙන් මේ කිසිම තැනක පාරිභෝගිකයකුට සාධාරණ සේවයක් කිරීමට අවශ්‍ය වෘත්තීය පදනමක් ඇති නිශ්චිත ක්‍රමයක් හෝ යන්ත්‍රණයක් නැතිවීම නිසයි.

මේ ක්‍රමය තුළ, නාට්‍ය නිර්මාණයක් කරන විට ඊට විවිධ ආධාර, උපකාර, අනුග්‍රහයන් සොයා ගැනීමට, මාධ්‍ය ප්‍රචාරය ඇතුළු නිර්මාණය හොඳයි කියා සමාජගත කිරීමට, ජනප්‍රියත්වය, සමාජ ප්‍රසාදය ආදිය ගොඩනඟා ගැනීමට, සමහර විට සම්මාන පවා ලබා ගැනීමට පමණක් නොව තමන්ට යම් අකටයුත්තක්, අසාධාරණයක් කොහෙන් හෝ සිදුවෙලා නම් එය ද විසඳා ගැනීමට පවා නාට්‍යකරුවන්ට ද සිද්ධ වෙනවා, තනිකරම පුද්ගල සම්බන්ධතා සහ පුද්ගල ප්‍රතිරූප මත යැපෙන්නට.  

පුද්ගල ප්‍රතිරූප යනුවෙන් අදහස් කරන්නේ  කලා ක්‍ෂේත්‍රය ද ඇතුළුව සමාජයේ විවිධ ක්‍රියාකාරකම් හා ගනුදෙනු සම්බන්ධතා හරහා ජනප්‍රියත්වය, බලවත්භාවය, පිළිගැනීම සහ ගෞරවය උපයාගෙන ඇති පුද්ගලයන්ගේ නාමය හෙවත් ප්‍රතිරූපයයි. අප මේ කතා කරන්නේ නාට්‍යකරුවාට පවතින්නට, කලා කෘතිය සමාජගත කරන්නට සහ  කලාකරුවා හොඳ මිනිසකු ලෙස ‘බෞතීස්ම’ කරන්නට පවා ඔවුන් යොදා ගැනීමයි. ඔවුන් සමහරුන් ද එය තේරුම් අරගෙන නාට්‍යකරුවන් ඇති-නැති කිරීමේ ‘හැන්ද’ ඔවුන් අතේ තියා ගන්නට උත්සාහ කිරීම දැකිය හැකියි. නැවතත් මෙය අඩු-වැඩි වශයෙන් සෑම ක්‍ෂේත්‍රයකම තියෙන සුලබ තත්ත්වයක්.

බැලුබැල්මට නොමිලේ කලාවට සේවය කරනවා වගේ පෙනුණාට එම බොහෝ ප්‍රතිරූප ඇති පුද්ගලයන්ගේ භාවිතාවන් නිරීක්ෂණය කරන විට අපට පෙනී යන්නේ ඔවුන් එය ක්‍ෂේත්‍රයට හෝ  විෂයයට සාධාරණයක් කරනවාට වඩා ඔවුන්ට ගරු බුහුමන් කරන ආකාරයට, ඔවුන්ගේ ද වුවමනා-එපාකම්වලට සහයෝගය දෙන ආකාරයට අනුව කලාකරුවන්ට සහ කලා කෘතිවලට සහයෝගය දෙන බවයි. එවිට ෆේස්බුක්වල ලයික්, ෂෙයාර්, සුභ පැතුම් ආදිය දැමීමේ සිට ඔවුන් අකැමැති අයට සහයෝගය නොදීමේ තත්ත්වයේ පිහිටා කටයුතු කරන බැවින්, මේ ප්‍රතිරූප සතුටු කර පවතින්නට නාට්‍යකරුවන්ට සිද්ධ වෙනවා (සියලු ලයික්, ෂෙයාර්, සුභපැතුම්, ෆේස්බුක් ක්‍රියාකාරකම් දූෂිතයි යන්න මින් අදහස් කරන්නේ නෑ).

මෙම තත්ත්වය තුළ ,මේ වෙන කොට කලා කෘතිවල අඩුපාඩු පිළිබඳව කතා කරන විචාරාත්මක රචනාවන් හෝ ප්‍රකාශන මුළුමනින්ම වාගේ දකින්නට නැති තරම්. ඔවුන් (ප්‍රතිරූප හෝ ප්‍රසිද්ධ අය) බොහෝ විට කතා කරන්නේ අගැයීම් ගැන පමණයි. කලාකරුවාට කර ගන්න අවශ්‍යත් ඒකයි. විවේචනය කළොත්, ‘එයා මට උදවු කරන්නේ නෑ !’ ඔවුන් කෘතියක යම් විවේචනාත්මක පැත්තක් කතා කළොත්, බොහෝ විට ඒ තමන්ට සහයෝගය දෙන්නැති කෙනකුගේ කලාකෘතියි. මෙය සත්‍යයක් නම් එයින් පෙන්නුම් කරන්නේ ඔවුන් සේවය කරන්නේ පුද්ගලයාට විනා එම විෂයයට නොවන බවයි. මෙය පොදු තත්ත්වයක් නම්, ඒ තුළ විෂයයක් වර්ධනය වෙයි ද?

ලෝකයේ ඕනෑම රටක වගේ එවැනි ‘ප්‍රතිරූප’ ද කලා කෘති පිළිබඳව අදහස් උදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන නමුත්, ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ ඉහතින් පැහැදිලි කළ ආකාරයට ,එය සකස් වී ඇත්තේ, ගනුදෙනුවක් විදිහට බව අපට පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. සමහර අවස්ථාවල එය තරමක් අර පැරැණි අත්තම් ක්‍රමයට සමානයි; “ඔයා මට උදවු කරන්න එතකොට මමත් ඔයාට උදවු කරන්නම් ! හැබැයි, නිකං මුකුත් නැහැ.”

ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂේත්‍රය මූලික වශයෙන් කොළඹ කේන්ද්‍රීයව භූගෝලීය වශයෙන් ද සුළු ඉඩක වැඩි සංකීර්ණත්වයක් නැතිව පැතිරී තියෙන බව අපි දන්නවා. මේ නිසා එහි ඇත්තේ, සියලුම දෙනා සියලුම දෙනාව දන්නා, හමු වන යම් කුඩා ගමක මෙන් ලක්ෂණයක්. මේ  නිසා නිතරම පුද්ගලයන් අතර මතගැටුම්, අමනාපකම් ඇති වෙනවා වැඩියි. එවිට මේ සියල්ලම විචාරයේ සිට කලා කෘති ගැන කතාබහ කරන සහයෝගය දෙන එකට බලපානවා. නාට්‍යකරුවන් ද එම ගැටුම්වලට, භේදවලට සම්බන්ධ වී ඒවා පාවිච්චි කර පවතින්නට පෙළැඹෙනවා.


කෙසේ හෝ එකිනෙකාට උදවු කර ගැනීම අවශ්‍ය තැන අගැයීම වැනි දේවල් හැම විටම දූෂිත ගනුදෙනු යැයි මම මෙයින් අදහස් නොකරන අතර, එසේ දූෂිත නොවූ ආකාරයට සිදු වන තැන් ඇත් නම්, ඒවා මගේ මෙම විග්‍රහයට ඇතුළත් නොවන බව සලකන්න. නමුත්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ඉරණමට බලපෑමක් කළ හැකි තරමට එම පුද්ගල ගනුදෙනු හරහා පිරිහුණු තත්ත්වය ඇති වෙලා තිබෙන බවත්, එය එක්තරා විදිහකට එම ක්‍ෂේත්‍රය පාලනය කරන බලව්‍යුහයක් විදිහට ක්‍රියා කරන බවත් අපට පහසුවෙන් දකින්නට තියෙනවා. මං මේ සඳහා කොළඹ කේන්ද්‍රීය පෞද්ගලික භාවිතාවන් බොහෝ කාලයක සිට සමීපව නිරීක්ෂණය කරලා තියෙන අතර, අවශ්‍ය නම්, ඔබටත් අධ්‍යයනය කර බලන්න පුළුවන්.

වෘත්තීය නාට්‍ය  කලාවක් ඇති විට  මෙවැනි දූෂිත පෞද්ගලික ගනුදෙනු සහ පිරිහීම් විශාල ප්‍රමාණයට පාලනය වනවා. විචාරය පවා වෘත්තීයමය ක්‍රියා කරන විට ඊට පුද්ගල ගනුදෙනු අදාළ වෙන්නේ නැහැ. වෘත්තීයමය තත්ත්වය (Professionalism) පිළිබඳ අවබෝධයක් ඇති ක්‍ෂේත්‍රයක ඒවා ලියන්නේත්, ප්‍රතිරූප පවා අදහස් ප්‍රකාශ කරන්නේත් කලාකරුවාගෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුව හෝ  ගනුදෙනුවක්  ලෙසට හෝ නෙමෙයි. තමන්ගේ වෘත්තීයමය, දේශපාලනික හෝ අනුරාගික අවශ්‍යතා මතයි. නාට්‍යකරුවන්ට අවශ්‍ය ආධාර උපකාර සියල්ලටම වෘත්තීයමය ක්‍රමයක් තිබෙනවා. (ඒවා මම වෙනත් ලිපිවල සාකච්ඡා කළා). මාධ්‍යවලින් පවා නිර්මාණවලට අවශ්‍ය ප්‍රචාරය ආදිය ලබා දෙන්නේ ඔවුන්ගේ ම ප්‍රතිපත්තියකට විනා හැඳුනුම්කම්වලට නෙවෙයි. වඩාම වැදගත් දේ නම් වෘත්තීයමය නාට්‍ය කලාවක් ඇති විට එහි සියලුම දෙනාට එම වෘත්තීයමය ශික්ෂණය හා ඒ සම්ප්‍රදායය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. එවිට බොහෝ පුද්ගල ගැටුම් ද ඇති වීමට ඇති ඉඩ අඩුයි.

දැන් ගැටලුව  තියෙන්නේ, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව වර්තමානයේ පවතින ආකාරයේ සිට එවැනි වෘත්තීයමය තත්ත්වයකට යන්නේ කෙසේ ද යන්නයි. එය අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.

පින්තූරය :හෙයාර් (Hair) රොක් සංගීත වේදිකා රංගය. නාට්‍ය ද ඇතුළු ප්‍රාසාංගික වේදිකාවට පැති ගණනාවකින් විශාල බලපෑමක් කරපු මෙම ඓතිහාසික, එවකට ආන්දෝලනාත්මක සංගීත වේදිකා නිර්මාණය ප්‍රථම වතාවට ඇමෙරිකානු වේදිකාව මත වඩාත් ම විවෘතව නිරුවත පෙන් වූ සියලුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඉදිරිපත් කරපු සමලිංගිකත්වයේ සිට ලිංගික ක්‍රියාකාරකම් ඉදිරිපත් කරපු වියට්නාම් යුද්ධයට විරෝධය පාමින් ඇමෙරිකානු කොඩිය ප්‍රසිද්ධියේ වේදිකාවක් මත හෙළාදැකපු රැඩිකල් හිපි සංස්කෘතියට අනුබල දුන් නාට්‍යයක්. එය ප්‍රථම වතාවට 1968දී ඕෆ් බ්‍රෝඩ්වේ හි දී රංගගත වුණා.



Friday, February 4, 2022

නාට්‍ය අර්බුදයේ මූලය ඇත්තේ කොහේද?

 



(ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 9 )

 ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය විසඳීම සහ එහි පැවැත්ම සාර්ථක කර ගැනීම රජයේ ප්‍රධාන සහයෝගය නැතිව කිසි විටෙක කරන්නට බැහැ. එසේ කළ රටක් ද ලෝකයේ නැහැ. නාට්‍ය කලාව වෘත්තීය මට්ටමට අරගෙන ඇවිත් එහි ක්‍රියාකරන්නන්ට වෘත්තීයව පවතින්නට අවශ්‍ය පසුබිම සකස් කරමින් ගුණාත්මක නාට්‍ය ඉල්ලා සිටින ප්‍රේක්ෂකාගාරය හෙවත් එහි වෙළෙඳපොළ හැකි තරම් විශාල කිරීමෙන් විනා වෙනත් කිසිදු මාර්ගයකින් නාට්‍ය කලාවකට පවතින්නට නොහැකි බව මම පෙන්වන්නට උත්සාහ කරමින් සිටින කාරණයයි. කෙතරම් ප්‍රමාණයක් නාට්‍ය කලාව පිළිබඳව විවිධ ක්‍රියාකාරකම් කළ ද, අර පවතින්නට අවශ්‍ය යාන්ත්‍රණය නිර්මාණය කර ගන්නා තාක්කල් නාට්‍ය කලාවේ මූලික අර්බුදය විසඳෙන්නේ නැහැ. අප කැමැති වුණත්, අකැමැති වුණත් වර්තමාන ලෝකය තුළ අපට එය ජය ගන්නට සිද්ධ වෙන්නේ වෙළෙඳපොළ ගනුදෙනුවක් හරහායි. මූලික වශයෙන් මගේ මේ ලිපි පෙළේ සාකච්ඡාව එම තත්ත්වය අත්පත් කර ගන්නේ කෙසේ ද? එසේ නොවීම නිසා ඇති වෙලා තියෙන පලවිපාක මොනවා ද යන්න පිළිබඳව කතා කිරීමයි.

අද මම සාකච්ඡා කරන්නේ අර්බුදයේ මූලය තියෙන තැන හෙවත් එය විසඳා ගැනීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්නයි.

මේ සම්බන්ධයෙන් ආදර්ශ ගැනීමට ලෝකයේ වඩාත්ම දියුණු නාට්‍ය කලාවන් ඇති රටවල් දෙස බලන කොට අපට  වැදගත් දෙයක් පෙනෙනවා. එනම්, පොදුවේ ගත්තාම අපේ සමාජයට වඩා එම සමාජවල මිනිසුන් පොත් පත් කියැවීම සහ කලා ආස්වාදය කියන එකට ඇති නැඹුරුව. එම නැඹුරුවට ඔවුන් පැමිණෙන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනය ඇසුරින්ම කලා ඇසුරට ලැබෙන්නා වූ උත්තේජනයක් නිසයි. උදාහරණයක් ලෙස එම රටවල ඉතාම කුඩා කාලයේ සිට දරුවන්ට පොත් කියැවීම අමතර ක්‍රියාකාරකමක් ලෙසට පාසල් තුළ දී ම හුරු කරනවා. නාට්‍ය ක්‍රියාකාරකම්වලට යොමු කරනවා. එසේ කුඩා ළමයින් නාට්‍ය කලාවට යොමු කරන්නේ අවශ්‍යයෙන්ම නාට්‍යකරුවන් හෝ ප්‍රේක්ෂකයන් කරන්නට නෙමෙයි. ඊට වඩා එම නාට්‍ය කලාව හැදෑරීමේ දී ඔවුන්ගේ ජීවිතයට  එකතු වෙන ගුණාත්මක දේවල් නිසයි. ඒවා අතර ළමයින්ගේ කුලෑටි බව සහ සබකෝලය ආදිය නැති වීම, සමාජය ඉදිරියේ ආත්ම විශ්වාසය ඇති වීම, නිර්මාණාත්මකව හිතන්නට හැකි වීම සහ සාමුහික වැඩ කටයුතු කර ගැනීමේ දී ඇති දියුණුව මෙන්ම කලා, සාහිත්‍යය, සිනමා ආදී නාට්‍ය කලාව ඇසුරින් ගොඩනැඟෙන යම් දියුණු සමාජ පරිසරයක  ඇසුර ලබන්නට හැකි වීම ආදී බොහෝ දේවල් ඔවුන් ජීවිතයට නාට්‍ය කලාව හරහා එකතු කරගන්නවා. ඕස්ටේ්‍රලියාවේ සුප්‍රකට නයිඩා (NIDA) නාට්‍ය පාසලේ අවුරුදු හයේ  ළමයින්ගේ සිට සෑම වයසකම ළමයින්ට පාඨමාලා තියෙනවා. ඒවාට ඇතුළු වීමට පමණක් රැඳී සිටින ලිස්ට් එකේ බොහෝ කාලයක් ඉන්නට සිදු වන තරමට පිරිස් ඉන්නවා.

එබැවින්, ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය අධ්‍යාපනය තුළට අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු ප්‍රධාන කාරණා කීපයක් මම යෝජනා කරන්න කැමැතියි. එකක්, ඉතාම කුඩා කාලයේ සිට එනම්, පළමු වසරේ සිට හෝ ඊටත් පෙර සිට ළමයින්ට පොත් පත් කියැවීම හුරු කරවීමයි. මෙයින් අදහස් කරන්නේ, විෂය නිර්දේශයට අදාළ පොත් හෝ අකුරු කියැවීම නෙමේ, පොදුවේ පොත් කියැවීම පුරුද්දක් වන ලෙසට ආස්වාදය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව හුරු කිරීමයි. දෙවැනි කාරණය ඉතාම කුඩා කාලයේ සිට වෘත්තීයමය අවශ්‍යතාවන්ට වඩා පුළුල් අර්ථයෙන් අර පෙර සඳහන් කළ පරිදි දියුණු නාට්‍ය කලාවක් ඇති රටවල මෙන් හැකි තරම් පුද්ගල සංවර්ධනයට අවශ්‍ය පරිදි සකස් කළ නාට්‍ය ක්‍රියාකාරකම්  ඇතුළත් කිරීම.  අනික් කාරණය හුදෙක් ක්‍රීඩා තරග මෙන් පාසලට කීර්තියක් ගෙන ඒමට ඇති  නාට්‍ය තරගවලට සහ විවිධ ප්‍රසංගවලට ජවනිකා ඉදිරිපත් කරනවාට වඩා එහාට ගොස් පාසල්වලට යම් කිසි රංග ශාලා පහසුකම් ආදිය ලබා දී නාට්‍ය නිෂ්පාදනය කර රඟදැක්වීමේ සහ ඒ ගැන කතාබහ කිරීමේ වැඩසටහන් හඳුන්වා දීම. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් නිර්මාණ ඉදිරිපත් කරන කොට ඔවුන්ගේ වැඩිහිටියන් ද ඒවා නරඹන්නට ප්‍රේක්ෂකයන් ලෙසට එනවා. එසේ කරන්නේ නම්, දැනට ඉන්න නාට්‍ය ගුරුවරුන්ගේ ද අධ්‍යාපන මට්ටම සහ නිර්මාණාත්මක මට්ටම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සොයාබැලීමටත්, මෙම ගුරුවරුන්ගේ සිට විෂයමාලාව දක්වා දැනට පවතින ගුණාත්මකභාවය පරීක්ෂාවට ලක් කර නව සංශෝධන ඇති කිරීම සිදු විය හැකියි. දැනට සිංහලෙන් පමණක් තිබෙන පොත පත කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, ඉතා හොඳ පොත් ළමයින්ගේ මට්ටමට ගැළපෙන භාෂාවෙන් සිංහල සහ දමිළ භාෂාවලට පරිවර්තනය කිරීමට සහ ඒ සඳහා ම අලුතින් ලිවීමට සැලැස්විය යුතුයි.

 කෙසේ හෝ පාසල්වල නාට්‍ය කලා සංවර්ධනය සම්බන්ධයෙන් කළ යුතු, නොකළ යුතු සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව හඳුන්වා දීමක් මම මෙතැන දී කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත්, මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ පුළුල් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වීම ආරම්භ වන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනයට සමපාතව බවයි. නාට්‍යකරුවන් ලෙසට මතු වන්නේත් ඒ හරහාම බිහි වන පිරිසෙන් එන අයයි. ලෝකයේ දියුණු නාට්‍ය කලාවක් පවතින සෑම තැනකම අඩු-වැඩි වශයෙන් සිදු වී ඇත්තේ ඒකයි.

 මේ සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවෙන්ම එක උදාහරණයක් දෙන්න මම කැමැතියි. ඕස්ටේ්‍රලියාව යනු ඉතාම මෑතක දී, වැඩිම වුණොත් අවුරුදු සීයක්, දෙසීයක් වැනි කාලයක් තුළ මතු වුණු රටක් බව අපි දන්නවා. අප මේ කතා කරන දේට අදාළව නූතන අවධිය ගත්තොත්, අවුරුදු සීයක් විතර ඇති. එහෙත්, ඒ රටේ ක්‍රීඩාවේ සිට කලාව දක්වා ඉතා විශාල වෙළෙඳපොළක් නැතහොත් වෘත්තීයමය ක්‍ෂේත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. ක්‍රීඩාගාර, රඟහලවල්, කලාගාර  විශාල සංඛ්‍යාවක් තිබෙන අතර කලාකරුවන්ගේ සිට ක්‍රීඩකයන් දක්වා අතිවිශාල සංඛ්‍යාවක් වෘත්තීයමයව වැඩ කරනවා. ප්‍රාදේශීය ක්‍රීඩා කණ්ඩායම් දෙකක් අතර තරගයක් පවා හරියට ජාත්‍යන්තර තරගයක් තරම් සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වී ප්‍රධාන පුවත් සිරස්තල මවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.එසේම හැම ක්‍ෂේත්‍රයක් හරහාම ලෝකයේ හොඳම ගුණාත්මක නිෂ්පාදන ඔවුන් බිහි කරලා තියෙනවා. මෙතරම් කෙටි කාලයක් තුළ ඔවුන් මෙය කළේ කෙසේ ද? එය කළේ තනිකරම ඒ සියලුම විෂයයන් පාසල්වල ඉතාම කුඩා කාලයේ සිට ළමයින් තුළට අරගෙන යාමෙන්, ඒ රසය සහ වුවමනාව ඉල්ලා සිටින විශාල පිරිසක් නිර්මාණය කිරීම හරහායි. ඒ ඒ විෂයයන් වෘත්තීයව පවතින්නට තරම් විශාල වෙළෙඳපොළක් නිර්මාණය වුණේ ඒ හරහායි. කොටින්ම ඒ රට නිර්මාණය වන්නේම ඒ හරහායි. ශ්‍රී ලංකාවේ ද නූතන රාජ්‍යය ආරම්භ කරන කොට ඊට පදනම දැමිය යුතුව තිබුණේ, විෂයයක් වෘත්තීයව පවතින්නට හැකි  පුළුල් ආකාරය කල්පනා කිරීම හරහායි.

 ඔබ හොඳින් බැලුවොත්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම්වලට ද බොහෝ විට රඟහල තුළ ප්‍රේක්ෂකයන් ලෙසට ද ඉන්නේ ඇත්තටම නාට්‍ය කලාව පිළිබඳව උනන්දුවක්, උද්‍යෝගයක්, රසයක් අති අයම නෙමෙයි, ඊට වඩා අප විවිධාකාර උපක්‍රමවලින් අපේ වැඩේ සාර්ථක බව පෙන්වීමට රැස් කරනු ලබන පිරිස හෝ නාට්‍ය කලාවේ යෙදෙන්නට එනවාට වඩා වෙනත් ප්‍රතිලාභ උදෙසා පැමිණි අයයි. වෙනත් විෂයයන් කර ගැනීමට නොහැකිව උසස් අධ්‍යාපනයට නාට්‍ය තෝරා ගන්නා අයගෙන් බහුතරය ද මේ අයයි. රසය, ඇල්ම, හුරුපුරුද්ද යනු ඒ වගේ ක්ෂණිකව පොම්ප කරන්න පුළුවන් ඒවා නෙමෙයි.

එබැවින්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සංවර්ධනය  බැරෑරුම්ව ගන්නා ඕනෑ කෙනකුට මම යෝජනා කරන්නේ, පාසල් අධ්‍යාපනය හරහා අර මූලික කාරණා කර ගැනීමට රජයට බල කිරීම සහ එසේ බල කිරීමට ක්‍රම හොයා ගන්නා ලෙසයි. රජය නාට්‍ය කලාවට අනුකූලතාවක් දක්වන්නෙ නෑ කියා රජය අත්හැර දමා හැකි පමණ තනි තනිව නාට්‍ය කලාව සංවර්ධනය කිරීම මරණය ප්‍රමාද කරමින් එදිනෙදා දිවි ගෙවීමට යම් හුස්ම පොදක් අපට ලබා දුන්න ද, මූලික අර්බුදය විසඳා ගැනීමට එතරම් දායක වෙන්නේ නැහැ.

පින්තූරය: නිමැවුමෙන් ලෝකයේ වඩාත් ම අසාමාන්‍ය රංග අවකාශයක් ලෙස සලකන ඔස්ටි්‍රයාවේ බි්‍රගැන්සර් (Bregenzer) රංග අවකාශය. මෙහි අතිවිශාල පාවෙන වේදිකාව වැවක් මත ඉදි කර ඇති අතර, ප්‍රේක්ෂකාගාරය ඇත්තේ වැව් ඉවුරේයි. මෙය විශේෂ වේදිකා නිර්මාණ ඇතුළු විවිධාකාර ප්‍රාසාංගික නිර්මාණ සඳහා යොදා ගන්නා අතර, එය වඩාත් ම ප්‍රසිද්ධියක් දරන්නේ ලොව විශාලතම ප්‍රාසාංගික කලා උලෙළක් ලෙස සැලැකෙන බි්‍රගැන්සර්  උලෙළ (Bregenzer Festspiele) සඳහායි. මෙහි පසුතල නිර්මාණ පින්තූරයේ ඇති පරිදි ප්‍රමාණයෙන් අතිවිශාලයි.

 


නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්