ශ්රී ලාංකේය නාට්ය කලාවේ අර්බුදය 5
මුළු ලෝක නාට්ය කලා ඉතිහාසය පුරාම නාට්ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් ප්රධාන භූමිකාවක් කරන්නේ අනුග්රාහකයා බව පසුගිය සාකච්ඡාවලදී අපි කතා කළා. රජය, පල්ලිය,ප්රභූවරු සහ ධානපතියන් පමණක් නොව සමහර අවස්ථාවල සාමාන්ය ජනයාගේ පවා ආධාර උපකාර මතින් තමයි නාට්ය කලාවේ අනුග්රහය සාමාන්යයෙන් පැවතිලා ආවේ. අදත් මෙම තත්ත්වය එතරම් බරපතළ වෙනසක් සිද්ධ වෙලා නැති අතර එකම වෙනසකට තියෙන්නේ අද වර්තමානයේ පවතින සාමාන්යයෙන් ධනවාදී ක්රමය තුළ එය විධිමත්ව සංවිධානය වී අනුග්රහක වෙළෙඳ පොළක් ද නිර්මාණය වී තිබීමයි. නාට්ය කලාවට අනුග්රහය නැතුව පැවතීමට නොහැකි හේතුව තමයි සමස්තයක් ලෙස ගත් කල නාට්ය කලාවකට ඊට අවශ්ය අධික ශ්රමය සහ වියදම ආවරණය කිරීමට එහි සේවය මිලදී ගන්නා ප්රේක්ෂකයා හෙවත් පාරිභෝගිකයාගෙන් පමණක් යැපෙන්නට නොහැකි වීමයි. තනි නාට්ය නිෂ්පාදනයක් ලෙස ගත්තත් නාට්ය දර්ශනයේ මුදලින් ඊට ගිය සම්පූර්ණ වියදම කාර්යාලීය සේවකයින්ගේ සිට ශිල්පීන් දක්වා වෘත්තීය මට්ටමෙන් හෙවත් සාධාරණ වැටුපකින් ආවරණය කරන්න පුළුවන් වන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් කීපයක දී පමණයි.
එබැවින් වඩාම දියුණු නාට්ය කලාවක් ඇති රටවල් වල නාට්ය කලාවට අනුග්රහය ලබාදීම සඳහා රාජ්ය සහ රාජ්ය නොවන පාර්ශව හරහා විවිධාකාර ක්රමවේද සැලසුම් ආකෘති තියනවා. එකී අනුග්රහය ලැබෙන මාර්ග හැකි තරම් නොනැසී දිගටම පවත්වා ගැනීම අවශ්ය වෙනවා. ශ්රී ලංකාවේ නාට්ය කලාවේ අර්බුදය තේරුම් ගන්නට උත්සාහ කිරීම ඉලක්කය බැවින් මෙම ලිපියෙ දී මගේ අවධානය සීමා කරන්න යන්නේ මට වඩාත් සමීප අත්දැකීම් ඇති නාට්ය කලාවක් වන ඕස්ට්රේලියානු නාට්ය කලාවට අනුග්රහය ලබාදීම සඳහා ඇති මූලික සැලැස්ම කුමක්ද කියලායි. යම් යම් වෙනස්කම් සහිතව දියුණු නාට්ය කලාවක් ඇති ලෝකයේ සෑම රටකම මෙන් නාට්ය කලාවට අනුග්රහය සොයා ගැනීම සම්බන්ධයෙන් ඇත්තේ මීට සමාන ක්රමයක්.
සාමාන්යයෙන් දියුණු නාට්ය කලාවන් ඇති රටවල රජයෙන් සැලකිය යුතු මුදලක් නාට්ය කලාවේ සංවර්ධනයට යොදවන නමුත් වෘත්තීය මට්ටමට එද්දි සමහරවිට එම රජයේ අනුග්රහයෙන් පමණක්ද නාට්ය කලාවට පවතින්නට අපහසුයි. එවිට බොහෝ විට සිදු වෙන්නේ රජය මැදිහත් වී ලෝකය පුරාම ඇති විවිධ අනුග්රහකවරු සොයා බලා ඔවුන්ගේ අනුග්රහය නාට්යකරුවන්ට සාධාරණව ලබා ගැනීම සඳහා ආකෘතියක් සකස් කිරීමයි. යම් යම් සුළු සුළු වෙනස්කම් සහිතව වඩාම දියුණු නාට්ය කලාවන් ඇති රටවල්වල් සෑම එකක්ම වගේ මෙම අනුග්රාහක වෙළෙඳපොළ නැත්තං නාට්ය කලාවට අනුග්රහය ලබා ගැනීමේ කටයුත්ත රජය මැදිහත් වී සංවිධානය කරලා තියෙනවා.
ලෝකය පුරාම, ඕනම රටක ද අඩු වැඩි වශයෙන් සිටින්නට පුළුවන් නාට්ය කලාවකට මෙසේ ආධාර අනුග්රහය දෙන අය කවුරුන්ද? විවිධාකාර දේශපාලනික අත්පත්කර ගැනීම් සඳහා,ආගමික උවමනාවන් සඳහා,විවිධ සුළු ජන කොටස්වල අයිතීන් සහ සුබසාධනය ආදිය සඳහා, කාන්තා සහ විවිධ පීඩිත ජන කොටස් වල හඬ සඳහා ආදී උවමනාවන් ඉෂ්ට කර ගැනීම සඳහා චිත්රපටි, නාට්ය සහ සාහිත්ය ආදී නිර්මාණ වලට අනුග්රහය දැක්වීමට අතිවිශාල පිරිසක් ලෝකය පුරා ඉන්නවා. ඊට අමතරව විවිධ වාණිජ අරමුණු සඳහා, ප්රචාරක අවශ්යතා ආදිය සඳහා ද අනුග්රහය දක්වන්නට බලාගෙන විශාල පිරිසක් ඉන්නවා. වඩා හොඳින් දියුණු නාට්ය කලාවක් ඇති රටවල් වල රජයේ නාට්ය කලාවට සම්බන්ධ අංශයේ කටයුත්තක් වන්නේ ලෝකය පුරාම මෙසේ අනුග්රහය දක්වන්නට පුළුවන් අය සොයා ඔවුන්ගෙන් අනුග්රහය නාට්යකරුවන්ට එන විදියට ආකෘතියක් සැලසීමයි. රජය විසින්ම වෙන්කල ප්රතිපාදන ලබාදෙන අනුග්රහයද සාමාන්ය එන්නේ එම ආකෘතිය තුළමයි. සිඩ්නි නාට්ය සමාගම (Sydney Theatre Company )වැනි විශාල නාට්ය සමාගම් වල ලෝකය පුරා පවතින මෙවැනි අනුග්රහයන් සොයා බලා ඉල්ලුම් කර අනුග්රහයන් ලබා ගැනීම සඳහා වෙනමම නිලධාරියෙක් පවා පූර්ණ කාලීනව කටයුතු කරනවා. රජයේ පවා එය වෙනමම වෘත්තියක්.
කෙසේ හෝ මෙසේ නාට්ය කලාවට දෙන මූල්යමය අනුග්රහයන් විවිධ වර්ගයන් යටතේ ලබා දෙනවා. උදාහරණයකට, පිලිගත් නාට්ය ශාස්ත්රාලයකින් අධ්යාපනය ලබා ගැනීමෙන් පසු අධ්යක්ෂණය කරන පළමු නාට්යයට නාට්යකරුවාට දෙන අනුග්රහය, ස්වදේශිකයින් ගේ හෝ සුළු ජාතිකයන්ගේ ප්රශ්න කතා කරන නාට්යයකට දෙන අනුග්රහය, දුෂ්කර පළාත්වල රඟදක්වන නිෂ්පාදන වලට දෙන අනුග්රහය.
දුෂ්කර පළාත්වලට රැගෙනයන නාට්ය වල සංචාරයට යන වියදම ආදී ලෙස. මෙයාකාරයෙන් නාට්ය සහ සමාජ ප්රවර්ධනයට අවශ්ය විවිධාකර පැතිවලින් එම අනුග්රහය රටේ ඒ ඒ ෆෙඩරල් ක්රමයෙහි අවශ්යතාවයන්ට අනූව වර්ගකරනයකට ලක්කලා තියෙනවා. සමහර අනුග්රහකවරු විසින්ම ද අපි අනුග්රහය දෙන්නෙ මේ අංශයට කියලා දෙන පිලිවල ආකෘති කරලා තියනවා. අප මීට කලින් ද සාකච්ඡා කරපු පරිදි සාමාන්යයෙන් මේ රටවල් වල නාට්ය නිෂ්පාදනය කරන්නේ නාට්ය සමාගම් හරහා පමණයි. එවිට සමාගම නාට්යයක නිෂ්පාදනක ලෙස( අධ්යක්ෂක ලෙස නොවේ) එම අනුග්රහයන්ට ඉල්ලුම් කර ලබාගත යුතුය. අදාල අනුග්රහයට වඩාම සුදුසුකම් ඇති ගුණාත්මක නිෂ්පාදන කරන සමාගම් වලට ඒවා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. සමහර සමාගම් නිශ්චිත අනුග්රහයන් වගයක් වාර්ෂිකව හෝ මාසිකව නොකඩවා ස්තීර පදනමින් ලබා ගන්නට සමත් වෙන අවස්ථාවන් තියෙනවා. කෙසේ හෝ එම සමාගම්වල සියලුම කාර්ය මණ්ඩලයට ද නාට්ය වය්යපෘතියේ ශිල්පීන්ට වෘත්තික ව ගෙවන්නට මෙම අණුග්රහයන් විශාල වශයෙන් ආධාර වෙනවා.
නාට්ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් අනුග්රහය කියන එක මෙතරම් තීරණාත්මක භූමිකාවක් කරද්දී එම අනුග්රහය නාට්ය කලාවට ලබාදීම සඳහා ශ්රී ලංකාවේ, විශේෂයෙන් රජය පාර්ශවයෙන් මෙතෙක් ක්රියා කර ඇත්තේ කෙසේද යන කාරණය අපගේ අවධානයට ලක් විය යුතුයි. ඉහත අනිකුත් රටවල් වල පාවිච්චි කරලා තිබෙන ආකෘතිය දෙස බැලීමේදී අපට පෙනෙන්නේ එය විශාල වශයෙන් මුදල් යට වෙන වැඩකට වඩා හොඳින් සංවිධානය වීමේ මත සාර්ථක වෙන කරුණක් බවයි. ශ්රී ලංකාවට දෙසට හැරුණොත් බොහෝ විට මෙය සිදුවිය යුත්තේ නාට්ය අනුමණ්ඩලය හෝ කලා අනුමණ්ඩලය වැනි රජය සම්බන්ධ ආයතනයක් හරහායි. හැබැයි ශ්රී ලංකාවේදී නැවතත් මතක් කළ යුත්තේ අනුග්රහය විශේෂයෙන් මුදල් සම්බන්ධ කාරණා වලට එද්දි ඉතා පහසුවෙන් දූෂණය වීමට ඉඩකඩ ඇති බවයි.එවිට අනුග්රහකවරු එවැනි දූෂණ යන්ත්රණයකට සහයෝගය දීමට පැකිලීම අපට තේරුම් ගන්න පුළුවන්. ශ්රී ලංකාවේ ඩිල්මා ව්යාපාරිකයන් ඕස්ට්රේලියාව වැනි රටවල්වල නාට්ය කලාවට පවා සහයෝගය දක්වන්නෙ එම විශ්වාසය එම යාන්ත්රණය තුළින් ලබා දුන් නිසයි.
ශ්රී ලංකාවේ නාට්ය කලාව පවතින යන්ත්රණය පවා මූල්යමය කරුණු වල සිට ආකල්ප රටාව දක්වා දූෂණය වී ඇති ආකාරය ඉදිරියේදී අපි දත්ත සාධක සහිතව සාකච්චා කරමු.
වඩා දියුණු නාට්ය කලාවක් ඇති රටවල නාට්ය කලාවට අනුග්රහය ලබා දීමට රජය සහ තවත් සමහර ආයතන සංවිධානය වෙලා තියෙන ආකාරයට උදාහරණ සඳහා මම පහතින් ප්රධාන වෙබ් අඩවි කීපයක් සඳහන් කරලා තියෙනවා. මූලික වශයෙන් එම වෙබ් අඩවි ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ( New South Wales) ප්රාන්තයට අදාළ ඒවා වන අතර අනිකුත් ප්රාන්ත වල ද එයාකාරයෙන්ම සංවිධානය වෙලා තියෙනවා. මෙම වෙබ් අඩවි වලට අමතරව තවත් රාජ්ය සහ රාජ්ය නොවන ලෙස සංවිධානය වුණු අනුග්රහය ලබා දීමේ වෙබ් අඩවි රැසක් තියෙනවා. මෙහි සඳහන් නාට්ය කලාව ද ඇතුළු විවිධ සංස්කෘතික සහ කලා ක්රියාකාරකම්වලට අනුග්රහය දක්වන්නේ කෙසේද කියන එක ගැන මා ඉහතින් කළ විස්තරයට අනුව අදහසක් ගැනීමට ඔබට හැකි වේවි කියලා හිතනවා.
www australianculturalfund.org.au
පින්තූරය: නාට්ය කලා ඉතිහාසයේ ප්රෙක්ෂක ආසන වල මිල ඉහළ යාම නිසා ඇති වූ ඓතිහාසික සිදුවීමක් තමයි Old Price Riots නමින් ප්රකට වූ ලන්ඩනයේ1809 කෝවන්ට් ගාර්ඩ්න් රඟහලේ( Covent Garden Theatre) ප්රේක්ෂකයින් ගහපු කැරැල්ල. එය මාස තුනක් පැවතුණු අතර 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා .මේ ඒ ගැන එවකට ප්රකට කාටූන් ශිල්පියෙකු වූ අයිසැක් රොබර්ට් කෲක්ෂැන්ක්( Isaac Robert Cruikshank) දැක තිබූ ආකාරය.
No comments:
Post a Comment