ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 7
යම් නාට්‍ය කලාවක හදවත ලෙස සැලැකිය හැක්කේ ප්‍රේක්ෂකයායි, හරියට ඕනෑම නිෂ්පාදනයක ද හදවත පාරිභෝගිකයා වගෙයි. ප්‍රේක්ෂකයා බලවත් නොවූ කල ඒ නාට්‍ය කලාව පිරිහෙනවා.
පසුගිය ලිපි හරහා මම මතු කරපු කාරණයක් තමයි, නාට්‍ය කලාවක් පවතින්නට නිර්මාණකරුවා, වෙළෙන්දා හෙවත් ඉදිරිපත් කරන්නා සහ ප්‍රේක්ෂකයා යන තුන්දෙනාගේ භූමිකාවල වැදගත්කම සහ එම භූමිකා තුනේ පැවැත්ම වෘත්තීයව තහවුරු කිරීමේ වැදගත්කම. අන්න එතැන දී ප්‍රධාන භූමිකාව කරන දැනුම්වත් ප්‍රේක්ෂකයා (Informed Viewer) යනු කවුද යන්න තේරුම් ගැනීමට මෙම ලිපිය වෙන් වෙනවා.
මේ දැනුම්වත් ප්‍රේක්ෂකයා (Informed Viewer) හෝ දැනුම්වත් පාරිභෝගිකයා (Informed Consumer) ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අපට ගන්න පුළුවන්. උදාහරණයකට, හොඳ ඇඳුම් මොනවද කියලා දන්නා පාරිභෝගිකයෙක් ඉන්නවා. ඇය රුපියල් විසිදාහක් දීලා හොඳ ඩෙනිම් කලිසමක් ගන්න කොට බැලූබැල්මට එම ඩෙනිම් කලිසම වගේම පෙනෙන ලෙස නිර්මාණය කර විකුණන බොරු ඩෙනිම් කලිසමක් රුපියල් දෙදාහකට ඇඳුම් ගැන දන්නේ නැති කෙනකුට තවත් තැනක විකුණනවා. වාහනයක් ගන්න කොට එහි බ්‍රෑන්ඩ් එකට, එන්ජිමට, වෙළෙඳපොළට සහ භාවිතය ආදියට අනුව හොඳ නරක බලන්නත් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් පාරිභෝගිකයා දන්නවා. විවිධ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළෙන් ගන්න ගියාම ඒ ඒ භාණ්ඩය සහ විෂයයට අනුව නිවැරැදිව හොඳ නරක වටිනාකම් බලන්න දන්න දැනුම්වත් පාරිභෝගිකයෙක් ඉන්නවා. ඒ සමඟම ඒ සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ද එතරම් දැනුම්වත්භාවයක් නැති පාරිභෝගිකයෙක් ද ඉන්න බව අපි දන්නවා.
මෙය පැහැදිලි කිරීමට ගන්න එක් හොඳ උදාහරණයක් තමයි, විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීය ඉහළ මැද පන්තියේ වෙළෙඳපොළ ඉලක්ක කර ගත්ත ඇඳුම් කඩ. මේ සියලුම ඇඳුම් ගුණාත්මකභාවයෙන් ඉහළ වන අතර විලාසිතාවලින් ද කිසිදු යල්පැනගිය ඇඳුමක් ඔවුන් විකුණන්නෙ නැහැ. ඇඳුම්වල විලාසිතා යල්පනිනවාත් සමඟම ඔවුන් ඒවා ඉවත් කර අලුතින් ආපු නූතන විලාසිතා ඇතුළත් කරනවා. අමුද්‍රව්‍යවලින් වර්ණ, නිමානිමාව ආදී විලාසිතාවලින් එම ඇඳුම් නිෂ්පාදනය කර ඇත්තේ, ඉතාම හොඳින් ඒ පිළිබඳව දන්නා, රවට්ටන්න බැරි පාරිභෝගිකයකුටයි. මේ පාරිභෝගිකයා බොහෝවිට විවිධ විදේශ රටවල ද සැරිසරන ඒවායෙන් ද ඇඳුම් මිල දී ගන්නා ඉහළ නිරීක්ෂණයක් තියෙන අත්දැකීම් ඇති පාරිභෝගිකයෙක් බැවින්, එම භාණ්ඩවල ගුණාත්මකභාවය ද ජාත්‍යන්තර මට්ටමේ පවතිනවා. කෙසේ හෝ ඒ තමයි, දැනුම්වත් පාරිභෝගිකයා.
මෙසේ දැනුම්වත් කියන කොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැනුම්වත් කියන්නේ, කොයි තරම් දැනුම්වත් වෙන්න ඕනෙ ද කියලා. මෙය එතරම් සංකීර්ණ කර ගන්න අවශ්‍ය නැහැ, ඕනෑම භාණ්ඩයක් පරිභෝජනයට ලබා ගන්න කොට එහි හොඳ නරක, ගුණ අගුණ, වටිනාකම් පිළිබඳව සාපේක්ෂ වශයෙන් අවබෝධයක් ඇති පාරිභෝගිකයෙක් ඉන්න බව අපි දන්නවා. එය නාට්‍යයකට එන විට, පුළුල් අර්ථයෙන් නාට්‍යයක් කියන්නේ ඇත්තටම මොකක් ද? එහි සංකේත, යටිපෙළ, දෘෂ්ටිවාද ආදිය ඇති බවත් එය විවිධ ආකෘති සහ ප්‍රවේශවලින් තමන් හා සම්බන්ධ විය හැකි බවත් ආදී නාට්‍යයක් රසවිඳීමේ දී හමු වන මූලික සංකීර්ණතා පිළිබඳ අවබෝධය. නාට්‍යයක රංගනය පිටපත ඇතුළු අනිකුත් අංග ඇතුළත්ව එහි සාර්ථක, අසාර්ථක බව හොඳින් නිරීක්ෂණය කරන්නට හැකි බව ආදිය පෙන්නලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නාට්‍ය රසය, ආස්වාදය හොඳින් හඳුනන එවැනි දැනුම්වත් ප්‍රේක්ෂකයෙක් විචාර ආදිය කියවමින් යාවත්කාලීන වෙමින් යම් උනන්දුවකින්, කුතුහලයකින් නාට්‍ය කලාව සමඟ බද්ධවෙලා ඉන්නවා. නැවතත් මේ තත්ත්වය ඕනෙම පාරිභෝගික භාණ්ඩයකට, චිත්‍රපටිවල සිට සාහිත්‍යය දක්වා ඕනෑම කලා භාවිතාවක් සම්බන්ධයෙන් අදාළ කරන්න පුළුවන්. (තිසාහාමි නාට්‍ය කලාව ගැන දන්නේ නැති වීම නිසා කිසිම අවතක්සේරුවකට ලක් වෙන්නේ නැහැ. නමුත්, ඔහුත් ටිකට් පතක් මිල දී ගෙන නාට්‍යය නරඹන්නට එනවා නම්, නාට්‍ය කලාව පිළිබඳව දැනුම්වත් වීම අවශ්‍ය වෙනවා. හරියට හොඳ දුන්න සහ නරක දුන්න මොකක් ද කියන අවබෝධය ඔහුට අවශ්‍යයි වගේ.)
එතකොට කිසියම් ක්‍ෂේත්‍රයක් තුළ මේ
දැනුම්වත් පාරිභෝගිකයන් කොයි තරම් ඉන්නවා ද? දැනුම්වත් පාරිභෝගිකයාගේ හඬ කොයි තරම් බලවත් ද? ඒ තරමටම ඒ ක්‍ෂේත්‍රය වර්ධනය වනවා. නිෂ්පාදනයේ
ගුණාත්මකභාවය ආරක්ෂා වෙනවා.
ඒ වගේම අපි මතක තියා ගත යුතු කරුණ වන්නේ මේ දැනුම්වත් ප්‍රේක්ෂකයා කියන කෙනා නාට්‍ය නිෂ්පාදන කරපු පමණින් හෝ නාට්‍ය කලාවේ සිටි පමණින්වත්, නාට්‍ය කලාව විෂයයක් වශයෙන් ඉගෙන ගත් පමණින් වත් ඇති වෙන්නේ නැහැ. නැවතත් ඇඳුම්වලින් ම කියනවා නම්, ඇඳුම් අඳින්නේ නැති, ඇඳුම් මිල දී ගන්නේ නැති කිසිම කෙනෙක් නෑ. නමුත්, එයින් අදහස් කරන්නේ නෑ ඇඳුම් ඇඳීම නිසා ඇඳුම් නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුම්වත් පාරිභෝගික තත්ත්වයක් ඇති වෙනවා කියලා.
ලෝකයේ ඇති ඕනෑම නාට්‍යයක් අරගෙන
නිරීක්ෂණය කරන විට අපට පෙනී යනවා එම නාට්‍යකරුවා සවිඥානකව හෝ අවිඥානකව තම නාට්‍යය යොමු කරන්නේ රසයෙන්, අධ්‍යාපනයෙන්, බුද්ධි මට්ටමෙන් ආදියෙන් කවර නම් ප්‍රේක්ෂකයකුට ද කියලා. උදාහරණයකට,
‘මනමේ’ නාට්‍යයම ගතහොත්, එහි ඇති විශේෂ
සංස්කෘත සහ කාව්‍යමය භාෂාව, සංකේත,
මූලාශ්‍ර, රිද්ම තාල රටා සහ යටිපෙළ ආදිය හරහා සමස්තයක් ලෙස නිෂ්පාදනය කරන්න
හදපු රසය සහ අර්ථය ආදී සියල්ලම බලන කොට
පෙනී යන්නේ එය එවකට හිටි ගැමි මූලයන් තියෙන නාගරික බුද්ධිමත් සමාජය කියලා සාමාන්‍යන්
හඳුනා ගන්න උගත් සිංහල බූර්ෂුවා මැද පන්තියට කර ඇති බව. එම නාට්‍යය හොඳ, සාර්ථක නාට්‍යයක් කියලා වැළඳ ගැනීමට අවශ්‍ය
දැනුම, රසය, අවබෝධය ඒ ප්‍රේක්ෂකයන්ට තිබුණු අතර, ඔවුන් එම නාට්‍යයේ දැනුම්වත් ප්‍රේක්ෂකයා විදිහට ගන්න පුළුවන්. එම
නාට්‍යයේ සාර්ථකත්වය පිළිබඳව කතිකාව ගොඩනැඟෙන්නෙ ඔවුන් තුළයි. නමුත්, ඒ අවබෝධය එම නාට්‍යයටම මූලාශ්‍ර වුණු ගැමි
අමුද්‍රව්‍ය ඇති සාමාන්‍යයෙන් නාට්‍ය නොනරඹන ගැමියාට තිබුණෙ නැහැ. ‘මනමේ’ නාට්‍යය
මෙතරම් විශාල හඳුනා ගැනීමකට ලක් වන්නේ මේ කී දැනුම්වත් ප්‍රේක්ෂකයා නිසා මිසක් අර
ගැමියා නිසා නෙමෙයි. පසුකාලීනව ‘මනමේ’ නාට්‍යයේ සීමාවන් සම්බන්ධයෙන් යම් විචාරශීලී
කතිකාවක් ගොඩනැඟෙන්නේ ද මෙම දැනුම්වත් ප්‍රේක්ෂක ධාරාව තුළමයි. කෙසේ හෝ මෙම නාට්‍යය
එවකට සාම්ප්‍රදායික ‘මනමේ’ නාඩගම පමණක් දන්නා ප්‍රේක්ෂකයන්ට පමණක් නම් පෙන්නුවේ,
ඔවුන් සමහර විට මෙය ‘මනමේ’ නාඩගම තරම් සාර්ථක
නොවූ එය විකෘති කර හැදූ වෙන මොකද්ද ප්‍රසංගයක් කියලා හඳුන ගන්න පවා ඉඩ තිබුණා.
No comments:
Post a Comment