Friday, February 4, 2022

නාට්‍ය අර්බුදයේ මූලය ඇත්තේ කොහේද?

 



(ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 9 )

 ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය විසඳීම සහ එහි පැවැත්ම සාර්ථක කර ගැනීම රජයේ ප්‍රධාන සහයෝගය නැතිව කිසි විටෙක කරන්නට බැහැ. එසේ කළ රටක් ද ලෝකයේ නැහැ. නාට්‍ය කලාව වෘත්තීය මට්ටමට අරගෙන ඇවිත් එහි ක්‍රියාකරන්නන්ට වෘත්තීයව පවතින්නට අවශ්‍ය පසුබිම සකස් කරමින් ගුණාත්මක නාට්‍ය ඉල්ලා සිටින ප්‍රේක්ෂකාගාරය හෙවත් එහි වෙළෙඳපොළ හැකි තරම් විශාල කිරීමෙන් විනා වෙනත් කිසිදු මාර්ගයකින් නාට්‍ය කලාවකට පවතින්නට නොහැකි බව මම පෙන්වන්නට උත්සාහ කරමින් සිටින කාරණයයි. කෙතරම් ප්‍රමාණයක් නාට්‍ය කලාව පිළිබඳව විවිධ ක්‍රියාකාරකම් කළ ද, අර පවතින්නට අවශ්‍ය යාන්ත්‍රණය නිර්මාණය කර ගන්නා තාක්කල් නාට්‍ය කලාවේ මූලික අර්බුදය විසඳෙන්නේ නැහැ. අප කැමැති වුණත්, අකැමැති වුණත් වර්තමාන ලෝකය තුළ අපට එය ජය ගන්නට සිද්ධ වෙන්නේ වෙළෙඳපොළ ගනුදෙනුවක් හරහායි. මූලික වශයෙන් මගේ මේ ලිපි පෙළේ සාකච්ඡාව එම තත්ත්වය අත්පත් කර ගන්නේ කෙසේ ද? එසේ නොවීම නිසා ඇති වෙලා තියෙන පලවිපාක මොනවා ද යන්න පිළිබඳව කතා කිරීමයි.

අද මම සාකච්ඡා කරන්නේ අර්බුදයේ මූලය තියෙන තැන හෙවත් එය විසඳා ගැනීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්නයි.

මේ සම්බන්ධයෙන් ආදර්ශ ගැනීමට ලෝකයේ වඩාත්ම දියුණු නාට්‍ය කලාවන් ඇති රටවල් දෙස බලන කොට අපට  වැදගත් දෙයක් පෙනෙනවා. එනම්, පොදුවේ ගත්තාම අපේ සමාජයට වඩා එම සමාජවල මිනිසුන් පොත් පත් කියැවීම සහ කලා ආස්වාදය කියන එකට ඇති නැඹුරුව. එම නැඹුරුවට ඔවුන් පැමිණෙන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනය ඇසුරින්ම කලා ඇසුරට ලැබෙන්නා වූ උත්තේජනයක් නිසයි. උදාහරණයක් ලෙස එම රටවල ඉතාම කුඩා කාලයේ සිට දරුවන්ට පොත් කියැවීම අමතර ක්‍රියාකාරකමක් ලෙසට පාසල් තුළ දී ම හුරු කරනවා. නාට්‍ය ක්‍රියාකාරකම්වලට යොමු කරනවා. එසේ කුඩා ළමයින් නාට්‍ය කලාවට යොමු කරන්නේ අවශ්‍යයෙන්ම නාට්‍යකරුවන් හෝ ප්‍රේක්ෂකයන් කරන්නට නෙමෙයි. ඊට වඩා එම නාට්‍ය කලාව හැදෑරීමේ දී ඔවුන්ගේ ජීවිතයට  එකතු වෙන ගුණාත්මක දේවල් නිසයි. ඒවා අතර ළමයින්ගේ කුලෑටි බව සහ සබකෝලය ආදිය නැති වීම, සමාජය ඉදිරියේ ආත්ම විශ්වාසය ඇති වීම, නිර්මාණාත්මකව හිතන්නට හැකි වීම සහ සාමුහික වැඩ කටයුතු කර ගැනීමේ දී ඇති දියුණුව මෙන්ම කලා, සාහිත්‍යය, සිනමා ආදී නාට්‍ය කලාව ඇසුරින් ගොඩනැඟෙන යම් දියුණු සමාජ පරිසරයක  ඇසුර ලබන්නට හැකි වීම ආදී බොහෝ දේවල් ඔවුන් ජීවිතයට නාට්‍ය කලාව හරහා එකතු කරගන්නවා. ඕස්ටේ්‍රලියාවේ සුප්‍රකට නයිඩා (NIDA) නාට්‍ය පාසලේ අවුරුදු හයේ  ළමයින්ගේ සිට සෑම වයසකම ළමයින්ට පාඨමාලා තියෙනවා. ඒවාට ඇතුළු වීමට පමණක් රැඳී සිටින ලිස්ට් එකේ බොහෝ කාලයක් ඉන්නට සිදු වන තරමට පිරිස් ඉන්නවා.

එබැවින්, ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය අධ්‍යාපනය තුළට අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු ප්‍රධාන කාරණා කීපයක් මම යෝජනා කරන්න කැමැතියි. එකක්, ඉතාම කුඩා කාලයේ සිට එනම්, පළමු වසරේ සිට හෝ ඊටත් පෙර සිට ළමයින්ට පොත් පත් කියැවීම හුරු කරවීමයි. මෙයින් අදහස් කරන්නේ, විෂය නිර්දේශයට අදාළ පොත් හෝ අකුරු කියැවීම නෙමේ, පොදුවේ පොත් කියැවීම පුරුද්දක් වන ලෙසට ආස්වාදය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව හුරු කිරීමයි. දෙවැනි කාරණය ඉතාම කුඩා කාලයේ සිට වෘත්තීයමය අවශ්‍යතාවන්ට වඩා පුළුල් අර්ථයෙන් අර පෙර සඳහන් කළ පරිදි දියුණු නාට්‍ය කලාවක් ඇති රටවල මෙන් හැකි තරම් පුද්ගල සංවර්ධනයට අවශ්‍ය පරිදි සකස් කළ නාට්‍ය ක්‍රියාකාරකම්  ඇතුළත් කිරීම.  අනික් කාරණය හුදෙක් ක්‍රීඩා තරග මෙන් පාසලට කීර්තියක් ගෙන ඒමට ඇති  නාට්‍ය තරගවලට සහ විවිධ ප්‍රසංගවලට ජවනිකා ඉදිරිපත් කරනවාට වඩා එහාට ගොස් පාසල්වලට යම් කිසි රංග ශාලා පහසුකම් ආදිය ලබා දී නාට්‍ය නිෂ්පාදනය කර රඟදැක්වීමේ සහ ඒ ගැන කතාබහ කිරීමේ වැඩසටහන් හඳුන්වා දීම. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් නිර්මාණ ඉදිරිපත් කරන කොට ඔවුන්ගේ වැඩිහිටියන් ද ඒවා නරඹන්නට ප්‍රේක්ෂකයන් ලෙසට එනවා. එසේ කරන්නේ නම්, දැනට ඉන්න නාට්‍ය ගුරුවරුන්ගේ ද අධ්‍යාපන මට්ටම සහ නිර්මාණාත්මක මට්ටම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සොයාබැලීමටත්, මෙම ගුරුවරුන්ගේ සිට විෂයමාලාව දක්වා දැනට පවතින ගුණාත්මකභාවය පරීක්ෂාවට ලක් කර නව සංශෝධන ඇති කිරීම සිදු විය හැකියි. දැනට සිංහලෙන් පමණක් තිබෙන පොත පත කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, ඉතා හොඳ පොත් ළමයින්ගේ මට්ටමට ගැළපෙන භාෂාවෙන් සිංහල සහ දමිළ භාෂාවලට පරිවර්තනය කිරීමට සහ ඒ සඳහා ම අලුතින් ලිවීමට සැලැස්විය යුතුයි.

 කෙසේ හෝ පාසල්වල නාට්‍ය කලා සංවර්ධනය සම්බන්ධයෙන් කළ යුතු, නොකළ යුතු සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව හඳුන්වා දීමක් මම මෙතැන දී කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත්, මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ පුළුල් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වීම ආරම්භ වන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනයට සමපාතව බවයි. නාට්‍යකරුවන් ලෙසට මතු වන්නේත් ඒ හරහාම බිහි වන පිරිසෙන් එන අයයි. ලෝකයේ දියුණු නාට්‍ය කලාවක් පවතින සෑම තැනකම අඩු-වැඩි වශයෙන් සිදු වී ඇත්තේ ඒකයි.

 මේ සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවෙන්ම එක උදාහරණයක් දෙන්න මම කැමැතියි. ඕස්ටේ්‍රලියාව යනු ඉතාම මෑතක දී, වැඩිම වුණොත් අවුරුදු සීයක්, දෙසීයක් වැනි කාලයක් තුළ මතු වුණු රටක් බව අපි දන්නවා. අප මේ කතා කරන දේට අදාළව නූතන අවධිය ගත්තොත්, අවුරුදු සීයක් විතර ඇති. එහෙත්, ඒ රටේ ක්‍රීඩාවේ සිට කලාව දක්වා ඉතා විශාල වෙළෙඳපොළක් නැතහොත් වෘත්තීයමය ක්‍ෂේත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. ක්‍රීඩාගාර, රඟහලවල්, කලාගාර  විශාල සංඛ්‍යාවක් තිබෙන අතර කලාකරුවන්ගේ සිට ක්‍රීඩකයන් දක්වා අතිවිශාල සංඛ්‍යාවක් වෘත්තීයමයව වැඩ කරනවා. ප්‍රාදේශීය ක්‍රීඩා කණ්ඩායම් දෙකක් අතර තරගයක් පවා හරියට ජාත්‍යන්තර තරගයක් තරම් සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වී ප්‍රධාන පුවත් සිරස්තල මවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.එසේම හැම ක්‍ෂේත්‍රයක් හරහාම ලෝකයේ හොඳම ගුණාත්මක නිෂ්පාදන ඔවුන් බිහි කරලා තියෙනවා. මෙතරම් කෙටි කාලයක් තුළ ඔවුන් මෙය කළේ කෙසේ ද? එය කළේ තනිකරම ඒ සියලුම විෂයයන් පාසල්වල ඉතාම කුඩා කාලයේ සිට ළමයින් තුළට අරගෙන යාමෙන්, ඒ රසය සහ වුවමනාව ඉල්ලා සිටින විශාල පිරිසක් නිර්මාණය කිරීම හරහායි. ඒ ඒ විෂයයන් වෘත්තීයව පවතින්නට තරම් විශාල වෙළෙඳපොළක් නිර්මාණය වුණේ ඒ හරහායි. කොටින්ම ඒ රට නිර්මාණය වන්නේම ඒ හරහායි. ශ්‍රී ලංකාවේ ද නූතන රාජ්‍යය ආරම්භ කරන කොට ඊට පදනම දැමිය යුතුව තිබුණේ, විෂයයක් වෘත්තීයව පවතින්නට හැකි  පුළුල් ආකාරය කල්පනා කිරීම හරහායි.

 ඔබ හොඳින් බැලුවොත්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම්වලට ද බොහෝ විට රඟහල තුළ ප්‍රේක්ෂකයන් ලෙසට ද ඉන්නේ ඇත්තටම නාට්‍ය කලාව පිළිබඳව උනන්දුවක්, උද්‍යෝගයක්, රසයක් අති අයම නෙමෙයි, ඊට වඩා අප විවිධාකාර උපක්‍රමවලින් අපේ වැඩේ සාර්ථක බව පෙන්වීමට රැස් කරනු ලබන පිරිස හෝ නාට්‍ය කලාවේ යෙදෙන්නට එනවාට වඩා වෙනත් ප්‍රතිලාභ උදෙසා පැමිණි අයයි. වෙනත් විෂයයන් කර ගැනීමට නොහැකිව උසස් අධ්‍යාපනයට නාට්‍ය තෝරා ගන්නා අයගෙන් බහුතරය ද මේ අයයි. රසය, ඇල්ම, හුරුපුරුද්ද යනු ඒ වගේ ක්ෂණිකව පොම්ප කරන්න පුළුවන් ඒවා නෙමෙයි.

එබැවින්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සංවර්ධනය  බැරෑරුම්ව ගන්නා ඕනෑ කෙනකුට මම යෝජනා කරන්නේ, පාසල් අධ්‍යාපනය හරහා අර මූලික කාරණා කර ගැනීමට රජයට බල කිරීම සහ එසේ බල කිරීමට ක්‍රම හොයා ගන්නා ලෙසයි. රජය නාට්‍ය කලාවට අනුකූලතාවක් දක්වන්නෙ නෑ කියා රජය අත්හැර දමා හැකි පමණ තනි තනිව නාට්‍ය කලාව සංවර්ධනය කිරීම මරණය ප්‍රමාද කරමින් එදිනෙදා දිවි ගෙවීමට යම් හුස්ම පොදක් අපට ලබා දුන්න ද, මූලික අර්බුදය විසඳා ගැනීමට එතරම් දායක වෙන්නේ නැහැ.

පින්තූරය: නිමැවුමෙන් ලෝකයේ වඩාත් ම අසාමාන්‍ය රංග අවකාශයක් ලෙස සලකන ඔස්ටි්‍රයාවේ බි්‍රගැන්සර් (Bregenzer) රංග අවකාශය. මෙහි අතිවිශාල පාවෙන වේදිකාව වැවක් මත ඉදි කර ඇති අතර, ප්‍රේක්ෂකාගාරය ඇත්තේ වැව් ඉවුරේයි. මෙය විශේෂ වේදිකා නිර්මාණ ඇතුළු විවිධාකාර ප්‍රාසාංගික නිර්මාණ සඳහා යොදා ගන්නා අතර, එය වඩාත් ම ප්‍රසිද්ධියක් දරන්නේ ලොව විශාලතම ප්‍රාසාංගික කලා උලෙළක් ලෙස සැලැකෙන බි්‍රගැන්සර්  උලෙළ (Bregenzer Festspiele) සඳහායි. මෙහි පසුතල නිර්මාණ පින්තූරයේ ඇති පරිදි ප්‍රමාණයෙන් අතිවිශාලයි.

 


No comments:

Post a Comment

නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්