(ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 9
)
අද මම සාකච්ඡා කරන්නේ අර්බුදයේ මූලය
තියෙන තැන හෙවත් එය විසඳා ගැනීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්නයි.
මේ සම්බන්ධයෙන් ආදර්ශ ගැනීමට ලෝකයේ
වඩාත්ම දියුණු නාට්‍ය කලාවන් ඇති රටවල් දෙස බලන කොට අපට වැදගත් දෙයක් පෙනෙනවා. එනම්, පොදුවේ ගත්තාම අපේ සමාජයට වඩා එම සමාජවල
මිනිසුන් පොත් පත් කියැවීම සහ කලා ආස්වාදය කියන එකට ඇති නැඹුරුව. එම නැඹුරුවට
ඔවුන් පැමිණෙන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනය ඇසුරින්ම කලා ඇසුරට
ලැබෙන්නා වූ උත්තේජනයක් නිසයි. උදාහරණයක් ලෙස එම රටවල ඉතාම කුඩා කාලයේ සිට දරුවන්ට
පොත් කියැවීම අමතර ක්‍රියාකාරකමක් ලෙසට පාසල් තුළ දී ම හුරු කරනවා. නාට්‍ය ක්‍රියාකාරකම්වලට
යොමු කරනවා. එසේ කුඩා ළමයින් නාට්‍ය කලාවට යොමු කරන්නේ අවශ්‍යයෙන්ම නාට්‍යකරුවන්
හෝ ප්‍රේක්ෂකයන් කරන්නට නෙමෙයි. ඊට වඩා එම නාට්‍ය කලාව හැදෑරීමේ දී ඔවුන්ගේ
ජීවිතයට එකතු වෙන ගුණාත්මක දේවල් නිසයි.
ඒවා අතර ළමයින්ගේ කුලෑටි බව සහ සබකෝලය ආදිය නැති වීම, සමාජය ඉදිරියේ ආත්ම විශ්වාසය ඇති වීම, නිර්මාණාත්මකව හිතන්නට හැකි වීම සහ සාමුහික වැඩ කටයුතු කර ගැනීමේ දී
ඇති දියුණුව මෙන්ම කලා, සාහිත්‍යය, සිනමා ආදී නාට්‍ය කලාව ඇසුරින් ගොඩනැඟෙන යම් දියුණු සමාජ
පරිසරයක ඇසුර ලබන්නට හැකි වීම ආදී බොහෝ
දේවල් ඔවුන් ජීවිතයට නාට්‍ය කලාව හරහා එකතු කරගන්නවා. ඕස්ටේ්‍රලියාවේ සුප්‍රකට
නයිඩා (NIDA) නාට්‍ය පාසලේ අවුරුදු හයේ ළමයින්ගේ සිට
සෑම වයසකම ළමයින්ට පාඨමාලා තියෙනවා. ඒවාට ඇතුළු වීමට පමණක් රැඳී සිටින ලිස්ට් එකේ
බොහෝ කාලයක් ඉන්නට සිදු වන තරමට පිරිස් ඉන්නවා.
එබැවින්, ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය අධ්‍යාපනය තුළට අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු
ප්‍රධාන කාරණා කීපයක් මම යෝජනා කරන්න කැමැතියි. එකක්, ඉතාම කුඩා කාලයේ සිට එනම්, පළමු වසරේ සිට හෝ ඊටත් පෙර සිට ළමයින්ට පොත් පත් කියැවීම හුරු
කරවීමයි. මෙයින් අදහස් කරන්නේ, විෂය නිර්දේශයට අදාළ පොත් හෝ අකුරු
කියැවීම නෙමේ, පොදුවේ පොත් කියැවීම පුරුද්දක් වන ලෙසට
ආස්වාදය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව හුරු කිරීමයි. දෙවැනි කාරණය ඉතාම කුඩා කාලයේ
සිට වෘත්තීයමය අවශ්‍යතාවන්ට වඩා පුළුල් අර්ථයෙන් අර පෙර සඳහන් කළ පරිදි දියුණු
නාට්‍ය කලාවක් ඇති රටවල මෙන් හැකි තරම් පුද්ගල සංවර්ධනයට අවශ්‍ය පරිදි සකස් කළ
නාට්‍ය ක්‍රියාකාරකම් ඇතුළත් කිරීම. අනික් කාරණය හුදෙක් ක්‍රීඩා තරග මෙන් පාසලට
කීර්තියක් ගෙන ඒමට ඇති නාට්‍ය තරගවලට සහ
විවිධ ප්‍රසංගවලට ජවනිකා ඉදිරිපත් කරනවාට වඩා එහාට ගොස් පාසල්වලට යම් කිසි රංග
ශාලා පහසුකම් ආදිය ලබා දී නාට්‍ය නිෂ්පාදනය කර රඟදැක්වීමේ සහ ඒ ගැන කතාබහ කිරීමේ
වැඩසටහන් හඳුන්වා දීම. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් නිර්මාණ ඉදිරිපත් කරන කොට ඔවුන්ගේ
වැඩිහිටියන් ද ඒවා නරඹන්නට ප්‍රේක්ෂකයන් ලෙසට එනවා. එසේ කරන්නේ නම්, දැනට ඉන්න නාට්‍ය ගුරුවරුන්ගේ ද අධ්‍යාපන මට්ටම
සහ නිර්මාණාත්මක මට්ටම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සොයාබැලීමටත්, මෙම ගුරුවරුන්ගේ සිට විෂයමාලාව දක්වා දැනට
පවතින ගුණාත්මකභාවය පරීක්ෂාවට ලක් කර නව සංශෝධන ඇති කිරීම සිදු විය හැකියි. දැනට
සිංහලෙන් පමණක් තිබෙන පොත පත කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, ඉතා හොඳ පොත් ළමයින්ගේ මට්ටමට ගැළපෙන භාෂාවෙන්
සිංහල සහ දමිළ භාෂාවලට පරිවර්තනය කිරීමට සහ ඒ සඳහා ම අලුතින් ලිවීමට සැලැස්විය
යුතුයි.
එබැවින්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සංවර්ධනය
බැරෑරුම්ව ගන්නා ඕනෑ කෙනකුට මම යෝජනා කරන්නේ, පාසල් අධ්‍යාපනය හරහා අර මූලික කාරණා කර ගැනීමට රජයට බල කිරීම සහ එසේ
බල කිරීමට ක්‍රම හොයා ගන්නා ලෙසයි. රජය නාට්‍ය කලාවට අනුකූලතාවක් දක්වන්නෙ නෑ කියා
රජය අත්හැර දමා හැකි පමණ තනි තනිව නාට්‍ය කලාව සංවර්ධනය කිරීම මරණය ප්‍රමාද කරමින්
එදිනෙදා දිවි ගෙවීමට යම් හුස්ම පොදක් අපට ලබා දුන්න ද, මූලික අර්බුදය විසඳා ගැනීමට එතරම් දායක වෙන්නේ නැහැ.
පින්තූරය: නිමැවුමෙන් ලෝකයේ වඩාත් ම අසාමාන්‍ය රංග අවකාශයක් ලෙස සලකන ඔස්ටි්‍රයාවේ බි්‍රගැන්සර් (Bregenzer) රංග අවකාශය. මෙහි අතිවිශාල පාවෙන වේදිකාව වැවක් මත ඉදි කර ඇති අතර, ප්‍රේක්ෂකාගාරය ඇත්තේ වැව් ඉවුරේයි. මෙය විශේෂ වේදිකා නිර්මාණ ඇතුළු විවිධාකාර ප්‍රාසාංගික නිර්මාණ සඳහා යොදා ගන්නා අතර, එය වඩාත් ම ප්‍රසිද්ධියක් දරන්නේ ලොව විශාලතම ප්‍රාසාංගික කලා උලෙළක් ලෙස සැලැකෙන බි්‍රගැන්සර් උලෙළ (Bregenzer Festspiele) සඳහායි. මෙහි පසුතල නිර්මාණ පින්තූරයේ ඇති පරිදි ප්‍රමාණයෙන් අතිවිශාලයි.
No comments:
Post a Comment