Friday, March 25, 2022

ප්‍රතිචක්‍රීයකරණ නාට්‍ය ව්‍යාපෘතිය.

 


ප්‍රතිචක්‍රීයකරණය (Recycling) නම් ක්‍රමය ලෝකයේ නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාර්ථකව යොදා ගෙන ඇති ක්‍රමයක්. විශේෂයෙන් එය නාට්‍ය කලාව  දියුණු කරන්න මුදල් සහ පහසුකම් නෑ කියන රජයකට යෝජනා කරන්න පුළුවන් හොඳ ව්‍යාපෘතියක්.

ප්‍රතිචක්‍රීයකරණයේ දී  අවධානය යොමු කරන්නේ  රංඟහලවල් මෙන්ම පසුතල, ඇඳුම් නිර්මාණ ආදී නාට්‍ය නිෂ්පාදනයේ දී වියදම් යන අමුද්‍රව්‍ය වෙනත් අරමුණු සඳහා යොදා ගන්නා හෝ අපතේ යන ස්ථානවලින් නාට්‍ය කලාවට යොදා ගැනීමටයි. නූතන ලෝක නාට්‍ය කලාව තුළ  මෙය වඩා ම අවධානයට ලක් වුණේ ඕෆ් බ්‍රෝඩ්වේ, (Off Broadway) විශේෂයෙන් ඕෆ්-ඕෆ් බ්‍රෝඩ්වේ (Off - Off Broadway) නාට්‍ය කලාව තුළ යොදා ගැනීමත් සමඟයි.

අපි දන්නවා ඒ ඕෆ් බ්‍රෝඩ්වේ සහ ඕෆ් ඕෆ් බ්‍රෝඩ්වේ  නාට්‍ය සංස්කෘති බිහි වෙන්නේ ප්‍රධාන ධාරාවේ මහා නාට්‍ය සම්ප්‍රදායයට එරෙහිව විකල්ප නාට්‍ය ප්‍රවණතාවක් ලෙසට ඒ මහා සම්ප්‍රදායයන් තුළට හසු කර නොගන්නා එයින් බැහැර කරන නාට්‍ය කලාවන් බව. තේමාවලින්, ආකෘතිවලින් මෙන්ම ඉදිරිපත් කරන රටාවෙන් ද එම විකල්ප නාට්‍ය කලාවට නව මංමාවත් සොයාගෙන යන්න සිද්ධ වෙනවා.


පිළිගත් ආකාරයේ රඟහලවල් ගොඩනඟා ගැනීම මෙන්ම පසුතල සහ ඇඳුම් සඳහා විශාල ප්‍රමාණයෙන් වියදම් කිරීම ඔවුන්ට අභියෝගයක් වුණා. එබැවින්, ඔවුන් කළේ සාමාන්‍යයෙන් රඟහලවලට සුදුසුයි කියා නොපිළිගන්නා විවිධාකාර ගොඩනැඟිලි, ගබඩා කාමර, අත්හැර දැමූ කඩසාප්පු, ගෙවල්, සහ කර්මාන්ත ශාලා වැනි ගොඩනැඟිලි රඟහලවල් බවට පරිවර්තනය කර ගැනීමයි. සමහර අවස්ථාවල මුල් ගොඩනැඟිල්ලේ තියෙන ලක්ෂණ ඔවුන් ඒ විදිහටම තියාගෙනම ඒ තුළ රංග ශාලාවකට අවශ්‍ය දේවල් හැදුවා. ඔවුන් විවිධ හැඩවලින් යුක්ත විවිධ ප්‍රේක්ෂක සංඛ්‍යාවලින් යුක්ත රංග අවකාශවලට ඔවුන් ගියා. කෙසේ හෝ වැදගත් දේ නම්, වෙනත් වැඩ සඳහා යොදා ගත් ගොඩනැඟිලි විශාල පරිවර්තනවලට ලක් නොකර අඩු වියදමකින් අපූරු විවිධ ආකෘතිමය රංග අවකාශ බවට පරිවර්තනය කර ගැනීමට පුළුවන් වීමයි. ඒවා ආදර්ශයට ගනිමින් පරිවර්තනය කළ ලෝකප්‍රකට රංග (සහ විවිධ කලාවන් සඳහා) අවකාශයක් තමයි කැරේජ්වර්ක්ස් (Carriageworks) නම්, ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ තියෙන රඟහල් සංකීර්ණය. එය ගොඩනඟා ඇත්තේ එක්දහස් අටසිය ගණන්වල ආරම්භ කර පසුව අත්හැර දැමූ විශාල දුම්රිය වැඩපළක් පරිවර්තනය කිරීමෙන්, එම මුල් ගොඩනැඟිල්ලේ රේල් පාරවල් ද ඇතුළු බොහෝ අංග තාමත් එසේම තිබේ.


ශ්‍රී ලංකාවේ දී අපට මේ ක්‍රමය ඉතා සාර්ථකව යොදා ගත හැකි ය. ඉන් වැදගත්ම එකක් තමයි රජයේ විවිධාකාර ක්‍ෂේත්‍රවල ඇති කාර්යාල සංකීර්ණවල සහ රජයේ සේවකයන් පුහුණු කරන මධ්‍යස්ථාන වැනි තැන්වල ඇති  ශ්‍රවණාගාර. ඒ වගේම ඒ බොහෝ ඒවා නාට්‍ය පෙන්වන සවස් වරුවල මෙන්ම මාසයේ වැඩි දවසක් භාවිතයට නොගෙන පවතී. විශේෂයෙන් පිටතින් යන්නට එන්නට පහසු පරිදි පිහිටා ඇති ශ්‍රවණාගාර මේ සඳහා සලකා බැලිය හැකි ය.  මෙම ශ්‍රවණාගාර නාට්‍ය පෙන්වීමට මෙන් ම පුහුණු වීම් සඳහා ද යොදාගත හැකි ය. ඒ සඳහා ඒවා භාවිත නොකරන වේලාවලට සහ කාලවලට අනුව නාට්‍ය කලාවට ලබා දිය හැකි ය. සමහර විට සාධාරණ යම් මුදලක් එම කාර්යාල වෙත (සුබසාධන සංගමයට) අය කරමින් කුලියට දීමට හැකි ය. මම කොළඹ ආශ්‍රිතව මෙන්ම  ලංකාව පුරා ද නාට්‍ය වැඩමුළු, දේශන සහ විවිධ පුහුණු වීම් මෙවැනි ස්ථානවල මෙහෙයවා ඇත්තෙමි. බොහෝ විට ඒවාට අවසර ගත්තේ කිසිවකු විසින් ඉහළ නිලධාරියකුගේ ඇඳුනුම්කම් හරහායි.


මේ සමහර ශ්‍රවණාගාරවල නියම රංගාලෝකය අඩුකම සහ සුළු වාස්තවික අඩුපාඩු කීපයක් ඇරෙන්නට නාට්‍ය පෙන්වීම සඳහා සතුටුදායක තත්ත්වයේ පවතී. මෙම ප්‍රතිචක්‍රීයකරණ  ව්‍යාපෘතිය වඩාත් බැරෑරුම්ව ගන්නා අවස්ථාවක දී ඒවා නියම රංගශාලාවක වාස්තවික තත්ත්වයට අවශ්‍ය විදිහකට යම් ප්‍රතිසංස්කරණයකට ලක් කළ හැකි ය. මගේ යෝජනාව වන්නේ මුලින්ම නියම රංගාලෝකය ගැන  කරදර නොවී මේවා රංග සහ පුහුණුවීම් අවකාශ බවට පරිවර්තනය කර ගන්නේ කෙසේ ද යන්නට කල්පනා කළ යුතු බවයි.


මීට අමතරව රජයේ අතිවිශාල ගොඩනැඟිලි සංඛ්‍යාවක් අත්හැර දමා තිබේ. ඒවා වසා දමා වැටකොටු බැඳ කිසිදු ප්‍රයෝජනයක් නැතිව පවතී. අවම වශයෙන් මේවායෙන් ප්‍රයෝජනයක් ගන්නා තුරු තාවකාලික පදනම මත හෝ රංගශාලාවක් බවට පත් කිරීමට නොහැකි නම්, නාට්‍ය පුහුණු වීම් සඳහා හෝ ලබා ගත හැකිය.

බොහෝ පාසල්වල ඇතුළු අධ්‍යාප න ආයතනවල ද ඇති ශ්‍රවණාගාර ද රංග ශාලා බවට විවිධාකාරයෙන් පරිවර්තනය කර ප්‍රයෝජනයට ගත හැකිය.

කෙසේ හෝ රට පුරා දහස් ගණනින් ඇති රජයේ ශ්‍රවණාගාර සහ අත්හැර දැමූ ගොඩනැඟිලි පිළිබඳව යම් අධ්‍යයනයක් කර ඒවායින් නාට්‍ය පුහුණු වීම්වලට සහ දර්ශනවලට යොදා ගත හැකි ඒවා සොයා බැලුවොත්, කෙතරම් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් දැයි දැකගත හැකි ය.

මේ ආකාරයට නාට්‍ය කලාවට අදාළත්වයක් නැති ක්‍ෂේත්‍රවල තිබෙන ශ්‍රවණාගාර නාට්‍ය කලාවේ ප්‍රයෝජන සඳහා ලබා දීම එක්තරා විදිහක අසාම්ප්‍රදායික, අසම්මත බව ඇත්ත. නමුත්, ලෝකයේ විවිධ රටවලින් උදාහරණ අරගෙන අවශ්‍ය අය දැනුම්වත් කර මෙය කරන්න බැරි දෙයක් නොවේ.

හොඳට හෝ නරකට ශ්‍රී ලංකාවේ දී මෙවැනි දෙයක් ඇමැතිවරයකු හරහා  සිදු කර ගත හැක ිය. එබැවින්, මගේ යෝජනාව වන්නේ අදාළ ක්‍ෂේත්‍රවල ඇමැතිවරයාව හමු වීමෙන් මෙම ප්‍රතිචක්‍රීයකරණ අදහස අත්හදා බැලිය හැකි බවයි.


ඉහතින් යෝජනා කළ ආකාරයේ ස්ථාන අත්පත් කර ගැනීම සඳහා මුදල්වලට වඩා අවශ්‍ය වන්නේ සැලසුම්සහගත නීතිමය මැදිහත් වීම් සහ වෙනස්ව සිතීමකි. කෙසේ හෝ ඒවා රජයකට අවශ්‍ය නම්, කළ නොහැකි දේ නොවේ. අවශ්‍ය වන්නේ නාට්‍ය කලාව පැත්තෙන් රජය ලවා කරවගන්නා පිරිසක් පමණය. 


නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමේ දී ඇති වෙන ප්‍රධානම අභියෝගයක් වන්නේ නාට්‍ය නරඹන්නේ නැති ප්‍රේක්ෂකයා තුළ නාට්‍ය නැරඹීමේ පුරුද්දක් ඇති කරන්නේ කෙසේ ද යන්නයි. සාමාන්‍යයෙන් දැනට බොහෝ විට කෙරෙන පරිදි විවිධ සම්බන්ධතා සහ බලපුළුවන්කාරකම් හරහා ප්‍රවේශ පත්‍ර විකුණා රඟහල තුළට නොදමන්නට සාමාන්‍යයෙන් එම ප්‍රේක්ෂකයා ස්වකැමැත්තෙන් එම නාට්‍යය නරඹන්නට නොපැමිණෙයි. එම නිසා එවැනි තැන්වල නාට්‍ය නැරඹීමේ සංස්කෘතික පුරුද්දක් වර්ධනය වෙන්නේ නැත. සාමාන්‍යනෛාන් එවැනි අවස්ථාවල දී ඇති වන ප්‍රශ්නය වන්නේ ප්‍රේක්ෂකයා නාට්‍ය පෙන්වන තැනට සුවිශේෂයෙන් සූදානම් වී තමන් නුහුරු නුපුරුදු ගමනක් යන්නට සිදු වීමයි. මේ නිසා නාට්‍ය කලාව මිනිසුන් අතරට ගෙන යාමේ දී එසේ මිනිසුන්ට වෙනමම සූදානම් වී නො ගිය ග මනක් එන්නට කියනවාට වඩා මිනිසුන් ඉන්නා ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව තුළටම නාට්‍ය රැගෙන ගොස් එහි කොටසක් බවට නාට්‍ය පත් කිරීම වඩා ප්‍රායෝගික ය.


මේ සඳහා ඉහතින් සඳහන් කළ ආකාරයට රජයේ ආයතනවල අවකාශ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමය පාවිච්චි කිරීමටම  අදාළව තව වැදගත් යෝජනාවක් තියෙනවා. එම ආයතනවල ඇති ශ්‍රවණාගාරවල ඒවා දැනට තියෙන සැටියෙන්ම වුව ද, විශේෂයෙන් කෑම පැයේ දී කෙටි නාට්‍යයක් හෝ දෙකක් රඟදැක්වීම පහසුවෙන් කළ හැකි ය. කෑම පැයේ දී කෙටි නාට්‍ය පෙන්වීමට මා දුටු හොඳ ආදර්ශ සපයපු අවස්ථාවක් නම්, අශෝක හඳගම ඔහු වැඩ කළ බැංකු කාර්යාලයේ කෑම පැයේ දී කෙටි නාට්‍ය ගෙන්වා පෙන්වූ ආකාරයයි. එහි මගේ නාට්‍ය පවා පෙන්වා තිබේ. මම සිතූ පරිදි එහි ඇති සුබසාධන සංගමයකින්  අවශ්‍ය ප්‍රතිපාදන හෝ අනුග්‍රහය ලබා දුන්නා. මාසෙකට සැරයක් හෝ එවැනි ස්ථානයක නාට්‍ය පෙන්වමින් යන කොට නාට්‍ය නැරඹීමට හුරුවෙන ප්‍රේක්ෂකයන් පිරිසක් ඇතිවෙන අතර, එකම සමාජයක පිරිසක් බැවින්, ඒ පිළිබඳව කතාබහක් සහ පොදු රසිකත්වයක් ගොඩනැඟෙනවා. මෙය තමයි, ප්‍රේක්ෂකයන් තුළ ඇති කළ යුතු ම තත්ත්වය.


ශ්‍රී ලංකාව පුරා මෙවැනි රජයේ ආයතන දහස් ගණනක් තියෙනවා. කෑම පැය විනාඩි හතළිස්පහක් වැනි කොටසක් ගත්තොත්, සාමාන්‍යයෙන් හොඳ කෙටි නාට්‍යයක් දෙකක් එසේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ නාට්‍ය උලෙළවලින් වාර්ෂිකව සැලැකිය යුතු කෙටි නාට්‍ය සංඛ්‍යාවක් බිහි වෙනවා. කෙටි නාට්‍ය පෙන්වීම ද අභියෝගාත්මක බව අපි දන්නවා. එම නිසා රජය මැදිහත් වී  රජයේ  ශ්‍රවණාගාරවල නාට්‍ය නැරඹීමට ක්‍රමානුකූල වැඩසටහනක් හදා ගැනීම කිසිසේත් අපහසු නෑ. කාලයක් එක්කම කිසියම් ආයතනයක් එහෙම නාට්‍ය නරඹන්න පුරුදු පුහුණු වුණාට පසු සමහර විට වැඩ ඉවර වීමෙන් පසුත් නාට්‍යයක් ඇත්නම් රසවිඳින්න ඔවුන් පෙළැඹෙනවා.


මෙසේ කාලාන්තරයක් එහෙම කිසියම් පුරුදු පුහුණු රටාවක් ගොඩනැඟුවාට පසු බොහෝ දේවල් එවැනි තැන්වල ඊට අදාළව සිද්ධ වෙනවා. ඔවුන්ගෙන් නාට්‍ය කලාවට විවිධ ආධාර උපකාර ගන්නට, සමහරු රඟපාන්නට සහ නිර්මාණ කරන්නට, නාට්‍ය ගෙන්වා සංවිධානය කරන්නට සහ කතාබහ ආදිය ඇති කරන්නට පෙළැඹෙනවා. කොහෙන් හෝ පහසු තැන්වලින් වැඩි ආයාසයකින් තොරව සුළුවෙන් හෝ පදනම දැමිය යුතුයි.

පින්තූරය :ඕස්ටේ්‍රලියාව් කැරේජ්වර්ක්ස් (Carriageworks) රංග කලා සංකීර්ණයේ ඉදිරිපස පින්තූරයක්. මෙහි ආරම්භක අවස්ථාවේ තිබූ රේල්වේ වැඩපොළේ ඇති හැඩය සහ ආකෘතිය  එසේම පවත්වාගෙන තියෙනවා. මෙය රංග සහ කලා අවකාශයක් බවට පරිවර්තනය වීම නිසා එම ඓතිහාසික ගොඩනැඟිල්ලේ තියෙන වැදගත්කම තවත් වැඩිවුණා. ශ්‍රී ලංකාවේ ද බෝගම්බර හිරගෙදර වැනි ඓතිහාසික ගොඩනැඟිල්ලත් වඩා සුදුසු මෙවැනි ව්‍යාපෘතියක් සඳහායි.

Friday, March 18, 2022

නාට්‍යකරුවන්ට රජයට බලපෑම් කරන්න බැරි සීමා

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පවතින්නේ මුළුමනින්ම මෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පවතින කලාවක් විදිහටයි. එය මෙහෙයවන අධ්‍යාපන ආයතනවල සිට සංස්කෘතික ආයතන දක්වා ආයතන, සම්මාන උලෙළවල් ආදිය හරහා එන නිර්ණායක සහ අනුග්‍රහක වෙළෙඳපොළවල්  සියල්ලම ප්‍රධාන වශයෙන් රාජ්‍යය කේන්ද්‍ර කරගෙන පවතින ඒවා ය.

 නාට්‍ය කලාව රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයක් ද එක හා සමානව ඇති කර්මාන්තයක් බවට පත් වී පුළුල් වෙළෙඳපොළක් බවට පත් විය යුතු බව මම නැවත නැවත කරන යෝජනාවයි. රාජ්‍ය අංශයකින් විතරක් පවතින්නා වූ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි අනාදිමත් කාලයක සිට පවතින දූෂිත රාජ්‍ය යන්ත්‍රයක් තුළ, සියලුම දේවල් අතිශය දූෂිත වී, පිරිහීමට ලක් වී ඇති සේ ම නාට්‍ය කලාව ද එම තත්ත්වයට පත් වන බව අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නාට්‍ය කලාවට විතරක් විශේෂ සමාවක් දෙන්නට හෝ පලා යන්නට හෝ ස්ථානයක් නැහැ. නමුත් ඒ පිරිහීම නාට්‍ය කලාව ඇසුරින් ඔබ කෙතරම් දුරට පරීක්ෂාවට ලක් කරලා තියෙනවා ද?

 කෙසේ හෝ නාට්‍ය කලාව ගොඩනැඟීමට යන ගමන ඇත්තේ රජයට බල කර රජය හරහා වෙනස් කිරීමට පුළුවන් දේවල්වලින් බව මම අවධාරණය කරමින් ඉන්න යෝජනාවයි. එසේම මම යෝජනා කරන්නේ එසේ රජය හරහා හෙවත් ජනතා මුදල්වලින් කරගැනීමට අවශ්‍ය දේවල් විය යුත්තේ දීර්ඝකාලීනව යම් දියුණු නාට්‍ය සංස්කෘතියකට, නාට්‍ය සම්ප්‍රදායයකට පදනම දමන ආකෘතිමය වෙනස්කම් විනා එදා වේලට කීයක් හරි රජයෙන් පන්නාගෙන සාක්කුවට දමා ගැනීමේ ක්‍රමය නොවෙයි. නමුත්, අපට හැමදාම ගොඩනඟා ගැනීමට නොහැකි වූයේ එවැනි පොදු යහපතට අදාළ ආකෘතිමය දේවල් වන අතර, අප හැමදාම උත්සාහ කළේ කෙසේ හෝ මූල්‍යමය හෝ භෞතික අනුග්‍රහයක් රජයෙන් තමන්ගෙ වැඩකට ලබා ගැනීමයි. උදාහරණයකට ඉන්  ප්‍රධාන එකක් නම්, උලෙළවල්වලින් දිනන නාට්‍යකරුවන්ට දිය යුතු තෑගි සහ වරප්‍රසාද එම වසරේම නාට්‍යකරුවන් පමණක් අරගල කර ලබා ගන්නට උත්සාහ කිරීම. රජය හරහා  සියලුම දෙනාට ප්‍රයෝජනවත් පුළුල් නාට්‍ය සංස්කෘතියකට පදනම වැටෙන බොහෝ සංශෝධන කර ගත හැකි නමුත්, එසේ කිරීමට ඉදිරිපත් වීමට කිසිවෙක් ඇති බවක් පෙනෙන්නට නැහැ. හැම කෙනෙක්ම වගේ උත්සාහ කරන්නේ තමන්ගේ ආයතනයට, සංවිධානයකට හෝ තමන්ගේ කණ්ඩායමට එනම්, තමන්ට පමණක් යමක් පෞද්ගලිකව රජයෙන් ගන්න පුළුවන් ද කියන එකටයි. සාමාන්‍යයෙන් බොහෝ විට සිදු වන්නේනාට්‍යකරුවන් එළියේ දී මාධ්‍යවල දී  සියලුම නාට්‍යකරුවන් වෙනුවෙන් කතා කරන බව ප්‍රකාශ කරන නමුත්, ප්‍රායෝගිකව කරන්න ගියාට පසු පොදු යථාර්ථයන් ගොඩනඟා ගැනීමේ අවස්ථාවේ දී බොහෝ අය මඟඇරලා යාමයි. (මම මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් වෙනත් ලිපියක දී කතා කළා)

 බොහෝ කාලයක ඉඳන් මේ පවතින ක්‍රමය ක්ෂණික සහ තාවකාලික ලාභවලින් යැපෙන ක්‍රමයක් සකස් වෙලා තියෙන බව අපි දන්නවා.

 මම යෝජනා කරමින් ඉන්න පොදු යහපත සඳහා අවශ්‍ය දීර්ඝකාලීනව හා මහා පරිමාණයේ ආකෘතිමය වෙනස්කම්වලට යාම යනු පවතින ක්‍රමය විශාල වශයෙන් විවිධ අභියෝගවලට, තර්ජනවලට සහ සංශෝධනවලට ලක් වීමයි. එවිට එම පවතින ක්‍රමයෙන් යැපෙන්නා වූ කිසිම කෙනෙක් ඊට සහයෝගයට එයි කියලා හිතන්න අමාරුයි. මෙය නාට්‍ය කලාව සම්බන්ධයෙන් පමණක් නොව ශ්‍රී ලංකාව වැනි කාලාන්තරයක් ඉතා දූෂිත, පිරිහී ගිය ක්‍රමවලින් පැවැතීමේ වාසි ගන්නට පුරුදු වී සිටිය පසු ඒවා වෙනස් කරන්නට, සංශෝධනය කරන්නට අතිශයින් අපහසු වීමේ පොදු යථාර්ථයයි. වෙනස්කම් සඳහා කෙතරම් පිරිස් කතා කළ ද, හරියටම අවශ්‍ය වෙනස්කමට යන කොට බොහෝ අය මඟහරින්නේ මේ නිසයි. එකම රටේ නාට්‍ය කලාවත් මේ අර්බුදයටම මුහුණ දී නැද්ද?

 රජයෙන් වාර්ෂිකව නාට්‍ය කලාවට  වෙන් කරන ප්‍රතිපාදනවලින් එම වසර තුළ සිදු වී ඇත්තේ මොනවා දැයි ඔබ පරීක්ෂාවකට ලක් කළොත් තේරේවි, එවැනි මුදලකින් මීට වඩා අර්ථවත් දීර්ඝකාලීනව ප්‍රයෝජනවත් වන කොයි තරම් දේවල් කරන්න පුළුවන් ද කියා. ඇත්ත වශයෙන්ම මම දන්නා තරමින් කිසිවෙක් එම මුදල්වලට සිදු වන සම්පූර්ණ දේ පිළිබඳව එවැනි පරීක්ෂාවකට ලක් කරපු අවස්ථාවක් පිළිබඳ වාර්තා වෙලා නෑ. ශ්‍රී ලංකාව වැනි රටවලට දියුණු වීමට විවිධ සංවර්ධන වැඩවලට මුදල් නැති බව මතුපිටින් පෙනුණත්, ලැබෙන මුදලට වුව සිදු වී ඇත්තේ කුමක් දැයි ඔබ පරීක්ෂා කළහොත්, තේරේවි ප්‍රශ්නය මුදල් නොවන බව. එම දූෂිත ක්‍රමයට තව ඒ වගේ දෙගුණයකින් මුදල් ලැබුණත්, සිදු වන්නේ එම මුදලට සිදු වූ දෙයම බව ඔබට වැටහේවි.

 නාට්‍ය කලාව සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය දැඩි ලෙස විවේචනය කරපු ඔවුන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ පෙන්නපු සුගතපාල ද සිල්වා, බන්දුල ජයවර්ධන, ගාමිණී හත්තෙට්ටුවේගම සහ ධර්මසිරි බණ්ඩාරනායක වැනි නාට්‍යකරුවන්ගේ හඬ වඩාත් ප්‍රබලව තිබුණු කාලවල දී මීට වඩා රජයේ පාර්ශ්වයෙන් නාට්‍ය කලාව සම්බන්ධව ක්‍රියා කෙරුණ හැටි අපට දකින්නට තිබුණා. ක්‍රමක්‍රමයෙන් රජයේ නාට්‍ය ක්‍රියාකාරකම්වල ප්‍රචාරය කරන පෝස්ටරය පවා බාල කොළවලින් අතිශය අසාර්ථක විදිහට නිර්මාණය කරමින් ප්‍රචාරය සඳහාවත් කිසිම උනන්දුවක්, උද්‍යෝගයක් නැතිව බොහෝ අවස්ථාවල  සම්පත්ධාරීන් ලෙසට ද කවුරු හෝ දැන හඳුනන කෙනෙක් දමාගෙන කොහේ හෝ තැනක මොනවා හෝ කරලා දාන ගණනට වැටිලා තියෙනවා. කනගාටුව නම්, රජය එසේ කිරීමටත් වඩා අද වන විට නාට්‍යකරුවන්ගෙන් ද ඊට විශාල විරෝධයක් එන්නෙ නැති වීමයි. ක්‍රමක්‍රමයෙන් නාට්‍යකරුවන් ද මේ පවතින රාජ්‍ය තන්ත්‍රයට ම එක්ව සහයෝගය දෙමින් නැත්නම්, නිහඬව විරෝධය පළ නොකරමින් ඒ සමඟ යන්නට හදන ගතියක් පෙනෙනවා. එහෙම වුණේ කෙසේ ද?

 මීට ප්‍රධානම හේතුව තමයි, මම මීට පෙර ඔබට පෙන්වා දුන් පරිදි නාට්‍ය කලාව පුළුල් වෙළෙඳපොළ බලවේගයක් විසින් හසුරුවන්නේ නැතිව රාජ්‍යතන්ත්‍රය සහ නිලධාරීවාදයක් විසින් හසුරුවනු ලබන ඒකපාර්ශ්වීය තත්ත්වයක නරකම ප්‍රතිඵල කරා ක්‍රමක්‍රමයෙන් පත් වීම. ක්‍රමයෙන් නාට්‍ය කලාවට අදාළ රජයට සම්බන්ධ නිලධාරීන් බවට පත්  උනෙත් බොහෝවිට නාට්‍ය කලාවේ  ම විවිධ විදිහට ක්‍රියා කරන නාට්‍යකරුවන් සහ කලාකරුවන් මයි. එබැවින් නාට්‍යකරුවන්ට ඔවුන් සමඟ විශාල පෞද්ගලික සම්බන්ධතා තිබුණා. නාට්‍ය කලාව ගැන ලියන අය ද, නිලධාරීන් ද සම්මාන විනිශ්චයකරුවන්. මොවුන් සියලුම දෙනා බොහෝ විට එකම පිරිසක් බවට පත් වුණා. රජයට එරෙහි වීම යනු ඔවුන්ට එරෙහි වීමක් බවට පත්වුණා. එක පැත්තකින් ඔවුන් තරහ කර ගන්නවාට වඩා ඔවුන්ට විරෝධය පළ නොකර හිඳීමෙන් ලැබෙන වාසිය වැඩි වුණා. (නාට්‍ය කලාව පිරිහීමේ ම ලක්ෂණයක් තමයි අදහස්  විවේචන භාරගන්නට අකමැති වීම ) එක් පැත්තෙන් අර සුගතපාල ද සිල්වා ලා හිටිය කාලයේ මෙන් නාට්‍යකරුවා තදබල දේශපාලන ආස්ථානවල ඉන්නට උත්සාහ කරනවාට වඩා පවතින තත්ත්වයට අනුගත වී ආරක්ෂා වෙන්න නැඹුරු වුණා. මේක කිසි දිනෙක දියුණු වීමට නොහැකි අතිශය දූෂිත පිරිහීමේ තත්ත්වයක් වුණත්, එම පිරිහුණු, දූෂිත තත්ත්වය දැනෙන්නෙ නැති වන තරමටම අප සියලුම දෙනා එහි කොටස් බවට පත් වී එය සාමාන්‍ය සම්මතය සහ රටාව බවට පත්වෙලයි තියෙන්නේ.

 මෙය අතිශයින්ම සංකීර්ණ සමාජ ක්‍රමයක්. නාට්‍ය කලාව තුළ මේ වෙන කොට රාජ්‍ය සහ රාජ්‍ය විරෝධී නමින් ප්‍රබල දෙපාර්ශ්වයක් දකින්නට නැති තරම්.  ඒ වගේම රජයේ පාර්ශ්වය නියෝජනය කරන යම් පිරිසක් ඇත්නම්, ඔවුන් රජය ආරක්ෂා කිරීමට විශේෂයෙන් උත්සාහ කරන අය ද නෙමෙයි. රජයට වඩා ඒ පිරිස්වල ඇති පෞද්ගලික ගනුදෙනු සහ පෞද්ගලිකව රජය යොදා ගනිමින් කරන්නට පුළුවන් දේවල් වඩා තීරණාත්මක භූමිකාවක් කරනවා. මේ ක්‍රමයට එරෙහි වී එය ප්‍රශ්න කර එහි දූෂණය සොයන කිසිවකුට පවතින්නට අපහසුයි. ඉතා පහසුවෙන් එවැන්නන්ව කපාදැමීමට සහ මර්දනය කිරීමට හැකියාව තියෙනවා. නාට්‍යකරුවන් පවා නාට්‍යකරුවන්ව ම ප්‍රශ්න කරන තරමට මේ ක්‍රමයේ මම ඉහතින් පෙන්වූ කිසිවක් ප්‍රශ්න කරන්න හෝ විමසන්නට යන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් රජයට බලපෑම් කිරීමට සහ පවතින ක්‍රමය වෙනස් කිරීම් වලට නාට්‍යකරුවන් තුළින් බලවේගයක් ගොඩ නැගීම ගැන හිතන්නට අපහසුයි. ඉහත මගේ අවධානයට සහ විවේචනයට ලක්වන්නේ පුද්ගලයන් වශයෙන් ඔවුන් කවුද යන්න නොව ක්‍රමයක් ලෙසට මෙය වෙනස් වන්නට බැරි ආකාරය හැදී ඇති හැටියි. කෙසේ හෝ මේවා වෙනස් කිරීමට සැබෑ වුවමනාවෙන් ඇති නිලධාරීන් හෝ නාට්‍යකරුවන් ඇත්නම් ඔවුන්ට මගේ විවේචනය එල්ල වෙන්නේ නැති බව සලකන්න.

මේ සන්දර්භය තුළ පවතින තත්ත්වයන් ප්‍රශ්න කරන්නට, වෙනස් කරන්නට රජයට බලපෑම් කරන්න ගොනු වෙන්නේ කොහොම ද? ඒ කවුද කියන එකත් අතිශය සංකීර්ණ ප්‍රශ්නයක් ලෙසට ඉතිරි වෙනවා.

මම මෙතැන් සිට ඉදිරියේ දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් රජයට කළ යුතු බලපෑම්, යෝජනා මොනවා ද යන්න පිළිබඳවයි. එවැනි ප්‍රධාන කීපයක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සමහර යෝජනා මේ වෙන කොටත් විවිධ අර්බුද යටතේ මම කතා කරලා තියෙනවා.

පින්තූරය:

ඩබල ්ගේම්කාරයෝ’ නාට්‍යය: ‘ඩබල් ගේම්කාරයෝ’ නාට්‍යයට පාදක වෙන්නේ එක්තරා නාට්‍ය කණ්ඩායමක් විසින් පවතින රජය විවේචනය කරන නාට්‍යයක්  පුහුණු වීම් වන අතරවාරයේ දී එම නාට්‍ය කණ්ඩායමට මැර පිරිසක් පැන පහර දෙන විට එතැනින් පැන දුවන නළුවන් දෙදෙනකු ඔවුන්ට සිදු වූ දේ සහ නාට්‍යයේ කතාව අපට කීමයි. මෙවැනි නාට්‍ය කරන්නට යාමේ දී මිතුරන් විසින්ම එකට වැඩ කරපු එකා පාවාදීම පිළිබඳව සහ එක් චරිතයකට සමාජය  පිළිබඳව ඇති කලකිරීම, වෛරය  සහ පශ්චත්තාපය පිළිබඳව කතා කිරීමයි.

Friday, March 11, 2022

හොඳ නාට්‍ය ඇසුරක හිගය




 ඕනෑම කලාවක් වර්ධනය වීම සඳහා, විශේෂයෙන් නිර්මාණවල ගුණාත්මකභාවය වර්ධනය වීම සඳහා  බලපාන දෙයක් තමයි, නිර්මාණකරුවන්ට තවත් නිර්මාණ පිළිබඳව අත්දකින්න ලැබෙන දේවල් හෙවත් වෙනත් නිර්මාණ ඇසුර. හොඳ නිර්මාණ ඇසුරක් නැතිව හොඳ නිර්මාණ බිහි වීමට හැකියාවක් නැහැ. පොදුවේ ගත්තාම අපේ නාට්‍ය කලාවේ නිර්මාණවල ගුණාත්මකභාවය පහළ වැටෙමින් යනවා නම් නිර්මාණකරුවන් ඇසුරු කරන්නේ එම පහළ වැටුණු නිර්මාණ නම්, නැවතත් බිහි වීමට බොහෝ විට ඉඩ ඇත්තේ ගුණාත්මකභාවයෙන් අඩු නිර්මාණමයි.

 ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ගත්තහම, නාට්‍ය ක්‍ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ඉතා සීමිත කොළඹ කේන්ද්‍රීය අවකාශයක තමයි පවතින්නේ. කොළඹින් පිට ප්‍රදේශවලින් හොඳ නාට්‍ය නිර්මාණයක් බිහි වුණොත්, ඒ ඉතාමත් කලාතුරකින්. එම නිර්මාණවලට පවා විශාල වශයෙන් බලපාල තියෙන්නෙ කොළඹ කේන්ද්‍රීයව නිෂ්පාදනය වන නාට්‍ය නිර්මාණ ආභාසයට හෝ නිරීක්ෂණයට ගැනීමයි. ඒ කොළඹ කේන්ද්‍රිය සුළු අවකාශය තුළ පවා නිෂ්පාදනය වෙන නාට්‍යවත් හොඳ නිර්මාණ බිහි කිරීමට තරම් ප්‍රමාණවත් ආභාසයක් ලබා නොදීම අපට තිබෙන ලොකු ප්‍රශ්නයක්. මේ තත්ත්වය තුළ අපට පිටින් බිහි වන හොඳ නාට්‍ය නරඹන්නට අපට අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්.

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට සාපේක්ෂව චිත්‍ර කලාව, චිත්‍රපට කලාව  සහ සාහිත්‍යය  ආදී විෂයයන් ගුණාත්මකව වඩා ඉදිරියෙන් ඉන්න බව අපට පිළිගන්න සිද්ධ වෙනවා. මීට එක ප්‍රධාන හේතුවක් තමයි, ඒ විෂයයන්ට සිංහල නොවන්නා වූ හොඳ විවිධ විදේශ  නිර්මාණ ඇසුරු කරන්නට පහසුවෙන් අවස්ථාව තිබීම.  සාහිත්‍යය වැනි විශේෂයක දී ඉංග්‍රීසියෙන් කියවන පොත් ද පහසුවෙන් හොයා ගන්නට පුළුවන්කම පවතින අතර එසේ නොවුණත්, පරිවර්තන  ගත්ත ද, ඒවා විශාල ප්‍රමාණයෙන් ඇසුරු කිරීමට පුළුවන්. චිත්‍රය විශාල ප්‍රමාණයෙන් පින්තූරය ඇසුරු කරගෙන පවතින බැවින්, මේ වෙන කොට සඟරාවලින් හෝ ඉන්ටර්නෙට් හරහා හෝ ලෝකයේ ඕනෑම චිත්‍රයක් නරඹන්නට පුළුවන්. (චිත්‍ර නැරඹීමේ නිවැරැදිම ක්‍රමය එය නොවුණත්, අධ්‍යයනය සහ නිරීක්ෂණය සඳහා එම පින්තූර ප්‍රමාණවත්.) චිත්‍රපටිය ද ඩීවීඩී ලෙසට හෝ අන්තර්ජාලයෙන් හෝ නරඹන්නට පුළුවන්. එම නිසා ඒ විෂයයන් ඉතා විශාල ප්‍රමාණයෙන් නාට්‍ය කලාවට වඩා වර්ධනය වෙලා තියෙන එක පුදුමයක් නෙමෙයි. අවාසනාවට නාට්‍ය වැනි විෂයයක දී එතරම් පහසුවෙන් වෙනත් නිෂ්පාදනවල ඇසුර හොයා ගැනීම පහසු නැහැ. එකක් නාට්‍යය සජීවී මාධ්‍යයක් එය සජීවී ලෙසටම නිරීක්ෂණය කළ යුතුයි. එසේම ලෝකයේ බොහෝ හොඳ නිර්මාණවල වීඩියෝ පට නිකුත් කරන්නේ නැහැ.

මට මතකයි මම  ශ්‍රී ලංකාවේ ඉඳන් නාට්‍ය කරන කාලවල මේ සඳහා මම හැම විටම උත්සාහ කළා විදේශ රටවලින් ගෙන්වන නිර්මාණ බලන්නට යන්න. ඒවා ලයනල් වෙන්ඩ්ට් රඟහල, සෙන්ට් බිෂොප් රඟහල, බි්‍රතාන්‍ය පාසල් රඟහල සහ බි්‍රතාන්‍ය කවුන්සල රඟහල ආදියට ඉඳහිට පැමිණියා. සමහර අවස්ථාවල දී සමහර ජාත්‍යන්තර පාසල්වලටත් පැමිණියා. නැතහොත්, එම ජාත්‍යන්තර පාසල් විදේශ නාට්‍ය අධ්‍යක්ෂවරුන් කැඳවා නිර්මාණ කෙරෙව්වා. ඒවා බොහොමයක් ඉතා ඉහළ ගුණාත්මක මට්ටමින් තිබුණා. සමහර ඒවා නාට්‍යම නෙමේ විවිධාකාර පර්ෆෝමන්ස් හෝ අභින සහ නර්තන වැනි ඒවා. නමුත් ඒ සියල්ලම රංගකලාව (Theatre) විෂයය යටතේ ආභාසයට ගන්න බොහෝ දේවල් තිබෙන නිර්මාණ. ඊට අමතරව මම අවස්ථා කීපයක් ඉන්දියාවට ගියා නාට්‍ය නරඹන්න. 

 බොහෝ විට මෙම අර්බුදය වඩාත් තදින් බලපාන්නේ සිංහල නාට්‍ය කලාවට වෙන්නට පුළුවන්. ඉංග්‍රීසි සමාජය තුළට විවිධ විදේශ නිර්මාණ ඇවිත් යනවා. අවාසනාවට බොහෝ සිංහල නාට්‍යකරුවන් සහ ප්‍රේක්ෂකයන් ඉංග්‍රීසි සමාජය තුළ සිදු වන නිර්මාණ ඇසුරු කිරීම ප්‍රමාණවත්ව සිදු වෙන්නේ නැහැ. බොහෝ විට ඒ  නාට්‍ය නැරඹුවේ ඉංග්‍රීසි කතා කරන පන්තියක් පමණයි.

මේ ප්‍රශ්නය, එනම්, වෙනත් නිර්මාණ ඇසුරු කිරීමට අවස්ථාව හදා ගැනීම නාට්‍යකරුවන්ට මෙන්ම රජයට ද මැදිහත් වී කරන්නට පුළුවන් බව මගේ යෝජනාවයි. මීට පෙර වරක් හෝ දෙවරක් කළ පරිදි රාජ්‍ය හෝ යෞවන සම්මාන ආදී නාට්‍ය උලෙළකින් තෝරා ගන්නා සමහර නාට්‍යකරුවන්ට අවම වශයෙන් ඉන්දියාව වැනි රටකවත් නාට්‍ය උත්සව කාලයට නාට්‍ය නරඹා එන්නට පහසුකම් සැලැසීම රජයට කිසිසේත් අපහසු දෙයක් නොවේ. ඒ සඳහා ඉන්දියාව සමඟ යම් හුවමාරු හෝ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් යටතේ යන්නත් පුළුවන්. ඒ සඳහා යන වියදමට අනුග්‍රහකවරුන් හොයාගෙන යන්නටත් පුළුවන්. මම මීට පෙර ද ලිපියකින් පෙන්වා දුන් පරිදි ඕස්ටේ්‍රලියාව ඇතුළු බොහෝ දියුණු නාට්‍ය කලාවක් ඇති රටවල එවැනි අනුග්‍රහ ලබා දීමට රජය විවිධ ආකෘති හරිගස්සලා තියෙනවා. ඒ සෑම අවස්ථාවක දීම රජය වියදම් කරන්නේ නැහැ, නමුත්, ඔවුන් මැදිහත් වෙනවා. මෙතැන දී මම රජය යනුවෙන් අදහස් කරන්නේ ලංකාවේ නම් කලා මණ්ඩලය හෝ නාට්‍ය අනුමණ්ඩලය, තරුණ සේවා සභාව වැනි නාට්‍ය කලාවට බද්ධ ආයතන. කිසිවකු එම ආයතනවලට එය කරන්නට නොහැකියි කියනවා නම්, මම කැමැතියි එම අදහස් අභියෝගයට ලක් කරන්න. ඒවා පහසුවෙන් කරන්න පුළුවන් දේවල්.

පින්තූරය: ලාස්ට් බස් එකේ කතාව නාට්‍යය 2013 දී ඉතාලියානු භාෂාවට පරිවර්තනය වී නිෂ්පාදනය වුණු අවස්ථාවක්.රංගනය ලියනාඩෝ මැනෙරා, (Leonardo Manera) අධ්‍යක්ෂණය මාර්කෝ රම්පොල්දි( Marco Rampoldi).


Friday, March 4, 2022

විශ්ව නාට්‍ය කලාව පරිවර්තනය නොවීම

මම  මෙම ලිපියේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ විශ්ව නාට්‍ය කලාවේ විවිධ කෘති සිංහල භාෂාවට ප්‍රමාණවත්ව පරිවර්තනය නොවීමේ අර්බුදයයි. සමස්තයක් විදියට ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව වර්තමානයේ ඇති පිරිහීම දක්වා පැමිණි ඒ ගමනට එය ප්‍රධාන හේතුවක් වූ බව මගේ අවබෝධයයි. නාට්‍ය කලාවේ දැනුම, නිර්මාණාත්මකභාවය, ගුණාත්මකභාවය සහ රසිකත්වය ආදිය පුළුල් වීම සම්බන්ධයෙන් එය තීරණාත්මක භූමිකාවක් කරනවා.

හැබැයි මෙම කාරණය මුළුමනින්ම මෙන්ම අදාළ වන්නේ සිංහල නාට්‍ය කලාවටයි. මීට ප්‍රධාන පසුබිම නිර්මාණය කරන සිංහල රාජ්‍ය භාෂාව වීමත් සමඟම බොහෝ දමිළ ජාතිකයන් තුළ කිසියම් ‘මර්දනයකට‘ ලක් වූ ජන කොටසක් ලෙසට ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමේ සහ කියැවීමේ ස්වයං උත්සාහයක් ඇතිවුණා. ශ්‍රී ලංකාවේ මට හමු වී ඇති බොහෝ දමිළ නාට්‍යකරුවන් සිංහල නාට්‍යකරුවන්ට වඩා ඉංග්‍රීසියෙන් කියවනවා. මෙය ලියන මොහොතේ දමිළ භාෂාවට විශ්ව නාට්‍ය කලාවෙන් කෙතරම් දුරට කෘති පරිවර්තනය වෙලා ද, ඔවුන් කෙතරම් ඉංග්‍රීසි භාෂාවෙන් කියවනවා ද කියන කාරණය මට වගකීමෙන් ප්‍රකාශ කරන්නට ඇති අවබෝධය අතිශයින් අඩුයි. සමහර විට මෙම කාරණය දමිළ නාට්‍ය කලාවට ද අදාළ වන්නට පුළුවන්. නමුත්, මේ සම්බන්ධයෙන් වඩාම අර්බුදයට ගිය තැන වශයෙන් අපි මෙය මූලික වශයෙන් සිංහල නාට්‍ය කලාව ඇසුරින් කතා කරමු.

රාජ්‍ය භාෂාව සිංහල වීම හරහා ප්‍රධාන අධ්‍යාපනය සිංහල වීමත් සමඟම අපට භාෂාමය ප්‍රශ්නයක් මතු වුණු බව අපි දැන් පිළිගන්නවා. ඒ හරහා  සිංහලෙන් පමණක් ඉගෙන ගන්න සහ අදහස් ප්‍රකාශ කරන ප්‍රවණතාව සිංහල නාට්‍ය කලාවේ ඇති බහුතර තත්ත්වය බවට ක්‍රමයෙන් පත්වීම අපට තේරුම් ගන්න අමාරු නෑ. නමුත්, අවාසනාවට ඒ නිසා එම ප්‍රශ්නය හඳුනාගෙන විශ්ව නාට්‍ය හා රංග කලාවට අදාළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය කෘති සිංහලයට පරිවර්තනය කරන වැඩසටහනක් ඇති වුණේ නැහැ. රටක නාට්‍ය කලාවකට අවශ්‍ය ප්‍රමාණය සමඟ සලකා බලන කොට කිසිසේත් ප්‍රමාණවත් නැති ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පරිවර්තනය වෙලා තිබෙන නමුත්, ඒවායින් ද අතිබහුතරය විවිධ නාට්‍ය අධ්‍යක්ෂකවරුන් ඔවුන්ට නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන් පරිවර්තනය කරපු හෝ කරවා ගත්ත කෘතියි. විමර්ශන කෘති නම් මුළුමනින්ම පරිවර්තනය වෙලා තිබුණේ නැති තරම්.

මෙම පරිවර්තනය විය යුතු කෘති වර්ග දෙකෙන් එක කොටසක් නම්, විශ්ව නාට්‍ය කලාවේ ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය නාට්‍ය පිටපත්. මේවා සඳහා ආදි ග්‍රීක සහ රෝම, ඉන්දියාව, චීනය ජපානය ඇතුළු ආසියාතිකයේ, නයිජිරියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා අප්‍රිකානු මහාද්වීපයේ, අරාබිකරයේ, දකුණු ඇමෙරිකාව හෝ ලතින් ඇමෙරිකානු රටවල සිට බටහිර යුරෝපීය රටවල් ආදී ලෝකයේ ඇති  ඒ ඒ රටවල ලියැවී, පළ වී අපට පහසුවෙන් ලබා ගැනීමට හැකි නාට්‍ය පිටපත්. මේවා හැකි තරම් ප්‍රමාණයක් කිසියම් ව්‍යාපෘතියක් යටතේ සිංහලයට පරිවර්තනය කළ යුතු වූ නමුත්, සිදු වෙලා නැහැ.

පරිවර්තනය කළ යුතු අනිත් වැදගත් අංශය තමයි විමර්ශන, විචාර, ඉතිහාසය, විවිධ න්‍යායන් සහ සංකල්ප, නාට්‍ය අධ්‍යක්ෂණය සහ රචනයේ සිට වේදිකා කළමනාකරණය දක්වා ප්‍රායෝගික අත්පොත් ආදිය. මේ සඳහා ලෝක නාට්‍ය කලාවේ ප්‍රධාන න්‍යායාචාර්යවරුන්ගේ දාර්ශනිකයන්ගේ සහ අභ්‍යාසකරුවන්ගේ කෘති පරිවර්තන විය යුතුයි. ශ්‍රී ලංකාවේ එවැනි වඩාම වැදගත් න්‍යායික කෘතිවලින් පරිවර්තන වෙලා තිබුණේ, භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයත්, ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයත්, ස්ටැනිස්ලව්ස්කිගේ සමහර ග්‍රන්ථත් පමණයි. 

මෑත දී සමහර විට මම නොදැනුවත්ව තවත් ග්‍රන්ථ කීපයක් පළ වෙලා තියෙන්න පුළුවන්. නමුත්, මෙහි සඳහන් කිරීමට බැරි තරම් දිගු එවැනි නම් ලයිස්තුවක් තියෙනවා. උදාහරණයකට, Denis Diderot" Adolf Appia" Jerzy Grotowski" Tadashi Suzuki" Antonin Artaud" Michael Chekhov, Susan Bennett" Richard Schechner වැන්නන්. කීප දෙනෙක් මතක් කළේ ඒ ගැන යම් අදහසක් දෙන්න විතරයි ඒත් කිසිවකු මෙය බැරෑරුම්ව අරගෙන ඒ සඳහා නම් සොයා යනවා නම්, බටහිර යුරෝපීය නාට්‍ය ශාස්ත්‍රාලවල නිර්දේශිත ග්‍රන්ථ ද ඇතුළුව මම දන්නා සම්පූර්ණ ලැයිස්තුවක් ලබා දෙන්න මම සතුටුයි. ඒවා හැකි තරම් පරිවර්තන ව්‍යාපෘතියට ඇතුළත් කළ යුතුයි.

මම මෙතැන දී අදහස් කරන්නේ කෙනෙක් නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා හෝ කිසියම් ලේඛකයකු ඉඳහිට යම් කෘතියක් පරිවර්තනය කිරීම නෙමෙයි. අර භාෂා පිළිබඳව ප්‍රශ්නය ගැඹුරින් තේරුම් ගනිමින් කිසියම් ව්‍යාපෘතියක් යටතේ හැකි තරම් විශ්ව නාට්‍ය කලාවේ ඉහත සඳහන් ආකාරයේ විෂයයන්වල කෘති සිංහලයට පරිවර්තනය කිරීමේ වැඩසටහනක්. අවම වශයෙන් එවැනි පොත් කීපයක් වාර්ෂික රාජ්‍ය නාට්‍ය උලෙළේ දීවත් එළිදක්වනවා නම් කෙතරම් ප්‍රයෝජනවත් ද? ඉතිහාසය පුරා එය කරගෙන ආවේ නම්... මෙවැනි ව්‍යාපෘතිවලට සමහරු නිතර අවසරයක් ලෙස කියන රජයෙන් ප්‍රතිපාදන ගැනීම නම් මූලික ප්‍රශ්නය, මම වෙනත් ලිපිවලින් ද පැහැදිලි කරලා පෙන්නුව පරිදි ඒවාට සහයෝගය, අනුග්‍රහය දක්වන්න ශ්‍රී ලංකාව ද ඇතුළු ලෝකය පුරා ඕනෑ තරම් අනුග්‍රහකවරුන් ඉන්නවා. අවශ්‍ය වන්නේ මෙය ක්‍රියාත්මක කිරීමට පිරිසක් සහ සැලැස්මක් විතරයි. මෙය රජයේ කලා මණ්ඩලය, ටවර්හෝල් රඟහල පදනම, තරුණ සේවා සභාව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ආදිය හරහා පහසුවෙන් කරන්න පුළුවන්. මගේ අත්දැකීමට අනුව මේවා කෙරෙන්නේ නැත්තේ, ඒවා බැරෑරුම්ව ගන්න සහ මැදිහත් වෙන්න මුලපුරන්න අය නැති නිසයි. රජයට මේ ගැන අදහසක් නැති අතර, රජයට යෝජනා කර හෝ බල කර හෝ නාට්‍යකරුවන්ට අවශ්‍ය නම් කර ගැනීමට බැරි දෙයක් විදියට මම මේක සලකන්නෙ නෑ.

ඊ ළඟට ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය නම්, මෙවැනි නාට්‍ය කලාවට අදාළ විශ්ව නාට්‍ය කලාවේ පොත් කිසිවක් මුළුමනින්ම මෙන් පරිවර්තනය නොවුණේ ඇයි ?

නාට්‍ය කලාවට අදාළ එම පරිවර්තනය කළ යුතු අත්‍යවශ්‍ය කෘති පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් තිබුණු ද්විභාෂික උගතුන්ගේ පරම්පරාවක් අපට සිටිය නමුත්, ඔවුන් කිසිවකු අතින් එම පොත් පරිවර්තනය කිරීම ගැන එතරම් උනන්දුවක් ඇති වුණු බවක් පෙනෙන්නට නැහැ. ඔවුන්ගේ පෞද්ගලික පොත් එකතු, දේශන සහ වෙනත් රචනා ඇසුරු කරන කොට පෙනෙන්නේ ඔවුන්ගේ යුගයේ තිබුණු ලෝක නාට්‍ය කලාවේ වැදගත් නාට්‍යකරුවන් සහ පොත් පත් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබුණ බවයි. එසේම එම ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය වීමේ වැදගත්කම එකී උගතුන් සහ නාට්‍ය කලාව සංවර්ධනය කිරීමට රජය හා එක් වූ, එමෙන්ම නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම උදෙසා විවිධ කතිකාවන් මතු කරන්නට උත්සාහ කරපු තවත් බොහෝ ක්‍රියාකාරිකයන් ද නොදන්නවා කියලා කිසිසේත් හිතන්න අමාරුයි. 

නමුත්, අපේ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කරන්න කතා කරන සෑම අවස්ථාවක දීම වගේ මෙවැනි පොත් පරිවර්තන ව්‍යාපෘතියක් පිළිබඳව අදහසක් ක්‍රියාත්මක වෙලා හෝ මතු වෙලා හෝ නැතිම තරම්. එබැවින්, මෙය බැරිවෙලා මඟහැරුණු දෙයක් විදියට හිතන්නට පුළුවන් ද? (මම මේ ලියමින් සිටින සටහන්වල වැදගත්කමත් දන්නෝ දනිති!) එවැනි ව්‍යාපෘතියක් කිසි විටක සිදු නොවුණේ ඇයි යන්න අධ්‍යයනය කරන්නට තරම් රසවත් මාතෘකාවක් විදියට ඉතුරු වෙලා තියෙනවා.

කෙසේ හෝ ඔබට හිතා ගන්නට අපහසු නැහැ, යම් විදියකින් මෙවැනි පොත් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් අපට තිබුණා නම්, සිංහල නාට්‍ය කලාව කෙතරම් විශ්ව නාට්‍ය කලාවට විවෘත වෙන්න තිබුණා ද කියලා. ඒ හරහා පොත් සුලභව ඇසුරු කරන්නට නාට්‍යකරුවන්ට, ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබුණා නම්, අද අපගේ නාට්‍ය කලාව මීට වඩා බොහෝ සෙයින් ගුණාත්මකව දියුණු මට්ටමක තිබිය යුතු බව.

පින්තූරය: විල් එනෝගේ (Will Eno ) තොම්ප් පේන් - බේස්ඩ් ඔන් නතින්’ (Thom Pain - based on nothing) නම්  නාට්‍යයේ ග්‍රන්ථය. එක් නළුවකුගෙන් යුක්ත මෙම නාට්‍ය පිටපත මෑත කාලයේ ලෝක නාට්‍ය කලාවේ වඩාත් ම අවධානය දිනා ගත් ස්වයං කථන රංගනයක්. බොහෝ බටහිර සහ යුරෝපීය නාට්‍ය ශාස්ත්‍රාලවල විශේෂයෙන් ස්වයංකථන අධ්‍යයනය සඳහා මෙය මේ වන විට නිර්දේශිත ග්‍රන්ථයක්.

- ධනංජය කරුණාරත්න

Friday, February 25, 2022

නාට්‍ය උලෙළ ඉරණම තීරණය කරන මොහොත

ප්‍රමාණවත් ගුණාත්මක නාට්‍ය බිහි නොවීම අර්බුදයක් බවට පත් වී ඇත්නම්, මගේ අත්දැකීමට සහ අවබෝධයට අනුව ඒ සඳහා නාට්‍ය උලෙළවල් බලපාන ප්‍රධානම තැන හඳුනා ගන්න මම මෙම ලිපියෙන් උත්සාහ කරනවා. මම මෙය හදිසියේ කියන කතාවක් නෙවෙයි, මම නාට්‍ය කරන්නට පටන් ගත්තදා සිට නාට්‍ය විනිශ්චයකරුවකු, තරගකරුවකු මෙන්ම ප්‍රේක්ෂකයකු ලෙසටද මගේ නිරීක්ෂණයෙන් කියන කතාවක්. එසේම මෙහි මගේ උත්සාහය නාට්‍ය උලෙළවල් සාර්ථක කර ගන්නේ කෙසේද කියන එක නොවෙයි, නාට්‍ය කලාවේ අර්බුදයට නාට්‍ය උලෙළවල් වඩාම බලපාන තැනක් පෙන්වා දීමයි.

නාට්‍ය උලෙළවල් ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව සම්බන්ධයෙන් අතිශය ඉරණම්කාරී භූමිකාවක් කරනවා. මේ උලෙළවල් අතර ජාතික මට්ටමෙන් වඩාම බලපෑමක් කරන නාට්‍ය උලෙළවල් දෙක ‘යෞවන සම්මාන නාට්‍ය උලෙළ’ සහ ‘රාජ්‍ය නාට්‍ය උලෙළ’යි. ඒවා ප්‍රධාන කොට මම මේ කතා කරන කරුණු ඕනෑම නාට්‍ය උලෙළක් සම්බන්ධයෙන් අදාළයි.

අපට කතා කරන්න හමුවන සියලුම නාට්‍ය මෙන් නාට්‍ය උලෙළවල් හරහා පැමිණි ඒවායි. මීට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ නාට්‍යකරුවාට අවශ්‍ය ප්‍රචාරය, මූල්‍ය අනුග්‍රහය සහ ප්‍රේක්ෂකයන් වෙත

යාමට නාට්‍ය උලෙළවල් රටේ ප්‍රධානම නාට්‍ය අනුග්‍රාහක වෙළෙඳපොළ නිර්මාණය කර දීමයි. එම නිසා නාට්‍ය උලෙළවල තියෙන නීතිරීති, විනිශ්චයන්වල බලපෑම ලාංකීය නාට්‍ය කලාවේ ඉරණම තීරණය කරනවා.ඔබ හොඳින් නිරීක්ෂණය කරලා බලන්න, යම් යුගයක නාට්‍ය උලෙළවල්වලින් හොඳම නාට්‍ය ලෙස සම්මානයට සහ පිළිගැනීමට පාත්‍ර කරපු කැපීපෙනුණු නාට්‍යවල ලක්ෂණ සහ ඒවායෙන් ගත්ත විවිධාකාර ආභාසයන් එම නාට්‍ය සම්මානයට පාත්‍ර වුණු වසරට ආසන්නම අවුරුදුවල බිහිවන නාට්‍ය නිර්මාණවල දකින්නට තියෙනවා. විශේෂයෙන් අලුත් නාට්‍යකරුවන්ගේ නිෂ්පාදනවලට එය ඉතා තදින් බලපානවා. එබැවින්, යම් කාලවකවානුවක නාට්‍ය කලාව පිරිහිලායි කියන විට එම කාලයේදී නාට්‍ය උලෙළවල්වලින් මතු වුණේ කවර නම් නාට්‍ය කලාවක්ද කියලා විමසා බලන්න. මෙය නාට්‍ය විතරක් නෙමේ සිනමා, සාහිත්‍යය සහ චිත්‍ර ආදී ඕනෑම කලාවකට එක සේ අදාළයි.

නාට්‍ය උලෙළවල් දිහා බැලූවාම එවායින් ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ අවසාන වටය නමින් ඉදිරිපත් කරන උත්සව අවස්ථාවට බව පේනවා. එය ප්‍රවීණ හෝ ප්‍රසිද්ධ විනිශ්චයකරුවන් වැඩිම ප්‍රමාණයක් ඉන්නා අවස්ථාව වන අතර නාට්‍යවලට ප්‍රසිද්ධිය වඩාත් ලබාදෙන අවස්ථාවත් ඒකයි. නමුත්, ඇත්ත වශයෙන්ම නාට්‍ය තරගය විසින් රටේ නාට්‍ය කලාවේ ඉරණම තීරණය කරන ප්‍රධාන මොහොත ඒක නෙමෙයි,

ඒක ඊට බොහෝ කලින් හමුවන්නේ. එනම්, ප්‍රථම වටයෙන් පිටපත් තෝරන අවස්ථාවයි. දෙවන සහ අවසාන වටයට එන විට මුල් වටයෙන් බොහෝ නාට්‍ය ඉවත් කර අවසන්. එබැවින් පොදුවේ රටේ නාට්‍ය කලාවට බලපාන වඩා තීරණාත්මක තෝරා ගැනීම සිදුවන්නේ පිටපත් තෝරන මුල් වටයේදීයි. එසේම වඩාම සංකීර්ණ අවස්ථාවත් ඒකයි. මීට ප්‍රධානම හේතුව නම්, විශේෂයෙන් නව ආරක නාට්‍ය, පර්යේෂණාත්මක නාට්‍ය සහ අලුත් සංකල්ප වැනි දේවල් නාට්‍යයක පිටපත ඇසුරින් විනිශ්චය කිරීම අතිශයින්ම අපහසු වීමයි. මෙතැනදී මතුකළ යුතු ඉතාම වැදගත් පර්යේෂණාත්මක නාට්‍යයක් වැඩක්ම නැති නාට්‍යයක් විදියට පහසුවෙන් පෙනී යන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවන් පිටපත් ඇසුරින් පමණක් සාර්ථකව විනිශ්චය කළහැක්කේ ඉතාම සුවිශේෂ හැකියාවක් ඇති පිටපත් විනිසුරුවන්ට පමණයි.එයට නාට්‍යයේ කලාත්මක සහ දේශපාලන පැත්ත, නිෂ්පාදන පැත්ත මෙන්ම සාහිත්‍යමය පැත්ත ගැනත් නව පර්යේෂණාත්මක සංකල්ප පිළිබඳවත් හොඳ අවබෝධයක් අවශ්‍යයි. ඒ වගේම සමහර විට අලුත් නාට්‍යකරුවකුට ලෝකයේ එවැනි පවතින සංකල්ප පිළිබඳ එතරම් අවබෝධයක් නැතිව 'ඉවෙන්' කරන පර්යේෂණාත්මක අදහස් තිබෙන්නට පුළුවන්. එනම්, ඊට සමාන ලක්ෂණ පවතින නාට්‍ය කලාවෙන් හොයාගන්න අතිශයින් අපහසු වෙන්නපු ළුවන්. (ලෝක කලා ඉතිහාසය පුරාම පර්යේෂණාත්මක සහ නව ආරක නිර්මාණ බොහෝ විට පැමිණ ඇත්තේ න්‍යායික අවබෝධයට වඩා ‘ඉව හරහායි. නිර්මාණකරණයේදී ‘ඉව’ යනු සරල ආධුනික දෙයක් විදිහටසමහර න්‍යායචාර්යවරුන් සැලැකුවද, එය සම්පූර්ණයෙන්ම වැරැදියි). ඒවාගේම සමහර පිටපත් තියෙනවා මුලික වශයෙන් එතරම් සාහිත්‍යයමය පැත්ත සහ සංවාද ගැන වැඩි බරක් දමන් නැති පැය දෙකක පමණ නාට්‍යයක් කොළ කීපයකට පමණක් සැලැස්ම විදිහට ගෙනාපු ක්‍රියාව ප්‍රධාන කරගත්ත. මෙවැනි සංකීර්ණතා පිටපතක් තුළින් සොයා ගැනීම අතිශයින්ම අපහසු බව ඔබට පැහැදිලි විය යුතුයි. සමහර අවස්ථාවල අතිශය සම්මත නමුත්, හොඳ නාට්‍යයක් පවා පිටපත ඇසුරින් හොයා ගන්නට බැරි වෙන අවස්ථා තියෙනවා.ඒ වගේම පළමු වටය තරමක් අප්‍රසිද්ධියේ සිදු වන විනිශ්චයක් බැවින්, එහි හරි වැරැදි එළිදරවුවීමට ඇති අවස්ථාවද අතිශයින් අඩුයි.

 පළමු වටයේදී පිටපත් තෝරා ගැනීමේදී ඇති විය හැකි ඉහතසඳහන් අවදානම අඩු කර ගැනීම සඳහා යම් යෝජනා වගයක් දෙස අපට බලන්න පුළුවන්.

මෙතැනදී පිටපත තෝරා ගන්න යොදා ගන්න විනිසුරු ඉරණම්කාරී භූමිකාවක් කරන බැවින්, ඉහත සඳහන් කළ පරිදි පිටපත් තේරීමේදී ඇති අභියෝගතා සහ සංකීර්ණතා ජය ගැනීමට සුදුසු ඉතා පුළුල් විධික්‍රමයකින් වඩා සුදුසු විනිශ්චකරුවන් තෝරා ගත යුතුයි. නමුත්, විනිශ්චකරුවන් සම්බන්ධයෙන් අඩුම සැලැකිල්ල තබන්නේ පළමු වටයේදී බවයි බොහෝ විට අපිට පෙනෙන්නේ. සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ නාට්‍ය පිටපත්තේරීම සඳහා විනිසුරුවන් තෝරන්නෙ නාට්‍ය කලාව ගැන එතරම් පසුබිමක් නැති නිලධාරියකු හෝ එවැනි නිලධාරි මණ්ඩලයක් හෝ විසින්. ඔවුන් නිතරම මෙන් විනිශ්චයකරුවන් හඳුනා ගන්නෙ ඒ විනිශ්චයකරුවන් නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියන ආකාරයට අනුව හෝ ක්ෂේත්‍රයේ විවිධ අයගෙන් අසා දැනගැනීමෙන්. ලෝකයේ සමහර නාට්‍ය විනිශ්චය මණ්ඩලවලදීද කරන පරිදි නාට්‍ය පිටපත් හෝ නිෂ්පාදන තේරීමේදී මතුවන ඉහත සඳහන් කළ ආකාරයේ සංකීර්ණතා සහ අභියෝග පිළිබඳව දැනුම්වත් වීමට විනිශ්චය මණ්ඩලයට සහභාගී වන සියලුම දෙනාට යම් සම්මන්ත්‍රණයක්, දේශන පෙළක් හෝ වැඩමුළුවක් ආදිය කිරීම හෝ අවම වශයෙන් විනිශ්වය මණ්ඩලයේ ඉන්න සියලුමදෙනා හමුවී සාකච්ඡා කර එවැනි කාරණා පිළිබඳව අවධියක් සහ අවබෝධයක් ඇති කර ගැනීමද හානිය අවම කර ගැනීමට ප්‍රයෝජනවත්.එසේම, පළමු වටයේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව හැකි තරම් වැඩි කර පුළුල් විනිශ්චයකට ලක් කිරීමටත් පුළුවන්. 

නාට්‍යයේ ශෛලිය ඇතුළු විශේෂ නිෂ්පාදන උපක්‍රම සහ අවසාන නිෂ්පාදනය ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව කෙටි විස්තරයක්ද පිටපතට ඇතුළත් කරන්නයි කීම.

මුල් වටයේදීම හැකි තරම් නාට්‍ය ප්‍රමාණයක්, ප්‍රායෝගික නම් සියලුම නාට්‍ය පිටපත්, නිෂ්පාදනය කිරීමට සැලැස්වීම. රංගාලෝකය වැනි වියදම් යන අංශ නොසලකාහැර නිශ්චිත රඟහලවලට දිවා කාලය පුරා නාට්‍ය රඟදැක්වීමට සලස්වා විනිශ්චය කිරීම. (ප්‍රාදේශීය වශයෙන් හෝ අගනුවරට කැඳවා) එයින් පිටපත් ප්‍රතික්ෂේප වීම නිසා නිෂ්පාදනය නොවීමට ඉඩ තිබූ නාට්‍ය රැසක් නිෂ්පාදනය වන අතර, ඒ හරහා බොහෝ විට අලුත් ශිල්පීන් රැසකට අත්දැකීම් ලැබීමටද අවස්ථාව ලැබෙනවා.පිටපත ප්‍රතික්ෂේප වීමෙන් නාට්‍ය නිෂ්පාදනය නොවීම කිසිදු විශේෂ ප්‍රගතියක් ඇති කරන්නේ නැහැ. ඒ කොහොම කළත්, නව ආරක නාට්‍ යවිනිශ්චය කිරීම බොහෝ විනිසුරුවන්ට පහසු කටයුත්තක් නෙමෙයි. අවම වශයෙන් එයින් පිටපතට වඩා නිෂ්පාදන දකින්නට ලැබීමෙන් සිදුවන හානිය අවම කර ගන්න පුළුවන්. අවම වශයෙන් තෝරා නොගත් පිටපත්වලින් නිෂ්පාදනයේදී විශාල වෙනසක් වෙයි කියලා හිතන නාට්‍යවලට නිෂ්පාදනය කර ඉදිරිපත් කර පෙන්වීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් මට විශේෂයෙන් ඔබට අවධාරණය කරන්න අවශ්‍ය, නාට්‍ය උත්සව නාට්‍ය මතුවන එකම තැන බවට පත්වී ඇති නාට්‍ය කලාවක නාට්‍යකරුවන් ඇතිවෙන නැතිවෙන ප්‍රධාන අවස්ථාව මෙය බැවින්, එම  විනිශ්චය සඳහා ඉතාම දියුණු සූක්ෂ්ම යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි. හොඳ නාට්‍ය නැති වෙන්න ඉඩ ඇත්තේත්, අලුත් නාට්‍යකරුවන් මතුවීම වැළකෙන්න ඉඩ ඇත්තේත් ප්‍රසිද්ධියේ විනිශ්චය කරන අවසාන වටයේදී නොව පිටපත කියැවීමෙන් පමණක් අප්‍රසිද්ධියේ විනිශ්චය කරන මුල් වටයේදීයි.

හොඳට වගේම, නාට්‍ය තරග එකම ප්‍රධාන බලවේගය වීම නිසා නාට්‍යකරුවන් ඇති කිරීමේ සහ නැති කිරීමේ ඒකාධිකාරී හැන්දක් උලෙළවල්වලට තියෙනවා. ඒ තමයි ඒවායේ නරකම පැත්ත. මං මීට පෙරද සාකච්ඡා කළ පරිදි සහ මම යෝජනා කරන පරිදි පුළුල් නාට්‍ය කලා වෙළෙඳපොළක් වෘත්තීය නාට්‍ය කලාව සමඟ ඇති වුණු පසු මෙවැනි ඒකාධිකාරී බලවේගවලට පවතින්නට බැරිව යනවා .සිදු විය යුත්තේ නාට්‍ය උලෙළවල් නැති කිරීම නෙවෙයි, ඒවායේ ඇති ඒකාධිකාරී බලය නැති තවත් නිර්ණායකයන් සහ වෙළෙඳපොළවල් බිහිවී අගැයීම් පද්ධතිය සහ අනුග්‍රාහක වෙළෙඳපොළවල් පුළුල් වීමයි.


පින්තූරය: ඕස්ට්‍රියාවේ විලාච්හී පිහිටි වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ලොව කුඩාම රඟහල ලෙස ගිනස් වාර්තාව දිනූ ක්‍රෙම්ලොෆ් රඟහල (Kremlhof theater). මෙහි වේදිකාව අඩි පහයි පහක පමණ වන අතර, ආසන ප්‍රමාණය අටයි.සාමාන්‍යයෙන් මෙහි ප්‍රවේශ පත්‍ර අය කරන්නේ නැති අතර, ප්‍රේක්ෂකයන් ස්වේච්ඡාවෙන් දෙන ආධාර පමණක් පිළිගන්නවා මෙහි ඔපෙරා වේදිකානාට්‍ය ආදී බොහෝ නිර්මාණ ඉදිරිපත් කරනවා. මෙය මුල් වරට 2008දී විවෘත කළ අතර, 2010 සිට මේ වන තෙක් නොකඩවා නිර්මාණ ඉදිරිපත්කර තිබෙනවා.



Friday, February 18, 2022

අර්බුද ජය ගන්න ගොනු වෙන්න බැරි වීම.

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය ගැන කතා කරන කොට මතු කළ හැකි ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි, ඒක තාමත් අප නාට්‍යකරුවන්ට කරගන්නට බැරි වුණේ ඇයි කියන කාරණය. ප්‍රශ්නය දැනුම ද? මුදල් ද? සම්පත් ද හෝ වෙනත් යමක් ද? මේ ලිපියෙන් මම මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ මීට හේතු වන ප්‍රධාන ප්‍රශ්නයක් වන ආකල්පමය ගැටලුවයි. සමහර විට මේ කාරණයම ශ්‍රී ලංකාව රටක් විදියට තවමත් දියුණු වීමට නොහැකි ඇයි කියන ප්‍රශ්නයට ද සම්බන්ධ වෙන්න පුළුවන්.

කාලාන්තරයක් පුරා මානුෂික වුවමනාවන්, සම්පත් සහ වරප්‍රසාද ආදිය ඉතාම අසාධාරණ ලෙස බෙදා ගැනීමට  සහ ඒවාට තරග කිරීමට සිදුවීම යම් සාමුහික දියුණුවක් කරා යන සාරවත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදාගෙන නැති වීම, අවස්ථාවාදීත්වය තුළ එදිනෙදා ජීවත් වීමට සැලැස්වීම ආදී කාරණා මීට හේතු වී ඇති බව අර්බුදයට හේතු වන මෙම ආකල්ප දෙස බලන විට අපට පෙනී යනවා.

මේ සඳහා මම සාධක වශයෙන් පාදක කර ගන්නේ මම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය කරන්නට පැමිණිය දා සිට දිවයින පුරා රාජ්‍ය සහ රාජ්‍ය නොවන විවිධාකාර පාර්ශ්ව විසින් මටත් ආරාධනා කර සංවිධානය කරපු නාට්‍ය කලාව ගොඩනැඟීම සඳහා කළ ගොනු වීම්වල අසාර්ථකත්වයයි. මේවායින් සමහර ඒවා  සංවිධානය කළේ ජාතික තරුණ සේවා සභාව, ටවර් හෝල් රඟහල පදනම සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වැනි සංවිධාන විසින්. විශේෂයෙන් ඒවාට අදාළව අලුතින් පත්වුණු අධ්‍යක්ෂවරයකු, සභාපතිවරයකු, ඇමැතිවරයකු වැනි කිසියම් ඉහළ බලධරයකු වැඩ පටන් ගන්නට යාමේ එක්තරා අදියරක් (‘සංදර්ශනයක්‘) විදිහටයි. නාට්‍ය පාඨමාලාවන් ආරම්භ කිරීමේ සිට නාට්‍ය උත්සව සාර්ථක කර ගැනීම, නාට්‍ය කලාව දීපව්‍යාප්ත කිරීම සහ නාට්‍ය කලාවට අදාළ විවිධාකාර පොදු සංවර්ධනය පිළිබඳ තේමාවන් තමයි ඒවාට මුල් වුණේ. ඒ බොහෝ ඒවාට එවකට රටේ පැවැති ප්‍රවීණ නාට්‍යකරුවන් විදිහට හඳුනා ගන්නා අය ද කැඳවලා තිබුණා. අලුත් පරම්පරාවක් ද නියෝජනය කළ බව කියන්නට අපේ නම් ද එවැනි තැන්වලට ප්‍රයෝජනවත් වුණා.  නාට්‍යකරුවන්ට එන්නට කියලා තිබුණේ අපගේ අදහස් උදහස් අරගෙන අපත් සමඟ හොඳ වෙනසක් කරන්න කියලයි.

මේ පොදුවේ ගත්තම රටපුරා එවැනි ගොනුවීම අසාර්ථක වීමට හේතු වූ ප්‍රධාන කාරණා කීපයක්. මෙය සෑම කෙනෙක්ගෙම ලක්ෂණයට වඩා සාමාන්‍ය පොදු තත්ත්වය විදිහට ගන්න.

රජය සම්බන්ධ සමහර රැස්වීම් වලදී අපි හමු වෙන කොටම එම ඉහළ නිලධාරීන් හෝ මැති ඇමැතිවරුන් සමඟ කිසියම් නාට්‍යකරුවන් පිරිසක් හෝ කෙනෙක් සාකච්ඡා කර මූලික සැලැසුම් සියල්ලම වගේ හදාගෙන අපගේ කැමැත්තත් ඊට ලබා ගැනීමට හරිගස්සපු කූට සැලැස්මක් කියලා සමහර ඒවා අපට පෙනී ගියා. පොදු රැස්වීමට අමතරව ඒ අය වෙනම ම හමු වී තවත් රහස් රැස්වීම් යන බව තේරුම් ගියා. ඒ නිසා ඒවායේ පාරදෘශ්‍යභාවය පිළිබඳ යම් ගැටලු ඇති වී විශ්වාසය බිඳවැටී ඉදිරියට යන්නට බැරි වුණා.

ව්‍යාපෘතිය සම්බන්ධව ආපු අයට ගැඹුරු අවබෝධයක්, අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් ආදිය කරලා නැති වීම නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් නැති වීම. මේ සම්බන්ධ විශේෂඥයන් එම ස්ථානවල හිටියේ බොහොම කලාතුරකින්. එබැවින්, නාට්‍යකරුවන්ගෙන් එන්නා වූ විවිධාකාර අදහස් උදහස් දියුණු කිරීමට හෝ නිශ්චිත ඉලක්කයකට අදාළව නිවැරැදිව කල්පනා කරන්නට හෝ ගෙන යන්නට කෙනෙක් නැති වීම.

කෙතරම් හොඳ අදහසක් මතු වුණත්, අදහසකට සහයෝගය දුන්නේ එහි ඇති ගුණාත්මකභාවය මත නෙමෙයි ඒ අදහස එන්නේ කාගෙන් ද කියන එක මතයි. එනිසා ‘අරයාගේ අදහස ක්‍රියාත්මක වෙනවාට මේ අය කැමැති නෑ. මෙයාගේ අදහස ක්‍රියාත්මක වෙනවාට අර අය කැමැති නෑ’ වගේ තත්ත්වයක් තිබුණා. කොච්චර හොඳ අදහසක් ආවත් ඒක වැදගත් නෑ වගේ යටගහන්න සමහරු උත්සාහ කළා. කෙසේ හෝ හොඳ  අදහසක් මතු කර ගත්තම ඒකට එතැන දී සහයෝගය දෙනවා වගේ පෙන්නුව ද, පසුව එය අධෛර්යවත් කර දියාරු කර රැස්වීම් සඳහා සම්බන්ධ වීම පවා අඩාළ කර දැම්මා.

ඒ සෑම අවස්ථාවක දී ම තිබුණේ නාට්‍යකරුවන්ට ප්‍රයෝජනවත් යම් කිසි පොදු යථාර්ථයක් ජය ගැනීමක් වුණත්, සෑම කෙනකු ම වගේ වඩා උනන්දු වුණේ එම පොදු යහපතේ වාසිය ලබා ගන්නවාට වඩා යම් කිසි  පෞද්ගලික ප්‍රතිලාභයක් වහාම ඇති වෙනවා ද කියන එක ගැනයි. එය සමහර විට මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක තමන් ඉන්නා බවට ප්‍රසිද්ධියත්, එයින් තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියකට අනුග්‍රහයක් සඳහා හෝ වෙනත් ආදායම් හෝ රැකියා වැනි අවස්ථාවක් සඳහා හෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවැන්නක් නැති වෙන කොට සමහරුන් රැස්වීම් මඟඇරියා.

පෞද්ගලික හේතු ඇතුළු විවිධ හේතු නිසා සමහරු එම රැස්වීම්වලින් ඉවත් වුණාට පසු එය තමන් නැතුව කරගෙන යාම කඩාකප්පල්  කිරීමට කළ හැකි කටකතාවල සිට ඉහළ තැන් හරහා බලපෑම් කිරීම දක්වා සෑම බාධාවක්ම කළා.

මීට අමතරව සමහර අවස්ථාවල දී සංවිධානය කරපු පාර්ශ්වය විසින් එම රැස්වීම් ගෙන යාම සඳහා අවශ්‍ය ශාලා ආදී පහසුකම් සහ ප්‍රතිපාදන ආදී යටිතල පහසුකම් හදිසියේම නැති වීම නිසාත්, ඉහළ පුටු මාරු වීම නිසාත් තාවකාලිකව කියා නවත්වා සදාකාලිකවම නැවතී ගියා.

ඒවා සිදු වන විට ඉහත කරුණු කිසිවෙක් එළිදරවු කළොත් හෝ විවේචනය කළොත්  හෝ බොහෝ විට ඔවුන්ට  එරෙහිව මඩ හෝ අපහාසාත්මක ප්‍රතිචාර ක්‍රියත්මක වුණා.

දිවයින පුරා මම කරපු වැඩමුළු ආදිය නිසා  විවිධාකාර රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශ්ව කොළඹින් පිටත රට පුරා කළ නාට්‍ය කලා සංවර්ධන සඳහා සමිති රැස්වීම් සිය ගණනකට මම සම්බන්ධ වෙලා තියෙනවා. අවාසනාවට ඒ සියල්ල බොහෝ විට එක සමානයි. මෙවැනි ආකල්පවලට, රටාවන්වලට ප්‍රවීණ, ආධුනික, ගැමි, නාගරික, උගත් නූගත්, සාම්ප්‍රදායික අය අසාම්ප්‍රදායික අය කියා කිසිම වෙනසක් දකින්නට නැහැ.

එසේම ඉහත අත්දැකීම් මට තියෙන්නෙ සිංහල නාට්‍ය කලාව කරන්නන් අතරේ වන අතර මම ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ද වැඩ කරලා තිබෙන අතර, බොහෝ විට ඉංග්‍රීසි සමාජයේ මෙවැනි ආකල්ප දකින්නට අඩුයි.

නාට්‍ය කලාව පමණක් නොවේ මෙවැනි ඕනෑ ම පොදු සංවර්ධන ව්‍යාපෘතියක් උදෙසා එක්රැස් වන විට ඉහත ආකල්පමය සහ අවස්ථාවාදී තත්ත්වයන් ජය ගන්නේ කෙසේ දැයි කියා එම ගොනු වීමට දියුණු සැලැස්මක් තිබිය යුතුයි. එවිට පුද්ගලයන් ලබා ඇති තරාතිරම, උගත්කම ආදියට රැවටී එහෙම දෙයක් නෑ වගේ රැස් වී කාලය, ශ්‍රමය නාස්ති කර ගැනීම වළක්වා ගන්න පුළුවන්.

ඉහතින් සදහන් කළ ආකාරයේ ගොනු වීම්වලින් සිදු වන හානිය සහ අසාර්ථකත්වය අවම කර ගන්න නම්, එය සිදු විය යුත්තේ අදාළ විෂයය සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් වෘත්තීයව යොදාගෙන ඔවුන් හරහා  අර්බුදය පර්යේෂණය (Research) කර  එයට  විසඳුම් සැලැසුම් සොයාගෙන ඉදිරිපත් කිරීමේ ක්‍රමයයි. එම පර්යේණයේ දී  නාට්‍යකරුවන් ආදී ශිල්පීගෙන් ද අදහස් උදහස් ගන්න පුළුවන්. නමුත්, මෙවැනි ව්‍යාපෘති සාමාන්‍යයෙන් ඒ තරම් බැරෑරුම්ව සැබෑවට ගත්ත වැඩ නොවන බැවින්, මඟ දී ඒවා අසාර්ථක වීම සහ දියාරු වී යාම ඒවාට අවශ්‍යයි.

රජයන් පැත්තෙන් ගත්තොත්, ඔවුන් හැම විට ම වගේ අපව රැවැට්ටුමුත්, මම තරයේ විශ්වාස කරන පරිදි නාට්‍යකරුවන් ඉතා ශක්තිමත්ව ගොනු වූයේ නම්, අවම වශයෙන් මම මේ කතාකරන පසුගිය අවුරුදු 30 වැනි කාලය තුළවත් අපට මීට වඩා බොහෝ දේවල් අත්පත් කර ගන්නට තිබුණා. අපේ වැනි රටවල රජය දෝතින් අරගෙන ඇවිත් දෙන කිසිවක් නැති අතර, ඇත්තේ තනිකරම ශක්තිමත්ව සංවිධානය වී රජයට බල කර කරවා ගැනීමයි. තවමත් නාට්‍ය කලාවට අවශ්‍ය බරපතළ වෙනස්කම් සහ සංවර්ධනයන් අත්පත් කර ගැනීමට  ඇත්තේ, ශක්තිමත්ව සංවිධානය  වී රජයට බලකිරීමේ ක්‍රමයමයි.

පින්තූර ය: ප්‍රංශයේ රංගශාලා සහ නාට්‍ය සමාගම් වල වැඩකරන රංග ශිල්පීන් ඇතුළු කලා සංස්කෘතික වෘත්තිකයින් 2001 වසරේ  lockdown වීමත් සමග  ඔවුන්ගේ වෘත්තීන් වලට සිදු වූ අසාධාරණයට එරෙහිව  ප්‍රංශයේ ප්‍රධාන රංග රංග ශාලා තිහක් බලෙන් අල්ලා ගනිමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා . මේ එහි එක් අවස්ථාවක්. Théâtre de la Colline හීදී.

Friday, February 11, 2022

පුද්ගල ගනුදෙනු සහ පිරිහුණු නාට්‍ය කලාව


ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 10

වෘත්තීය නාට්‍ය කලාවක්  කියන විට ඉන් කියවෙන්නේ මුදල් ඉපැයීම සඳහා නාට්‍ය කරන්නන්ගේ කලාවක් යන්න නොව එය එම කලාවට විශේෂයෙන් ආවේණික නීතිරීති, විනය ශික්ෂණවල සිට වෘත්තීය අයිතිවාසිකම් දක්වා සියල්ල ස්ථාපනය වීම අඟවනවා. අන්න ඒ තත්ත්වය ගොඩනැඟෙන්නේ නැති ඕනෑම තැනක් පිරිහුණු ස්ථානයක් බවට පත් වීමට ඇති නැඹුරුතාව වළක්වන්නට බැහැ. ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ එසේ පිරිහී හෝ දූෂිත වී හෝ ඇති ඉතා වැදගත් පැතිකඩක්, ප්‍රතිරූප සහ පුද්ගල සම්බන්ධතා නාට්‍ය කලාවේ අයහපත් පැවැත්මට බලපෑමක් කරන ආකාරය හඳුනා ගන්න මෙම ලිපියෙන් උත්සාහ කරනවා.

නාට්‍ය කලාව පමණක් නොව ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ ක්‍ෂේත්‍රයන් වෘත්තීය නිපුණතාව, ශික්ෂණය ලබා නැති අතර, එබැවින් ඒවා සියල්ලම වාගේ පවතින්නේ පිරිහුණු තත්ත්වයන් යටතේයි. එවිට අහල-පහල කට්ටිය එකතු වෙලා එක් එක් කෙනාගේ පෞද්ගලික බලයට, ඔහෙ හිතෙන හැටියට සහ පවතින සමාජ ධුරාවලි හා  පෞද්ගලික ගනුදෙනුවලට අනුව වැඩක් කළ විට  එයට සිදු වන දේ එම විෂයයට ද සිදු වන බව කෙනකුට සිතා ගන්න අපහසු නැහැ.

කලාව තුළ පමණක් නෙමේ. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ බහුතර තත්ත්වය සකස් වී ඇත්තේ, පුද්ගල සම්බන්ධතා හරහා ‘මිනිසුන් අල්ලාගෙන‘ දේවල් කර ගැනීමටයි, එවිට ආයතනයකට හෝ ක්‍රමයකට වඩා බලවත් පුද්ගලයායි. ඔබට පොලිසියෙන් පවා සාධාරණය අවශ්‍ය නම්, ඔබ මුලින්ම සොයා  යා යුත්තේ, පොලිසියට පවා බලපෑමක් කළ හැකි බලවත් පුද්ගලයකුයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පාසල්, කච්චේරි, පොලිසි සහ සංස්කෘතික අමාත්‍යාංශය ආදී විවිධාකාර නම්වලින් ආයතන තිබුණත්, ඒ ආයතනවලින් අවශ්‍ය දේවල් සාධාරණව හෝ අසාධාරණව ඔබට කර-කියා ගැනීමට වඩාත් බලපාන්නේ පුද්ගල සම්බන්ධතායි. මෙසේ වන්නේ සාමාන්‍යයෙන් මේ කිසිම තැනක පාරිභෝගිකයකුට සාධාරණ සේවයක් කිරීමට අවශ්‍ය වෘත්තීය පදනමක් ඇති නිශ්චිත ක්‍රමයක් හෝ යන්ත්‍රණයක් නැතිවීම නිසයි.

මේ ක්‍රමය තුළ, නාට්‍ය නිර්මාණයක් කරන විට ඊට විවිධ ආධාර, උපකාර, අනුග්‍රහයන් සොයා ගැනීමට, මාධ්‍ය ප්‍රචාරය ඇතුළු නිර්මාණය හොඳයි කියා සමාජගත කිරීමට, ජනප්‍රියත්වය, සමාජ ප්‍රසාදය ආදිය ගොඩනඟා ගැනීමට, සමහර විට සම්මාන පවා ලබා ගැනීමට පමණක් නොව තමන්ට යම් අකටයුත්තක්, අසාධාරණයක් කොහෙන් හෝ සිදුවෙලා නම් එය ද විසඳා ගැනීමට පවා නාට්‍යකරුවන්ට ද සිද්ධ වෙනවා, තනිකරම පුද්ගල සම්බන්ධතා සහ පුද්ගල ප්‍රතිරූප මත යැපෙන්නට.  

පුද්ගල ප්‍රතිරූප යනුවෙන් අදහස් කරන්නේ  කලා ක්‍ෂේත්‍රය ද ඇතුළුව සමාජයේ විවිධ ක්‍රියාකාරකම් හා ගනුදෙනු සම්බන්ධතා හරහා ජනප්‍රියත්වය, බලවත්භාවය, පිළිගැනීම සහ ගෞරවය උපයාගෙන ඇති පුද්ගලයන්ගේ නාමය හෙවත් ප්‍රතිරූපයයි. අප මේ කතා කරන්නේ නාට්‍යකරුවාට පවතින්නට, කලා කෘතිය සමාජගත කරන්නට සහ  කලාකරුවා හොඳ මිනිසකු ලෙස ‘බෞතීස්ම’ කරන්නට පවා ඔවුන් යොදා ගැනීමයි. ඔවුන් සමහරුන් ද එය තේරුම් අරගෙන නාට්‍යකරුවන් ඇති-නැති කිරීමේ ‘හැන්ද’ ඔවුන් අතේ තියා ගන්නට උත්සාහ කිරීම දැකිය හැකියි. නැවතත් මෙය අඩු-වැඩි වශයෙන් සෑම ක්‍ෂේත්‍රයකම තියෙන සුලබ තත්ත්වයක්.

බැලුබැල්මට නොමිලේ කලාවට සේවය කරනවා වගේ පෙනුණාට එම බොහෝ ප්‍රතිරූප ඇති පුද්ගලයන්ගේ භාවිතාවන් නිරීක්ෂණය කරන විට අපට පෙනී යන්නේ ඔවුන් එය ක්‍ෂේත්‍රයට හෝ  විෂයයට සාධාරණයක් කරනවාට වඩා ඔවුන්ට ගරු බුහුමන් කරන ආකාරයට, ඔවුන්ගේ ද වුවමනා-එපාකම්වලට සහයෝගය දෙන ආකාරයට අනුව කලාකරුවන්ට සහ කලා කෘතිවලට සහයෝගය දෙන බවයි. එවිට ෆේස්බුක්වල ලයික්, ෂෙයාර්, සුභ පැතුම් ආදිය දැමීමේ සිට ඔවුන් අකැමැති අයට සහයෝගය නොදීමේ තත්ත්වයේ පිහිටා කටයුතු කරන බැවින්, මේ ප්‍රතිරූප සතුටු කර පවතින්නට නාට්‍යකරුවන්ට සිද්ධ වෙනවා (සියලු ලයික්, ෂෙයාර්, සුභපැතුම්, ෆේස්බුක් ක්‍රියාකාරකම් දූෂිතයි යන්න මින් අදහස් කරන්නේ නෑ).

මෙම තත්ත්වය තුළ ,මේ වෙන කොට කලා කෘතිවල අඩුපාඩු පිළිබඳව කතා කරන විචාරාත්මක රචනාවන් හෝ ප්‍රකාශන මුළුමනින්ම වාගේ දකින්නට නැති තරම්. ඔවුන් (ප්‍රතිරූප හෝ ප්‍රසිද්ධ අය) බොහෝ විට කතා කරන්නේ අගැයීම් ගැන පමණයි. කලාකරුවාට කර ගන්න අවශ්‍යත් ඒකයි. විවේචනය කළොත්, ‘එයා මට උදවු කරන්නේ නෑ !’ ඔවුන් කෘතියක යම් විවේචනාත්මක පැත්තක් කතා කළොත්, බොහෝ විට ඒ තමන්ට සහයෝගය දෙන්නැති කෙනකුගේ කලාකෘතියි. මෙය සත්‍යයක් නම් එයින් පෙන්නුම් කරන්නේ ඔවුන් සේවය කරන්නේ පුද්ගලයාට විනා එම විෂයයට නොවන බවයි. මෙය පොදු තත්ත්වයක් නම්, ඒ තුළ විෂයයක් වර්ධනය වෙයි ද?

ලෝකයේ ඕනෑම රටක වගේ එවැනි ‘ප්‍රතිරූප’ ද කලා කෘති පිළිබඳව අදහස් උදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන නමුත්, ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ ඉහතින් පැහැදිලි කළ ආකාරයට ,එය සකස් වී ඇත්තේ, ගනුදෙනුවක් විදිහට බව අපට පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. සමහර අවස්ථාවල එය තරමක් අර පැරැණි අත්තම් ක්‍රමයට සමානයි; “ඔයා මට උදවු කරන්න එතකොට මමත් ඔයාට උදවු කරන්නම් ! හැබැයි, නිකං මුකුත් නැහැ.”

ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂේත්‍රය මූලික වශයෙන් කොළඹ කේන්ද්‍රීයව භූගෝලීය වශයෙන් ද සුළු ඉඩක වැඩි සංකීර්ණත්වයක් නැතිව පැතිරී තියෙන බව අපි දන්නවා. මේ නිසා එහි ඇත්තේ, සියලුම දෙනා සියලුම දෙනාව දන්නා, හමු වන යම් කුඩා ගමක මෙන් ලක්ෂණයක්. මේ  නිසා නිතරම පුද්ගලයන් අතර මතගැටුම්, අමනාපකම් ඇති වෙනවා වැඩියි. එවිට මේ සියල්ලම විචාරයේ සිට කලා කෘති ගැන කතාබහ කරන සහයෝගය දෙන එකට බලපානවා. නාට්‍යකරුවන් ද එම ගැටුම්වලට, භේදවලට සම්බන්ධ වී ඒවා පාවිච්චි කර පවතින්නට පෙළැඹෙනවා.


කෙසේ හෝ එකිනෙකාට උදවු කර ගැනීම අවශ්‍ය තැන අගැයීම වැනි දේවල් හැම විටම දූෂිත ගනුදෙනු යැයි මම මෙයින් අදහස් නොකරන අතර, එසේ දූෂිත නොවූ ආකාරයට සිදු වන තැන් ඇත් නම්, ඒවා මගේ මෙම විග්‍රහයට ඇතුළත් නොවන බව සලකන්න. නමුත්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ඉරණමට බලපෑමක් කළ හැකි තරමට එම පුද්ගල ගනුදෙනු හරහා පිරිහුණු තත්ත්වය ඇති වෙලා තිබෙන බවත්, එය එක්තරා විදිහකට එම ක්‍ෂේත්‍රය පාලනය කරන බලව්‍යුහයක් විදිහට ක්‍රියා කරන බවත් අපට පහසුවෙන් දකින්නට තියෙනවා. මං මේ සඳහා කොළඹ කේන්ද්‍රීය පෞද්ගලික භාවිතාවන් බොහෝ කාලයක සිට සමීපව නිරීක්ෂණය කරලා තියෙන අතර, අවශ්‍ය නම්, ඔබටත් අධ්‍යයනය කර බලන්න පුළුවන්.

වෘත්තීය නාට්‍ය  කලාවක් ඇති විට  මෙවැනි දූෂිත පෞද්ගලික ගනුදෙනු සහ පිරිහීම් විශාල ප්‍රමාණයට පාලනය වනවා. විචාරය පවා වෘත්තීයමය ක්‍රියා කරන විට ඊට පුද්ගල ගනුදෙනු අදාළ වෙන්නේ නැහැ. වෘත්තීයමය තත්ත්වය (Professionalism) පිළිබඳ අවබෝධයක් ඇති ක්‍ෂේත්‍රයක ඒවා ලියන්නේත්, ප්‍රතිරූප පවා අදහස් ප්‍රකාශ කරන්නේත් කලාකරුවාගෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුව හෝ  ගනුදෙනුවක්  ලෙසට හෝ නෙමෙයි. තමන්ගේ වෘත්තීයමය, දේශපාලනික හෝ අනුරාගික අවශ්‍යතා මතයි. නාට්‍යකරුවන්ට අවශ්‍ය ආධාර උපකාර සියල්ලටම වෘත්තීයමය ක්‍රමයක් තිබෙනවා. (ඒවා මම වෙනත් ලිපිවල සාකච්ඡා කළා). මාධ්‍යවලින් පවා නිර්මාණවලට අවශ්‍ය ප්‍රචාරය ආදිය ලබා දෙන්නේ ඔවුන්ගේ ම ප්‍රතිපත්තියකට විනා හැඳුනුම්කම්වලට නෙවෙයි. වඩාම වැදගත් දේ නම් වෘත්තීයමය නාට්‍ය කලාවක් ඇති විට එහි සියලුම දෙනාට එම වෘත්තීයමය ශික්ෂණය හා ඒ සම්ප්‍රදායය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. එවිට බොහෝ පුද්ගල ගැටුම් ද ඇති වීමට ඇති ඉඩ අඩුයි.

දැන් ගැටලුව  තියෙන්නේ, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව වර්තමානයේ පවතින ආකාරයේ සිට එවැනි වෘත්තීයමය තත්ත්වයකට යන්නේ කෙසේ ද යන්නයි. එය අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.

පින්තූරය :හෙයාර් (Hair) රොක් සංගීත වේදිකා රංගය. නාට්‍ය ද ඇතුළු ප්‍රාසාංගික වේදිකාවට පැති ගණනාවකින් විශාල බලපෑමක් කරපු මෙම ඓතිහාසික, එවකට ආන්දෝලනාත්මක සංගීත වේදිකා නිර්මාණය ප්‍රථම වතාවට ඇමෙරිකානු වේදිකාව මත වඩාත් ම විවෘතව නිරුවත පෙන් වූ සියලුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඉදිරිපත් කරපු සමලිංගිකත්වයේ සිට ලිංගික ක්‍රියාකාරකම් ඉදිරිපත් කරපු වියට්නාම් යුද්ධයට විරෝධය පාමින් ඇමෙරිකානු කොඩිය ප්‍රසිද්ධියේ වේදිකාවක් මත හෙළාදැකපු රැඩිකල් හිපි සංස්කෘතියට අනුබල දුන් නාට්‍යයක්. එය ප්‍රථම වතාවට 1968දී ඕෆ් බ්‍රෝඩ්වේ හි දී රංගගත වුණා.



Friday, February 4, 2022

නාට්‍ය අර්බුදයේ මූලය ඇත්තේ කොහේද?

 



(ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 9 )

 ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය විසඳීම සහ එහි පැවැත්ම සාර්ථක කර ගැනීම රජයේ ප්‍රධාන සහයෝගය නැතිව කිසි විටෙක කරන්නට බැහැ. එසේ කළ රටක් ද ලෝකයේ නැහැ. නාට්‍ය කලාව වෘත්තීය මට්ටමට අරගෙන ඇවිත් එහි ක්‍රියාකරන්නන්ට වෘත්තීයව පවතින්නට අවශ්‍ය පසුබිම සකස් කරමින් ගුණාත්මක නාට්‍ය ඉල්ලා සිටින ප්‍රේක්ෂකාගාරය හෙවත් එහි වෙළෙඳපොළ හැකි තරම් විශාල කිරීමෙන් විනා වෙනත් කිසිදු මාර්ගයකින් නාට්‍ය කලාවකට පවතින්නට නොහැකි බව මම පෙන්වන්නට උත්සාහ කරමින් සිටින කාරණයයි. කෙතරම් ප්‍රමාණයක් නාට්‍ය කලාව පිළිබඳව විවිධ ක්‍රියාකාරකම් කළ ද, අර පවතින්නට අවශ්‍ය යාන්ත්‍රණය නිර්මාණය කර ගන්නා තාක්කල් නාට්‍ය කලාවේ මූලික අර්බුදය විසඳෙන්නේ නැහැ. අප කැමැති වුණත්, අකැමැති වුණත් වර්තමාන ලෝකය තුළ අපට එය ජය ගන්නට සිද්ධ වෙන්නේ වෙළෙඳපොළ ගනුදෙනුවක් හරහායි. මූලික වශයෙන් මගේ මේ ලිපි පෙළේ සාකච්ඡාව එම තත්ත්වය අත්පත් කර ගන්නේ කෙසේ ද? එසේ නොවීම නිසා ඇති වෙලා තියෙන පලවිපාක මොනවා ද යන්න පිළිබඳව කතා කිරීමයි.

අද මම සාකච්ඡා කරන්නේ අර්බුදයේ මූලය තියෙන තැන හෙවත් එය විසඳා ගැනීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්නයි.

මේ සම්බන්ධයෙන් ආදර්ශ ගැනීමට ලෝකයේ වඩාත්ම දියුණු නාට්‍ය කලාවන් ඇති රටවල් දෙස බලන කොට අපට  වැදගත් දෙයක් පෙනෙනවා. එනම්, පොදුවේ ගත්තාම අපේ සමාජයට වඩා එම සමාජවල මිනිසුන් පොත් පත් කියැවීම සහ කලා ආස්වාදය කියන එකට ඇති නැඹුරුව. එම නැඹුරුවට ඔවුන් පැමිණෙන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනය ඇසුරින්ම කලා ඇසුරට ලැබෙන්නා වූ උත්තේජනයක් නිසයි. උදාහරණයක් ලෙස එම රටවල ඉතාම කුඩා කාලයේ සිට දරුවන්ට පොත් කියැවීම අමතර ක්‍රියාකාරකමක් ලෙසට පාසල් තුළ දී ම හුරු කරනවා. නාට්‍ය ක්‍රියාකාරකම්වලට යොමු කරනවා. එසේ කුඩා ළමයින් නාට්‍ය කලාවට යොමු කරන්නේ අවශ්‍යයෙන්ම නාට්‍යකරුවන් හෝ ප්‍රේක්ෂකයන් කරන්නට නෙමෙයි. ඊට වඩා එම නාට්‍ය කලාව හැදෑරීමේ දී ඔවුන්ගේ ජීවිතයට  එකතු වෙන ගුණාත්මක දේවල් නිසයි. ඒවා අතර ළමයින්ගේ කුලෑටි බව සහ සබකෝලය ආදිය නැති වීම, සමාජය ඉදිරියේ ආත්ම විශ්වාසය ඇති වීම, නිර්මාණාත්මකව හිතන්නට හැකි වීම සහ සාමුහික වැඩ කටයුතු කර ගැනීමේ දී ඇති දියුණුව මෙන්ම කලා, සාහිත්‍යය, සිනමා ආදී නාට්‍ය කලාව ඇසුරින් ගොඩනැඟෙන යම් දියුණු සමාජ පරිසරයක  ඇසුර ලබන්නට හැකි වීම ආදී බොහෝ දේවල් ඔවුන් ජීවිතයට නාට්‍ය කලාව හරහා එකතු කරගන්නවා. ඕස්ටේ්‍රලියාවේ සුප්‍රකට නයිඩා (NIDA) නාට්‍ය පාසලේ අවුරුදු හයේ  ළමයින්ගේ සිට සෑම වයසකම ළමයින්ට පාඨමාලා තියෙනවා. ඒවාට ඇතුළු වීමට පමණක් රැඳී සිටින ලිස්ට් එකේ බොහෝ කාලයක් ඉන්නට සිදු වන තරමට පිරිස් ඉන්නවා.

එබැවින්, ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය අධ්‍යාපනය තුළට අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු ප්‍රධාන කාරණා කීපයක් මම යෝජනා කරන්න කැමැතියි. එකක්, ඉතාම කුඩා කාලයේ සිට එනම්, පළමු වසරේ සිට හෝ ඊටත් පෙර සිට ළමයින්ට පොත් පත් කියැවීම හුරු කරවීමයි. මෙයින් අදහස් කරන්නේ, විෂය නිර්දේශයට අදාළ පොත් හෝ අකුරු කියැවීම නෙමේ, පොදුවේ පොත් කියැවීම පුරුද්දක් වන ලෙසට ආස්වාදය ඇති කිරීම සඳහා ක්‍රමානුකූලව හුරු කිරීමයි. දෙවැනි කාරණය ඉතාම කුඩා කාලයේ සිට වෘත්තීයමය අවශ්‍යතාවන්ට වඩා පුළුල් අර්ථයෙන් අර පෙර සඳහන් කළ පරිදි දියුණු නාට්‍ය කලාවක් ඇති රටවල මෙන් හැකි තරම් පුද්ගල සංවර්ධනයට අවශ්‍ය පරිදි සකස් කළ නාට්‍ය ක්‍රියාකාරකම්  ඇතුළත් කිරීම.  අනික් කාරණය හුදෙක් ක්‍රීඩා තරග මෙන් පාසලට කීර්තියක් ගෙන ඒමට ඇති  නාට්‍ය තරගවලට සහ විවිධ ප්‍රසංගවලට ජවනිකා ඉදිරිපත් කරනවාට වඩා එහාට ගොස් පාසල්වලට යම් කිසි රංග ශාලා පහසුකම් ආදිය ලබා දී නාට්‍ය නිෂ්පාදනය කර රඟදැක්වීමේ සහ ඒ ගැන කතාබහ කිරීමේ වැඩසටහන් හඳුන්වා දීම. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් නිර්මාණ ඉදිරිපත් කරන කොට ඔවුන්ගේ වැඩිහිටියන් ද ඒවා නරඹන්නට ප්‍රේක්ෂකයන් ලෙසට එනවා. එසේ කරන්නේ නම්, දැනට ඉන්න නාට්‍ය ගුරුවරුන්ගේ ද අධ්‍යාපන මට්ටම සහ නිර්මාණාත්මක මට්ටම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සොයාබැලීමටත්, මෙම ගුරුවරුන්ගේ සිට විෂයමාලාව දක්වා දැනට පවතින ගුණාත්මකභාවය පරීක්ෂාවට ලක් කර නව සංශෝධන ඇති කිරීම සිදු විය හැකියි. දැනට සිංහලෙන් පමණක් තිබෙන පොත පත කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, ඉතා හොඳ පොත් ළමයින්ගේ මට්ටමට ගැළපෙන භාෂාවෙන් සිංහල සහ දමිළ භාෂාවලට පරිවර්තනය කිරීමට සහ ඒ සඳහා ම අලුතින් ලිවීමට සැලැස්විය යුතුයි.

 කෙසේ හෝ පාසල්වල නාට්‍ය කලා සංවර්ධනය සම්බන්ධයෙන් කළ යුතු, නොකළ යුතු සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව හඳුන්වා දීමක් මම මෙතැන දී කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත්, මට විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ පුළුල් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වීම ආරම්භ වන්නේ ඉතාම කුඩා කාලයේ සිට පාසල් අධ්‍යාපනයට සමපාතව බවයි. නාට්‍යකරුවන් ලෙසට මතු වන්නේත් ඒ හරහාම බිහි වන පිරිසෙන් එන අයයි. ලෝකයේ දියුණු නාට්‍ය කලාවක් පවතින සෑම තැනකම අඩු-වැඩි වශයෙන් සිදු වී ඇත්තේ ඒකයි.

 මේ සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවෙන්ම එක උදාහරණයක් දෙන්න මම කැමැතියි. ඕස්ටේ්‍රලියාව යනු ඉතාම මෑතක දී, වැඩිම වුණොත් අවුරුදු සීයක්, දෙසීයක් වැනි කාලයක් තුළ මතු වුණු රටක් බව අපි දන්නවා. අප මේ කතා කරන දේට අදාළව නූතන අවධිය ගත්තොත්, අවුරුදු සීයක් විතර ඇති. එහෙත්, ඒ රටේ ක්‍රීඩාවේ සිට කලාව දක්වා ඉතා විශාල වෙළෙඳපොළක් නැතහොත් වෘත්තීයමය ක්‍ෂේත්‍ර නිර්මාණය වෙලා තියෙනවා. ක්‍රීඩාගාර, රඟහලවල්, කලාගාර  විශාල සංඛ්‍යාවක් තිබෙන අතර කලාකරුවන්ගේ සිට ක්‍රීඩකයන් දක්වා අතිවිශාල සංඛ්‍යාවක් වෘත්තීයමයව වැඩ කරනවා. ප්‍රාදේශීය ක්‍රීඩා කණ්ඩායම් දෙකක් අතර තරගයක් පවා හරියට ජාත්‍යන්තර තරගයක් තරම් සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වී ප්‍රධාන පුවත් සිරස්තල මවන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.එසේම හැම ක්‍ෂේත්‍රයක් හරහාම ලෝකයේ හොඳම ගුණාත්මක නිෂ්පාදන ඔවුන් බිහි කරලා තියෙනවා. මෙතරම් කෙටි කාලයක් තුළ ඔවුන් මෙය කළේ කෙසේ ද? එය කළේ තනිකරම ඒ සියලුම විෂයයන් පාසල්වල ඉතාම කුඩා කාලයේ සිට ළමයින් තුළට අරගෙන යාමෙන්, ඒ රසය සහ වුවමනාව ඉල්ලා සිටින විශාල පිරිසක් නිර්මාණය කිරීම හරහායි. ඒ ඒ විෂයයන් වෘත්තීයව පවතින්නට තරම් විශාල වෙළෙඳපොළක් නිර්මාණය වුණේ ඒ හරහායි. කොටින්ම ඒ රට නිර්මාණය වන්නේම ඒ හරහායි. ශ්‍රී ලංකාවේ ද නූතන රාජ්‍යය ආරම්භ කරන කොට ඊට පදනම දැමිය යුතුව තිබුණේ, විෂයයක් වෘත්තීයව පවතින්නට හැකි  පුළුල් ආකාරය කල්පනා කිරීම හරහායි.

 ඔබ හොඳින් බැලුවොත්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම්වලට ද බොහෝ විට රඟහල තුළ ප්‍රේක්ෂකයන් ලෙසට ද ඉන්නේ ඇත්තටම නාට්‍ය කලාව පිළිබඳව උනන්දුවක්, උද්‍යෝගයක්, රසයක් අති අයම නෙමෙයි, ඊට වඩා අප විවිධාකාර උපක්‍රමවලින් අපේ වැඩේ සාර්ථක බව පෙන්වීමට රැස් කරනු ලබන පිරිස හෝ නාට්‍ය කලාවේ යෙදෙන්නට එනවාට වඩා වෙනත් ප්‍රතිලාභ උදෙසා පැමිණි අයයි. වෙනත් විෂයයන් කර ගැනීමට නොහැකිව උසස් අධ්‍යාපනයට නාට්‍ය තෝරා ගන්නා අයගෙන් බහුතරය ද මේ අයයි. රසය, ඇල්ම, හුරුපුරුද්ද යනු ඒ වගේ ක්ෂණිකව පොම්ප කරන්න පුළුවන් ඒවා නෙමෙයි.

එබැවින්, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සංවර්ධනය  බැරෑරුම්ව ගන්නා ඕනෑ කෙනකුට මම යෝජනා කරන්නේ, පාසල් අධ්‍යාපනය හරහා අර මූලික කාරණා කර ගැනීමට රජයට බල කිරීම සහ එසේ බල කිරීමට ක්‍රම හොයා ගන්නා ලෙසයි. රජය නාට්‍ය කලාවට අනුකූලතාවක් දක්වන්නෙ නෑ කියා රජය අත්හැර දමා හැකි පමණ තනි තනිව නාට්‍ය කලාව සංවර්ධනය කිරීම මරණය ප්‍රමාද කරමින් එදිනෙදා දිවි ගෙවීමට යම් හුස්ම පොදක් අපට ලබා දුන්න ද, මූලික අර්බුදය විසඳා ගැනීමට එතරම් දායක වෙන්නේ නැහැ.

පින්තූරය: නිමැවුමෙන් ලෝකයේ වඩාත් ම අසාමාන්‍ය රංග අවකාශයක් ලෙස සලකන ඔස්ටි්‍රයාවේ බි්‍රගැන්සර් (Bregenzer) රංග අවකාශය. මෙහි අතිවිශාල පාවෙන වේදිකාව වැවක් මත ඉදි කර ඇති අතර, ප්‍රේක්ෂකාගාරය ඇත්තේ වැව් ඉවුරේයි. මෙය විශේෂ වේදිකා නිර්මාණ ඇතුළු විවිධාකාර ප්‍රාසාංගික නිර්මාණ සඳහා යොදා ගන්නා අතර, එය වඩාත් ම ප්‍රසිද්ධියක් දරන්නේ ලොව විශාලතම ප්‍රාසාංගික කලා උලෙළක් ලෙස සැලැකෙන බි්‍රගැන්සර්  උලෙළ (Bregenzer Festspiele) සඳහායි. මෙහි පසුතල නිර්මාණ පින්තූරයේ ඇති පරිදි ප්‍රමාණයෙන් අතිවිශාලයි.

 


Friday, January 21, 2022

දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති කල...



ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 8

මෙම ලිපියෙන් මම කතා කරන්නේ මීට පෙර ලිපියෙන් අපි කතා කරපු දැනුම්වත් ප්‍රේක්ෂකයකු (Informed Viewer) නැති වීම නාට්‍ය කලාවේ පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපාන ආකාරය ගැනයි. මෙම ලිපිය වඩා හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා මීට වඩාම අදාළ ‘දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ  ප්‍රශ්නය’ නම් පෙර ලිපිය ඔබ කියවා ගැනීම ප්‍රයෝජනවත්.

දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වීම නිසා ඇතිව තිබෙන ප්‍රධානම ප්‍රශ්නය  ප්‍රේක්ෂකයාට බලයක්, හඬක් නැතිවීම සහ ඒ හරහා අවසානයේ නාට්‍යවල ගුණාත්මකභාවය පිරිහීමයි. ඒ බලය, හඬ බොහෝ විට අපට දකින්නට පුළුවන් වෙන්නේ, පවතින විචාරය ඇතුළු නාට්‍ය කලාව පිළිබඳව තිබෙන කතිකාව කෙසේ දැයි විමසන විටයි.

ඇත්ත වශයෙන් ම හොඳ නාට්‍ය කලාවක දී ප්‍රේක්ෂකයා නාට්‍යකරුවාට අභියෝගයක් බවට පත් විය යුතුයි. වෙනත් විදිහකට කියනවා නම්, වෙළෙන්දාට පාරිභෝගිකයා අභියෝගයක් නොවන තැනක එම භාණ්ඩයට සිදු වන්නේ කුමක් ද, දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වන විට නාට්‍ය කලාවට සිදු වෙන්නෙත් එයමයි. එනම්, පාරිභෝගිකයාට නිෂ්පාදනය පිළිබඳව විමසන්න, ප්‍රශ්න කරන්න, එහි හොඳ, නරක, ගුණදොස් තේරුම් ගන්නට හැකියාව අඩු වීමත්, ප්‍රකාශ කරන්නට හඬක් (පුළුල් විචාර කලාවක්) නැති වීමත් නිසා ඇති වෙන නරක තත්ත්වයයි.

මෙහි දී ‘පුළුල් විචාර කලාවක’ යනුවෙන් මම අදහස් කරන්නේ අවශ්‍යයෙන්ම විධිමත් විදිහට හෝ ශාස්ත්‍රාලීය විදිහට විචාරයක් ලිවීම පමණක් නෙවෙයි. සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍යවල දී පවා නාට්‍ය කලාව පිළිබඳව කතා කරන කොට ඒ පිළිබඳව හැකි තරම් දැනුම්වත්ව කතා කිරීමයි (සමාජ මාධ්‍ය ආදියේ ඕනෑම කෙනකුට ලියන්නට පුළුවන් මේ කාලයේ දී සෑම කෙනකුම එක්තරා විදිහකට විචාරකයෙක් හෝ ලේඛකයෙක් කියලා කියන්න පුළුවන්). පොහොසත්, දියුණු කතිකාවක් නොමැතිව කිසිසේත් ම නාට්‍ය කලාවට පවතින්නට බෑ. නාට්‍ය කලාවක මට්ටම එහි කතිකාවේ මට්ටමයි. දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වීමෙන් වෙන්නේ එවැනි පොහොසත්, පුළුල් කතිකාවක් නැති වීමයි.

මෙම දැනුම්වත් ප්‍රේක්ෂකයන් නැති වීම නිසා සිදු වන අනික් නරක නම්, නාට්‍ය නිෂ්පාදනය කරන පාර්ශ්වය එනම්, නාට්‍යකරුවා ප්‍රේක්ෂකයා ගැන එතරම් නොසලකා නාට්‍ය නිෂ්පාදනය කිරීමයි. ප්‍රේක්ෂකයන්ගේ විනිශ්චය පිළිබඳව එතරම් බියක් හෝ අදහසක් නැති වී, එය මූලික වශයෙන් ඒකපාර්ශ්වීය කටයුත්තක් බවට පත් වීමයි. එවිට සාමාන්‍යයෙන් නාට්‍යකරුවා පවතින්නේ ගුණාත්මක නාට්‍යය ඉල්ලා සිටින දැනුම්වත් ප්‍රේක්ෂකයකු මත නෙමෙයි. වෙනත් විදියකට කියනවා නම්, ගුණාත්මක වෙළෙඳපොළක් මත නෙමෙයි. ඊට වඩා, නාට්‍යකරුවා පවතින්නට උත්සාහ කරන්නේ නාට්‍යකරුවාගේ පෞද්ගලික බලපුළුවන්කාරකම්, මාධ්‍ය, ආයතන, පෞද්ගලික ගනුදෙනු සහ දේශපාලන සම්බන්ධතා ආදිය හරහායි. ඒ හරහා තමන් හොඳ හෝ සාර්ථක නාට්‍යකරුවෙක් ‌ කියන කාරණය ස්ථාපනය කරන්න උත්සාහ කිරීම හරහායි. නාට්‍යයක් පිළිබඳව ඇති කතාබහ, අදහස් ආදී සියල්ල නාට්‍යකරුවාගේ පාර්ශ්වය පැත්තෙන් පමණක් එක් එක් නාට්‍යකරුවන්ගේ හැකියාව, බලය මත ස්ථාපිත ‌‌වෙන දෙයක් බවට පත් වෙනවා. එවිට නාට්‍යකරුවන් තමන්ගේ නිර්මාණවල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට වඩා මහන්සි වන්නේ අර කී ලෙස තමන්ව වෙනත් අයුරකින් ස්ථාපනය කර ගැනීමටයි. එම තත්ත්වය තුළ කිසියම් නාට්‍යකරුවකුගේ නාට්‍ය කෙතරම් දුර්වල වුණත්, අර කී ලෙස පවතින්නට පුළුවන් නම්, එම නාට්‍යකරුවාට ප්‍රේක්ෂකයාගෙන් අභියෝගයක් නැහැ. මෙම තත්ත්වය තුළ දී සමහර විට කිසියම් නාට්‍යකරුවකුගෙන් ගුණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය වුව ද, එම නාට්‍යකරුවාට ද නාට්‍යය ගුණාත්මක නිසා පමණක් පවතින්නට අපහසු අතර, අර පවතින්නට නම්, පෙර සඳහන් කළ අනිකුත් බලවේගවල  සහයෝගය අවශ්‍යයි. මෙය ගුණාත්මක නාට්‍ය පිළිබඳව කතිකාවක් සහ ඒවා ඉල්ලන වෙළෙඳපොළක් නැති වුණාට පසු ඇති වන එක්තරා පිරිහුණු තත්ත්වයක් විදිහට අපිට දකින්න තියෙනවා. එනම්, ප්‍රේක්ෂකයාට කතිකාවන් ගැන එතරම් උනන්දුවක්, උද්‍යෝගයක්, නාට්‍ය කලාව පිළිබඳ ප්‍රමාණවත් දැනුම්වත් බවක් සහ  පුළුල් විචාර කලාවක් බලවත්ව නැති කල නාට්‍යකරුවාගේ පැත්තෙන් පමණක් නාට්‍ය නිෂ්පාදනය කර තම  නාට්‍ය කලාව විවිධ ලෙස ස්ථාපනය කරන්න කරන අරගලයක් ලෙසට එහි හැඩය නිර්මාණය වෙනවා. අද වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව විශාල වශයෙන් මෙම තත්ත්වයට පරිවර්තනය වෙමින් තියෙන බව අපට දකින්නට පුළුවන්.

එම තත්ත්වයට පත් වූ පසු බොහෝ විට විචාරය ලෙස ලියැවෙන, කියැවෙන දේවල් ද ඇතුළුව නාට්‍ය කලාව පිළිබඳ කතිකාව ඇත්තේ නාට්‍යවල ගුණ-දොස්වලට වඩා නාට්‍යකරුවන්ගේ චරිත ලක්ෂණ පෞද්ගලික ස්වභාවයන්, ඔවුන්ගේ හොඳ, නරක වැනි දේවල් සහ සම්මාන වරප්‍රසාද ආදී භෞතික අත්පත් කර ගැනීම් ගැනයි.  අපට බොහෝ විට නාට්‍යකරුවන්ව පිළිගන්නයි කියන්නේ, ඔවුන්ගේ නිර්මාණවලට වඩා ඔවුන්ගේ පෞද්ගලික ගතිගුණ සහ වෙනත් කාරණා නිසයි. උදාහරණයකට, නිහතමානීකම, කැපවීම, මුදල් ගැන නොසිතීම, ප්‍රදේශයට, ගමට හෝ භූමියට ඇති බද්ධතාවය, අවංකභාවය සහ දුක්කම්කටොළු, වේදනා දරා ගැනීමට ඇති හැකියාව. මෙන්න මේ ආදියට සමාන යම් පෞද්ගලික ගුණ යහපත්කම් ගැනයි, විවිධ අයුරින් ඒවායෙන් ගම්‍ය කරන්නේ. කලා කෘතිය යම් විචාරයකට භාජනය කරනවාට වඩා කෙනකුගේ මෙම පෞද්ගලික ගතිගුණ, ස්වභාවයන් අපට හරියටම පරීක්ෂා කර බලන්නට බැරි තරම් විවාදාත්මක අඩවියක්. ඇත්ත වශයෙන්ම ගුණාත්මක වෙළෙඳපොළක් සහ දැනුම්වත් ප්‍රේක්ෂකයකු වෘත්තීය නාට්‍ය කලාවක් තුළ  ඇති වූ පසු මුලින්ම වැදගත් නැති දේ බවට පත්වෙන්නේ නාට්‍යකරුවාගේ මනුෂ්‍යයකු ලෙස ඇති මෙම විවාදාත්මක පෞද්ගලික  චරිත ස්වභාවයයි. එවිට ප්‍රේක්ෂකයාට වඩා වැදගත් වෙන්නේ,  මුදලට සරිලන ගුණාත්මක නිෂ්පාදනයක් පමණයි. නාට්‍යකරුවාට මොන හෝ සුවිශේෂ පෞද්ගලික ගතිස්වභාවයක් ඇත් නම්, ඒවා වැදගත් වන්නට ඉඩ ඇත්තේ, නාට්‍යකරුවා අතින් ගුණාත්මක නිෂ්පාදනයක් බිහි වෙනවා නම් පමණයි. නැත්නම්, එවැනි ගතිගුණ නාට්‍ය නොකරන්නන්ටත් තිබෙන බව අපි දන්නවා.

කෙසේ හෝ දැනුම්වත් ප්‍රේක්ෂකයකු නැති වීම නිසාත්, ඒ හරහා දියුණු විචාරයක් නැති වීම නිසාත්, නාට්‍යකරුවාගේ පාර්ශ්වයේ පිරිස් නිතරම නාට්‍යකරුවන්ගේ නිෂ්පාදනවල අඩුපාඩු නිවැරැදිව විචාරයට ලක් නොකිරීම නිසාත් සිදු වී ඇත්තේ, එම නාට්‍යකරුවන්ට හොඳක් නොව නරකක්. ප්‍රතිඵලය එවිට නාට්‍යකරුවා නොමඟ ගොස් නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය පහළට වැටීමයි.

පින්තූරය :ලාස්ට් බස් එකේ කතාව නාට්‍යයේ නළුවා ප්‍රේක්ෂකයන් හා සම්බන්ධ වෙන මොහොතක් එල්ෆින්ස්ටන් රඟහලේ දී. ඡායාරූපය චමින්ද උපසේන.


Friday, January 14, 2022

දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්නය

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 7

යම් නාට්‍ය කලාවක හදවත ලෙස සැලැකිය හැක්කේ ප්‍රේක්ෂකයායි, හරියට ඕනෑම නිෂ්පාදනයක ද හදවත  පාරිභෝගිකයා වගෙයි. ප්‍රේක්ෂකයා බලවත් නොවූ කල ඒ නාට්‍ය කලාව පිරිහෙනවා.

පසුගිය ලිපි හරහා මම මතු කරපු කාරණයක් තමයි, නාට්‍ය කලාවක් පවතින්නට නිර්මාණකරුවා, වෙළෙන්දා හෙවත්  ඉදිරිපත් කරන්නා සහ ප්‍රේක්ෂකයා යන තුන්දෙනාගේ භූමිකාවල වැදගත්කම සහ එම භූමිකා තුනේ පැවැත්ම වෘත්තීයව තහවුරු කිරීමේ වැදගත්කම. අන්න එතැන දී ප්‍රධාන භූමිකාව කරන දැනුම්වත් ප්‍රේක්ෂකයා (Informed Viewer) යනු කවුද යන්න තේරුම් ගැනීමට මෙම ලිපිය වෙන් වෙනවා.

මේ දැනුම්වත්  ප්‍රේක්ෂකයා (Informed Viewer) හෝ දැනුම්වත් පාරිභෝගිකයා (Informed Consumer) ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අපට ගන්න පුළුවන්. උදාහරණයකට, හොඳ ඇඳුම් මොනවද කියලා දන්නා පාරිභෝගිකයෙක් ඉන්නවා. ඇය රුපියල් විසිදාහක් දීලා හොඳ ඩෙනිම් කලිසමක් ගන්න කොට බැලූබැල්මට එම ඩෙනිම් කලිසම වගේම පෙනෙන ලෙස නිර්මාණය කර විකුණන බොරු ඩෙනිම් කලිසමක් රුපියල් දෙදාහකට ඇඳුම් ගැන දන්නේ නැති කෙනකුට තවත් තැනක විකුණනවා. වාහනයක් ගන්න කොට එහි බ්‍රෑන්ඩ් එකට, එන්ජිමට, වෙළෙඳපොළට සහ භාවිතය ආදියට  අනුව හොඳ නරක බලන්නත් ඒ  සම්බන්ධයෙන් දැනුම්වත් පාරිභෝගිකයා දන්නවා. විවිධ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළෙන් ගන්න ගියාම ඒ ඒ භාණ්ඩය සහ විෂයයට අනුව නිවැරැදිව හොඳ නරක වටිනාකම් බලන්න දන්න  දැනුම්වත් පාරිභෝගිකයෙක් ඉන්නවා. ඒ සමඟම ඒ සියලුම භාණ්ඩ සම්බන්ධයෙන් ද එතරම් දැනුම්වත්භාවයක් නැති පාරිභෝගිකයෙක් ද ඉන්න බව අපි දන්නවා.

මෙය පැහැදිලි කිරීමට ගන්න එක් හොඳ උදාහරණයක් තමයි, විශේෂයෙන් කොළඹ කේන්ද්‍රීය ඉහළ මැද පන්තියේ වෙළෙඳපොළ ඉලක්ක කර ගත්ත ඇඳුම් කඩ. මේ සියලුම ඇඳුම් ගුණාත්මකභාවයෙන් ඉහළ වන අතර විලාසිතාවලින් ද කිසිදු යල්පැනගිය ඇඳුමක් ඔවුන් විකුණන්නෙ නැහැ. ඇඳුම්වල විලාසිතා යල්පනිනවාත් සමඟම ඔවුන් ඒවා ඉවත් කර අලුතින් ආපු නූතන විලාසිතා ඇතුළත් කරනවා. අමුද්‍රව්‍යවලින් වර්ණ, නිමානිමාව ආදී විලාසිතාවලින් එම ඇඳුම් නිෂ්පාදනය කර ඇත්තේ, ඉතාම හොඳින් ඒ පිළිබඳව දන්නා, රවට්ටන්න බැරි පාරිභෝගිකයකුටයි. මේ පාරිභෝගිකයා බොහෝවිට විවිධ විදේශ රටවල ද සැරිසරන ඒවායෙන් ද ඇඳුම් මිල දී ගන්නා ඉහළ නිරීක්ෂණයක් තියෙන අත්දැකීම් ඇති පාරිභෝගිකයෙක් බැවින්, එම භාණ්ඩවල ගුණාත්මකභාවය ද ජාත්‍යන්තර මට්ටමේ පවතිනවා. කෙසේ හෝ ඒ තමයි, දැනුම්වත් පාරිභෝගිකයා.

මෙසේ දැනුම්වත් කියන කොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැනුම්වත් කියන්නේ, කොයි තරම් දැනුම්වත් වෙන්න ඕනෙ ද කියලා. මෙය එතරම් සංකීර්ණ කර ගන්න අවශ්‍ය නැහැ, ඕනෑම භාණ්ඩයක් පරිභෝජනයට ලබා ගන්න කොට එහි හොඳ නරක, ගුණ අගුණ, වටිනාකම් පිළිබඳව සාපේක්ෂ වශයෙන් අවබෝධයක් ඇති පාරිභෝගිකයෙක් ඉන්න බව අපි දන්නවා. එය නාට්‍යයකට එන විට, පුළුල් අර්ථයෙන් නාට්‍යයක් කියන්නේ ඇත්තටම මොකක් ද? එහි සංකේත, යටිපෙළ, දෘෂ්ටිවාද ආදිය ඇති බවත් එය විවිධ ආකෘති සහ ප්‍රවේශවලින් තමන් හා සම්බන්ධ විය හැකි බවත් ආදී නාට්‍යයක් රසවිඳීමේ දී හමු වන මූලික සංකීර්ණතා පිළිබඳ අවබෝධය. නාට්‍යයක රංගනය පිටපත ඇතුළු අනිකුත් අංග ඇතුළත්ව එහි සාර්ථක, අසාර්ථක බව හොඳින් නිරීක්ෂණය කරන්නට හැකි බව ආදිය පෙන්නලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නාට්‍ය රසය, ආස්වාදය හොඳින් හඳුනන එවැනි දැනුම්වත් ප්‍රේක්ෂකයෙක් විචාර ආදිය කියවමින් යාවත්කාලීන වෙමින් යම් උනන්දුවකින්, කුතුහලයකින් නාට්‍ය කලාව සමඟ බද්ධවෙලා ඉන්නවා. නැවතත් මේ තත්ත්වය ඕනෙම පාරිභෝගික භාණ්ඩයකට, චිත්‍රපටිවල සිට සාහිත්‍යය දක්වා ඕනෑම කලා භාවිතාවක් සම්බන්ධයෙන් අදාළ කරන්න පුළුවන්. (තිසාහාමි නාට්‍ය කලාව ගැන දන්නේ නැති වීම නිසා කිසිම අවතක්සේරුවකට ලක් වෙන්නේ නැහැ. නමුත්, ඔහුත් ටිකට් පතක් මිල දී ගෙන නාට්‍යය නරඹන්නට එනවා නම්, නාට්‍ය කලාව පිළිබඳව දැනුම්වත් වීම අවශ්‍ය වෙනවා. හරියට හොඳ දුන්න සහ නරක දුන්න මොකක් ද කියන අවබෝධය ඔහුට අවශ්‍යයි වගේ.)

එතකොට කිසියම් ක්‍ෂේත්‍රයක් තුළ මේ දැනුම්වත් පාරිභෝගිකයන් කොයි තරම් ඉන්නවා ද? දැනුම්වත් පාරිභෝගිකයාගේ හඬ කොයි තරම් බලවත් ද? ඒ තරමටම ඒ ක්‍ෂේත්‍රය වර්ධනය වනවා. නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආරක්ෂා වෙනවා.

 නාට්‍ය කලාව වඩා ම දියුණු රටවල අපිට දකින්න තියෙන  විශේෂත්වයක් නම්, ඉතා විශාල දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා කියන එක. එම නිසාම ප්‍රේක්ෂකයාට විශාල හඬක්, බලයක් තියෙනවා. මෙහි ප්‍රතිඵලය නම් එහි දී නාට්‍යකරුවාට හෝ එය ඉදිරිපත් කරන නාට්‍ය සමාගමට ප්‍රේක්ෂකයන් සමඟ පිස්සු කෙළින්න බැරි වීම. සමස්තයක් ලෙස පාරිභෝගිකයාගේ අයිතීන් ද සහිතව එම රටවල සිටින මේ දැනුම්වත් පාරිභෝගිකයා තමන් වියදම් කරන මිලට සාපේක්ෂ භාණ්ඩයේ වටිනාකම නිතරම හොඳින් ගණන් බලන්න දන්න කෙනෙක් බැවින්, වෙළෙන්දා ද පෙරළා මේ ගැන සැලැකිලිමත්ව තමයි, භාණ්ඩය ඉදිරිපත් කරන්නේ. අය කරන මිලට සාපේක්ෂව භාණ්ඩයේ ගුණාත්මකභාවයත් ආරක්ෂා කරන්න තිබෙනවා කියන එම වගකීම වෙළෙන්දාට තියෙනවා. මිලට සාපේක්ෂව භාණ්ඩයේ කිසියම් දෝෂයක් තියෙනවා නම්, එය ආපසු දී මුදල් ලබා ගැනීමට ඇති අයිතිය පාරිභෝගිකයා සම්බන්ධයෙන් එම රටවල තහවුරු කරලා තියෙන්නෙ. (නාට්‍ය කලාව කර්මාන්තයක් බවට පත් වූ පසු ගුණාත්මකභාවය ආරක්ෂා වීම සම්බන්ධයෙන් මෙය උදාහරණයක් විදිහට මතක් කරන්න පුළුවන්.) කෙසේ හෝ මේ නිසා අර ඉහළ මැද පාන්තික ඇඳුම් කඩේ පාරිභෝගිකයා මෙන් ප්‍රේක්ෂකයා පාරිභෝගිකයකු ලෙස අතිශයින්ම බලවත්. එම රටවල බලවත් විචාර කලාවක් ද පවතින අතර, විචාරකයා ද වැටෙන්නේ දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ ගොඩටයි. ඇත්ත වශයෙන්ම විචාරකයා කියන්නේ ද දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ ම හඬයි. මේ දැනුම්වත් ප්‍රේක්ෂකයාගේ පැත්ත කෙතරම් පිරිහිලා ද, එතරම්ම විචාර කලාව ද පිරිහිලා තිබීම අපට නිතරම දකින්න පුළුවන් වන්නේ මේ නිසයි.

ඒ වගේම අපි මතක තියා ගත යුතු කරුණ වන්නේ මේ දැනුම්වත් ප්‍රේක්ෂකයා කියන කෙනා නාට්‍ය නිෂ්පාදන කරපු පමණින් හෝ නාට්‍ය කලාවේ සිටි පමණින්වත්, නාට්‍ය කලාව විෂයයක් වශයෙන් ඉගෙන ගත් පමණින් වත් ඇති වෙන්නේ නැහැ. නැවතත් ඇඳුම්වලින් ම කියනවා නම්, ඇඳුම් අඳින්නේ නැති, ඇඳුම් මිල දී ගන්නේ නැති කිසිම කෙනෙක් නෑ. නමුත්, එයින් අදහස් කරන්නේ නෑ ඇඳුම් ඇඳීම නිසා ඇඳුම් නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුම්වත් පාරිභෝගික තත්ත්වයක් ඇති වෙනවා කියලා.

ලෝකයේ ඇති ඕනෑම නාට්‍යයක් අරගෙන නිරීක්ෂණය කරන විට අපට පෙනී යනවා එම නාට්‍යකරුවා සවිඥානකව හෝ අවිඥානකව තම  නාට්‍යය යොමු කරන්නේ රසයෙන්, අධ්‍යාපනයෙන්, බුද්ධි මට්ටමෙන් ආදියෙන් කවර නම් ප්‍රේක්ෂකයකුට ද කියලා. උදාහරණයකට, ‘මනමේ’ නාට්‍යයම ගතහොත්, එහි ඇති විශේෂ  සංස්කෘත සහ කාව්‍යමය භාෂාව, සංකේත, මූලාශ්‍ර, රිද්ම තාල රටා සහ යටිපෙළ ආදිය හරහා සමස්තයක් ලෙස නිෂ්පාදනය කරන්න හදපු රසය සහ අර්ථය  ආදී සියල්ලම බලන කොට පෙනී යන්නේ එය එවකට හිටි ගැමි මූලයන් තියෙන නාගරික බුද්ධිමත් සමාජය කියලා සාමාන්‍යන් හඳුනා ගන්න උගත් සිංහල බූර්ෂුවා මැද පන්තියට කර ඇති බව. එම නාට්‍යය හොඳ, සාර්ථක නාට්‍යයක් කියලා වැළඳ ගැනීමට අවශ්‍ය දැනුම, රසය, අවබෝධය ඒ ප්‍රේක්ෂකයන්ට තිබුණු අතර, ඔවුන් එම නාට්‍යයේ දැනුම්වත් ප්‍රේක්ෂකයා විදිහට ගන්න පුළුවන්. එම නාට්‍යයේ සාර්ථකත්වය පිළිබඳව කතිකාව ගොඩනැඟෙන්නෙ ඔවුන් තුළයි. නමුත්, ඒ අවබෝධය එම නාට්‍යයටම මූලාශ්‍ර වුණු ගැමි අමුද්‍රව්‍ය ඇති සාමාන්‍යයෙන් නාට්‍ය නොනරඹන ගැමියාට තිබුණෙ නැහැ. ‘මනමේ’ නාට්‍යය මෙතරම් විශාල හඳුනා ගැනීමකට ලක් වන්නේ මේ කී දැනුම්වත් ප්‍රේක්ෂකයා නිසා මිසක් අර ගැමියා නිසා නෙමෙයි. පසුකාලීනව ‘මනමේ’ නාට්‍යයේ සීමාවන් සම්බන්ධයෙන් යම් විචාරශීලී කතිකාවක් ගොඩනැඟෙන්නේ ද මෙම දැනුම්වත් ප්‍රේක්ෂක ධාරාව තුළමයි. කෙසේ හෝ මෙම නාට්‍යය එවකට සාම්ප්‍රදායික ‘මනමේ’ නාඩගම පමණක් දන්නා ප්‍රේක්ෂකයන්ට පමණක් නම් පෙන්නුවේ, ඔවුන් සමහර විට මෙය ‘මනමේ’ නාඩගම තරම් සාර්ථක නොවූ එය විකෘති කර හැදූ වෙන මොකද්ද ප්‍රසංගයක් කියලා හඳුන ගන්න පවා ඉඩ තිබුණා.

 කෙසේ හෝ කොළඹ  ආදී ප්‍රධාන නගර ආශ්‍රිතව යම් දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයක් ශ්‍රී ලංකාවේ සිටිනවා. එය කලින් කලට අඩුවැඩි වෙමින් ක්‍රියාශීලී සහ අක්‍රියශීලී වෙමින් පවතිනවා. නමුත්, අවාසනාවට මෙම දැනුම්වත් ප්‍රේක්ෂකාගාරය අතිශයින්ම සුළු පිරිසක් වන අතර කෙතරම් සුළු දැයි කියනවා නම්, එය ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට බලපෑමක් කරන්න බැරි තරමට මේ වෙන කොට සුළු පිරිසක් වෙලා ඉන්නවා. ඒ වගේම බොහෝ කලෙක සිට ගුණාත්මක නාට්‍ය නිතර නිෂ්පාදනය නොවීමේ හේතුවෙන් ඔවුන් අතිශයින්ම අක්‍රියශීලී වෙලා ඉන්නවා. එබැවින්, ශ්‍රී ලංකාවේ නාට්‍ය අර්බුදය ගැඹුරින් කතා කරන කොට එවැනි බලවත් දැනුම්වත් ප්‍රේක්ෂකාගාරයක් දැන් අපට නැතැයි කියා කතා කිරීම අතිශයෝක්තියක් නෙමේ. මම එසේ නැතැයි කියා සලකන්නේ එවැනි ප්‍රේක්ෂකාගාරයක් නැත්නම් එය ඇති කිරීමට කළ යුත්තේ කුමක් ද කියන කතිකාව මතු කිරීමේ සුබවාදී අදහසින් විනා අසුබවාදී අදහසින් නොවේ. මම ඒ සුළු පිරිස හෝ නැතැයි කියන අදහසින් ගන්නේ ‘අවසන්’ කියන අදහසට වඩා ඔවුන් නාට්‍ය කලාව සම්බන්ධයෙන් නිද්‍රාගත, අක්‍රිය තත්ත්වයට පත්ව සිටීමයි. නාට්‍ය කලාව සම්බන්ධ සංවර්ධනයේ දී ප්‍රේක්ෂකයා ගැන හිතන විට  ඉලක්ක කළ යුත්තේ  කිසි දිනක නාට්‍යයක් නරඹන්නට ආපු නැති අය පිරිහී ඇති නාට්‍ය කලාවට ගේන්නේ කෙසේ ද කියන එකට වඩා මෙම දැනුම්වත්, නිද්‍රාගත ප්‍රේක්ෂකයා යළි ක්‍රියාශීලී කර ගන්නේ කෙසේද කියන එකටයි. එය මුළුමනින් ම රඳාපවතින්නේ නාට්‍යවල ගුණාත්මකභාවය ඉහළට ගෙන එමින්, නාට්‍ය කලාව පිළිබඳ කතිකාව උණුසුම් කිරීම හරහායි. නමුත්, අවාසනාවට එකී කටයුත්ත ගැඹුරු සමාජ, දේශපාලන ප්‍රශ්නයක් ලෙසටයි පවතින්නේ. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය සාකච්ඡා කරමින් අපි උත්සාහ කරන්නේ ද එම ප්‍රශ්නයට ද යම් පිළිතුරක් හොයා ගැනීමට හැකි වේ දැයි බලන්නයි.

 කෙසේ හෝ අවසානයේ දැනුම්වත්, ප්‍රබල ප්‍රේක්ෂකයෙක් නැති වීම නිසා විචාරය ද ඇතුළු නාට්‍ය කලාවේ පිරිහීම ඇතිවෙලා තියෙන ආකාරය ඊ ළඟ ලිපි වලින් අපි සාකච්ඡා කරමු.

පින්තූරය: ඉතාලියේ කුඩා වෙට්රිආනෝ රඟහල (Teatrino di Vetriano) මෙය ලොව කුඩාම ඓතිහාසික (සාම්ප්‍රදායික) රඟහල ලෙස 1997 ගිනස් වාර්තා පොතට එක් වූ රඟහලයි. හතරැස් අඩි 765ක උපරිම 85 දෙනකුට පමණක් අසුන් ගත හැකි  මෙම රඟහල මුලින්ම ඉදි කරන ලද්දේ 1890දීයි.  මෙය එය බිහිවුණු යුගයේ සම්මත රඟහලක තිබුණු කුඩා බැල්කනියක් ඇතුළු සියලුම අංගවලින් යුක්තයි. එවකට එම ගමේ මිනිසුන්ට රඟහලක් අවශ්‍ය වී තිබුණු වෙනත් ගොඩනැඟිල්ලක්  පරිවර්තනය කර මෙය ගොඩනඟා ඇති අතර, එවකට සෑම ප්‍රේක්ෂකයෙක් ම නාට්‍ය නරඹන්නට ආවේ තමන්ට ඉඳගන්න පුටුවක් ද අරගෙනයි. පසු කාලයේ මෙය තරමක් අබලන් වී නැවත 1997දී ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මීටත් වඩා කුඩා රඟහලවල් වර්තමානයේ සුලබ නමුත්, එවකට ඇති සම්ප්‍රදායයට අනුව ඓතිහාසිකව ගොඩනැඟුණු ලොව කුඩාම රඟහලකට දැනට ඇත්තේ මෙයයි.


නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්