Wednesday, January 5, 2022

නාට්‍ය සංස්කෘතියක ප්‍රශ්නය

 

ශ්‍රී ලාංකේය නාට්‍ය කළාවේ අර්බුදය 2

ආදී ග්‍රීක යුගයේ ඇතැන්ස් සිට වර්තමානයේ බ්‍රෝඩ්වේ දක්වා ලෝකයේ සියලුම දියුණු නාට්‍ය කලාවන් බිහි වුණේ සංස්කෘතික සහ වෙළෙඳ ගනුදෙනු වලින් බාහිර ලෝකයට වඩාම විවෘත වූ රටේ වඩාම කාර්යබහුල දියුණුම නගර මුල් කරගෙනයි. මෙතැනදී ‘නාට්‍ය නැරඹීම’ යනුවෙන් අදහස් කරන්නේ අභිචාරී යාගහෝම හෝ ආගමික ක්‍රියාකාරකම් වල ඇති රංගනමය අවස්ථාවන් වලට සම්බන්ධවීම නෙමෙයි. රංග කලාව ඒ සියලුම අභිචාරී ක්‍රියාකාරකම්වලින් බිදී ස්වාධීන ( Autonomous ) කලා මාධ්‍යයක් විදිහට වර්ධනය වූ පසු ප්‍රේක්ෂකයින් නාට්‍ය නැරඹීමයි. ඒ කී නාට්‍යය නැරඹීම වර්ධනය වූ නගරවල නැතහොත් එම පරිසරයන් වල තිබුනු සුවිශේෂත්වය වන්නේ ඒවා සංගීතයේ සිට සාහිත්‍යය දක්වා අනිකුත් කලාවන් ද දර්ශනයේ සිට දේශපාලනය දක්වා තවත් විවිධාකාර මතවාද සහ කතිකාවන්ද එක හා සමානව අභ්‍යාස කරන තෝතැන්නක් බවට පත් වී තිබීමයි. වෙනත් විදිහකට කියනවා නම් නාට්‍ය සංස්කෘතිය වර්ධනය වෙන්නේ අන්න ඒ පුළුල් කතිකාව මැදයි. මුළු බටහිර නාට්‍ය කලාවටම බලපෑමක් කරපු ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය පවා ක්‍රිපූ 335 දී පමණ (Poetics) බිහි වෙන්නෙ ග්‍රීක නාට්‍ය කලාවේ සියලුම සංස්කෘතික අභ්‍යාසවල උපරිම අවස්ථාවේදීයි. ඒ ග්‍රන්ථය පවා අධ්‍යයනය කරනවට අපට පෙනී යන්නේ එය හුදෙක් නාට්‍යය නිෂ්පාදන වලින් පමණක් බිහි වුණු දෙයක් නෙමෙයි ඊට වඩා පුළුල් කලා සහ දාර්ශනික කතිකාවක් තුළින් බිහිවුණු කෘතියක් බවයි. කෙසේ හෝ ඉතිහාසය පුරාම නාට්‍ය නැරඹීම පැවතිලා තියෙන්නේ මූලික වශයෙන් නාගරික සංස්කෘතික ක්‍රියාකාරකමක් විදිහටයි. මෙසේ ලෝක නාට්‍ය කලාවට වඩාම බලපෑමක් කරපු ප්‍රකට නාට්‍ය සංස්කෘතීන්ගෙන් කීපයක් තමයි ඇතැන්ස්, ලන්ඩන් ( වෙස්ට් එන්ඩ්) නිව් යෝර්ක් (බ්‍රෝඩ්වේ, ඕෆ් බ්‍රෝඩ්වේ) බර්ලින්, මොස්කව් ,පැරිස්, එඩින්බර්ග් ආදී නගර කේන්ද්‍රිත නාට්‍ය කලාව.


ඒ වගේම මෙම දියුණු නාට්‍ය සමාජයන් දිහා බලන කොට අපට පෙනී යන්නේ නාට්‍ය නැරඹීම කියන කාරණය සංස්කෘතික පුරුද්දක් ලෙසට නිතරම රඟහලක් කේන්ද්‍රකරගෙන වර්ධනය වී ඇති බවයි. එම සංස්කෘතික පුරුද්ද නොපවතින තැන්වල ඊට සාපේක්ෂව දියුණු නාට්‍ය කලාවක් ද නොපවතින බව පෙනෙන්න තියෙනවා. එතනදී නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් යනුවෙන් අදහස් කරන්නේ නාට්‍ය නැරඹීමට යාම පල්ලි හෝ පන්සල් යාම මෙන් හුරු පුරුද්දක් ලෙසට කෙනකුගේ ජීවිතයේ සමාජශීලී වීමේ කොටසක් වීමයි.

විශේෂයෙන් බටහිර නාට්‍ය කලාවේ නාට්‍ය නරඹන ස්ථානය වූ රඟහලක් යනු බොහෝ විට නාට්‍ය නැරඹීමේ මුල්කරගෙන මිනිසුන් හමුවන ඔවුන් සමාජශීලී වන සංකීර්ණ සංස්කෘතික අවකාශයක්. සාමාන්‍යයෙන් එවැනි රඟහලක් තුළ මිලදී ගැනීමට හෝ කියවීමට පොත්, කෝපි හෝ බියර් වයින් වැනි දෙයක් බීමට පබ් එකක් වැනි යම් නිදහස් තැන්, සමහර විට රඟහලට ආවේණික කෞතුකාගාරයක් සහ කලාගාරයක් වැනි පහසුකම් ද ඇති අවකාශයක් තියනවා.

අපි දන්නවා කලා ආශ්වාදයේ ඇති එක්තරා නෛසර්ගික ලක්ෂණයක් නම් අපට යම් කලා ආශ්වාදයක් ලබා නිහඩව ඉන්නට අපහසු වන අතර එහි ගුණදොස් තව කෙනකු සමඟ බෙදාගන්නට අවශ්‍යයි.. කෘතිය වඩා පුළුල්ව තේරුම් ගැනීමටත් ඒ හරහා අපගේ ජීවන අවබෝධය සහ ආශ්වාදය වැඩි කිරිමටත් මේ කතිකාව ඉතා වැදගත් වෙනවා. කලා කෘතිය ද ඒ හරහා විචාරයකට ලක් වෙනවා. මෙම පරිසරය තුළ ඇතිවන විශේෂම දේ නම් මිනිසුන් එකිනෙකා ආශ්වාදජනක ලෙස ( නාට්‍ය නම් ) මානව අත්දැකීමක් මුල් කරගෙන හමුවීමයි. සාමාන්‍යයෙන් නිතර නාට්‍ය නරඹන හමුවන සමාජයන් වල මිනිසුන් අතරේ ඔවුන්ටම ආවේණික ජීවිතය පිළිබඳව වඩා විමුක්තිකාමී සහ පර්යේෂණාත්මක අදහස් ඇති ඉතා රසවත් උප සංස්කෘතික ලක්ෂණ පවා ගොඩනැඟී තියෙනවා.

දැන් අපි ශ්‍රී ලංකාව දිහාට හැරෙමු. ශ්‍රී ලංකාවේ නාට්‍ය සංස්කෘතිය පමණක් නෙමෙයි සමස්තයක් ලෙස සංස්කෘතික ජීවිතය සම්බන්ධයෙන්ම වැරදුනු එක්තරා තැනක් මෙතැනදී අපිට හඳුනා ගන්න සිද්ද වෙනවා. ඒ තමයි නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ආකෘතිය නිර්මාණය කරන කොටම ඒ සංස්කෘතික ජීවිතය කියන දේ පිළිබඳව පුළුල් අවබෝධයක් කිසිවෙකුට තිබිලා නැති වීම. මෙතැනදී සංස්කෘති ජීවිතයක් යනුවෙන් අදහස් කරන්නේ ක්‍රීඩාවේ සිට කලාව දක්වා – කෝපි බීමේ සිට පෙම්වතුන් ගේ හමුවීම් දක්වා- සෑම වයස මට්ටම් වල මිනිසුන් ට එකිනෙකා හමු වීමට සමාජශීලී වීමට ලබාදෙන්නා වූ ක්‍රියාකාරකම් සහ අවකාශයයි. ජපානය ඇතුළු බොහෝ බටහිර යුරෝපීය රටවල් නූතනකරණය ට ලක්වීමත් සමග ඔවුන්ට සාම්ප්‍රදායිකව තිබුණු එවැනි සංස්කෘතික අවකාශයන් පවා නූතන සමාජය තුළ සංස්කෘතික අභ්‍යාස යන අර්ථයෙන් සුරක්ෂිත කිරීමට විවිධ පියවර ගත්තා. උදාහරණයකට,ඒ රටවල් වල සුපර්මාකට් වැනි විශාල වෙළඳපොළවල් නිර්මාණය වෙද්දිම ගමේ තිබුණු කුඩා පොල ඔවුන් නැති කරගත්තේ නෑ. අදත් ගමේ පොළ විනෝදයට වගාකරන සහ සුළු නිෂ්පාදන කරන වෘතීය වෙළෙන්දන් නොවන අයගේ නිෂ්පාදන අලෙවි කිරීමට ඇති අහල පහල අය සමාජශීලී වීමට හමුවන සංස්කෘතික ක්‍රියාකාරකමක් විදිහට රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන් පවත්වාගෙන යනවා. පත්තරේ කියවමින් කෝපි බොන්ඩ හමුවුන තැන තවමත් නූතන කැෆේ වර්ග ලෙසට පරිවර්තනය වී ඒ ක්‍රියාකාරකම් සමගම පවතිනවා. ශ්‍රී ලංකාවේ ද තිබුණ කඩමණ්ඩියට ගොස් තේ හෝ කෝපි බිබී දාන් ඇඳීමේ සංස්කෘතිය, ඒ වගේම අපට තිබුණා පසුකාලීනව ගොඩනැඟුණු එක්තරා දියුණු වොලිබෝල් සංස්කෘතියක්, ගමේ ගැහැණු පිරිමි සියලුම දෙනා එක්ව හවසට වොලිබෝල් ගහමින් නරඹමින් සමාජශීලි වුණා. මේවාය් සංස්කෘතික ජීවිතයකට ඇති වටිනාකම් තේරුම් ගෙන සුරක්ෂිත කිරීමට විශේෂ සැලැස්මක් රජයට තිබුණෙ නැහැ. නාට්‍ය කලාව විෂයක් සහ සංදර්ශනයකට වඩා එහා ගොස් සංස්කෘතික අභ්‍යාසයක් විදියට පුළුල්ව තේරුම් නොගන්නේත් මේ සන්දර්භය තුළයි.

ඒ අනුව නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් විදිහට කල්පනා කර නිර්මාණය කරපු එකදු රඟහලක්වත් ශ්‍රී ලංකාවේ නැති බව කිව යුතුයි. සාමාන්‍යයෙන් නාට්‍ය සඳහා වඩාත්ම උචිත රඟහලක් විදිහට බිහිවුණේ ලයනල් වෙන්ඩ්ට් පමණයි. අනිත් බොහෝ තැන් වල නාට්‍ය පෙන්වුයේ එක්කෝ පාසල් ශාලාවල එහෙම නැත්නම් වෙනත් වැඩ සඳහා හදපු ප්‍රජා ශාලා සහ ශ්‍රවණාගාර වලයි. නාට්‍යයක් පෙන්වීම සඳහා සුදුසු වාස්තවිකත්වය නැති වීමටත් වඩා මෙම රංග ශාලා වල ඇති අර්බුදය නම් ඒවා තුළ අර පෙර කී ලෙස නාට්‍ය සංස්කෘතියක් ගොඩනැගෙන්නට හැකියාවක් නැති වීමයි. සාමාන්‍යයෙන් නාට්‍යයක හොඳම හරිය ආරම්භ වන්නේ නාට්‍යයෙන් පසු නළුවන් සහ ප්‍රේක්ෂකයින් වැළඳගෙන දොඩමළු වෙන මොහොතේ නමුත් ඒ මොහොතේ තමයි අපේ ශාලා මුරකරු යතුරු කැරැල්ලයි කොස්සයි අරන් ඇවිත් අහන්න පටන් ගන්නේ එළියට යන්නේ කීයටද කියලා!
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යාපෘති වැඩසටහන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන නමුත් අවාසනාවට ඒවා නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් බවට පත් කරන්නේ කෙසේද කියන කාරණයට එතරම් අවධානයක් ලබා දීලා නැති බවයි පෙනෙන්නේ. විශේෂයෙන් ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ නැත්නම් කළ යුත්තේ නාට්‍යය පමණක්ම ප්‍රධානම කාරණය නොවූ සංස්කෘතික පරිසරයක් නාට්‍ය නරඹන තැන ඇති කිරීමයි. එවැනි පරිසරයක් ඇති වූ පසු ක්‍රමයෙන් ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය වීමට එය පසුබිමක් වෙනවා. මීට යම් නිදර්ශනයක් කියන්නම් ,ඕස්ට්‍රේලියාවේ තියෙනවා කොමියුනිටි තියටර් cominity කියලා නාට්‍ය කලාවක්. (මෙය විවිධ විදිහට තවත් සමහර බටහිර යුරෝපීය රටවල් වල තියෙනවා.) සාමාන්‍යයෙන් එය තියෙන්නේ නගරයෙන් වඩා ඈතට යන ප්‍රදේශ වලයි. අවම ප්‍රේක්ෂකයින් 25 ක ගේ පමණ සිට සීයක් එකසිය පනහක් පමණ වන අවකාශයන් වල පවත්වාගෙන යන මෙය හඳුනාගන්නෙ වෘත්තීය නාට්‍ය කලාවක් විදිහට නෙමෙයි. මෙයට සම්බන්ධ සියලුම දෙනා අවට ප්‍රදේශයේ පිරිස වන අතර වෙනත් රැකියාවන් කරන අතරේ ඔවුන් හුදු විනෝදාස්වාදය උදෙසා යි මේ නාට්‍ය කලාව කරන්නේ. රාජ්‍ය අනුග්‍රහය ලබන මෙහි ඇති විශේෂත්වය නම් එය නාට්‍යය කුමක් වුවත් ප්‍රදේශයේ කට්ටිය හවසට සෙට් වෙන සංස්කෘතික අභ්‍යාසයක් බවට පත් වී තිබීමයි. හේතුව එම ස්ථානය නාට්‍යය පෙන්වීමට වඩා එහා ගියා වූ සංස්කෘතික අවකාශයක් බවට පත් කර තිබීමයි. මෙය වෘත්තීය නාට්‍ය කලාවට අලුතින් ප්‍රේක්ෂකයින් බිහිකරන සහ ශිල්පීන් කැඳවන එක්තරා මූලස්ථානයක් වෙනවා.

ශ්‍රී ලංකාවේ රජය විසින් කළ යුතුව තිබුණේ සංස්කෘතික ජීවිතය කියන එක සෞඛ්‍ය අධ්‍යාපනය තරම්ම ජනතාවට ‍අත්‍යවශ්‍ය කාරණයක් විදිහට පුළුල්ව තේරුම් ගනිමින් එහි නාට්‍ය යනු ඉතා වැදගත් අංගයක් බවද තේරුම් ගනිමින් ඊට වෙළෙඳපොළ ආකෘතියක් ලබාදෙමින් නමුත් ලාභ නොලබන තැන් වලට අනුග්‍රහය ලබාදෙමින් පවත්වාගෙන යාමයි.( නෙළුම් පොකුණ වැනි ප්‍රසාංගික කලා සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ඒවායේ අරමුණු සහ ආකෘතියෙන් ම නාට්‍ය සංස්කෘතියක් වර්ධනය කිරීමට සහයෝගය දෙන ඒවා නොවන බව ඔබට තේරුම් යා යුතුයි).නාට්‍ය උළෙලවල්, පාඨමාලා පැවැත්වීම සහ විෂයන් විදිහට ඇතුළත් කිරීම ආදියෙන් පමණක් නාට්‍ය කලාවක් සංවර්ධනය වන් නැති බව දැන් තහවුරු වී හමාරයි. ශ්‍රී ලංකාවේ රජයන් නාට්‍ය කලාව සඳහා වෙන් කරන ප්‍රතිපාදන වලටත් වඩා ප්‍රශ්නය වන්නේ නිවරදි අදහස් සංකල්ප සැලසුම් නැතිකම සහ ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට අසමත් වීමයි.

ඉහත අපි සාකච්ඡා කරපු නාට්‍ය සංස්කෘතියක වැදගත්කම ඇසුරින් ශ්‍රී ලංකාවේ නාට්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා දෙකක් දෙස දැන් බලමු.

පළමු යෝජනාව, නාට්‍ය කලාව මුල්කරගත් ප්‍රසාංගික කලා සංකීර්ණයක් කොළඹ නගරයේ ඉදිකිරීම. එය විවිධ ප්‍රමාණයේ රඟහලවල් දෙකක් හෝ තුනක්, විවිධ ප්‍රමාණයේ පුහුණුවීම් ශාලා කිහිපයක්, කලාගාරයක්, රංග කලා කෞතුකාගාරයක්, පොත් කඩයක් ,රංග කලා පුස්තකාලයක් ආපනශාලාවක් සමග බාර් එකක් ඇතුළු නාට්‍ය හා රංග කලාවට මෙන්ම හැකිතරම් අනිකුත් කලා හා ශාස්ත්‍රීය අභ්‍යාස වලට පහසුකම් සලසන දේවල් වලින් යුක්ත විය යුතුයි. එසේම එහි එන යන සියලුම දෙනාට කැමති පරිදි රස්තියාදු ගැසීමට කාලය ගත කිරීමට නිදහස තිබිය යුතුයි. ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය කිරීමට හේතුවන සංස්කෘතික පරිසරයක් සහ දියුණු කතිකාවක් එවැනි තැන්වල ගොඩනැගෙන්නට නියමිතයි. වැඩි දුරටත් අවශ්‍යනම් මෙම ආකෘතියේ ම විවිධ ප්‍රමාණයේ රංග කලා සංකීර්ණ රටේ අනිකුත් ප්‍රදේශ වලද ගොඩනඟන්නට උත්සාහ කළ හැකියි.
දෙවන යෝජනාව, කුඩා ලමුන් නාට්‍ය නැරඹීමේ සංස්කෘතියට හුරු කිරීම. විශේෂයෙන් පාසල් වලට විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව තිබුණාට කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර කුඩා ළමයින් නාට්‍ය නැරඹීම කියන කටයුත්තට සංස්කෘතිකව පුහුණු කළ යුතුයි. සතියේ නිශ්චිත දවසක පාසලේම හෝ ඉන් පිටත සාමූහිකව නාට්‍ය නරඹන්නට යමින් නාට්‍ය නැරඹීම ඔවුන්ගේ පාසලේ සහ ළමා කාලයේ විනෝදජනක සංස්කෘතික අංගයක් බවට පත්කළ යුතුයි. බොහෝ බටහිර යුරෝපීය රටවල් වල මිනිසුන් බස්රථ වල සහ පෝලිම් වල පවා රැඳී සිටින විට පොත් කියවනවා ඔබ දැක ඇති. මිට හේතුව නම් ඉතාම කුඩා කාලයේ සිට පාසල් මට්ටමෙන් විෂයෙන් බාහිර පොත් කියවීම සංස්කෘතික පුරුද්දක් විදිහට ඔවුන්ට හුරු කිරීමයි. ඉන්පසු දෙමව්පියන්ගෙන් ද එය පැවත ඒමයි. ඒ නිසා මෙවැනි අභ්‍යාස ඇති කිරීමට ඉතාම හොඳ කාලය කුඩා කාලයයි.

පින්තුරය: The Tightrope.පීටර් බෲක් (Peter Brook)ශිෂ්‍යයින්ට වැඩමුළුවක් මෙහෙ වන මොහොතක දී ඔහුගේ පුත් සයිමන් බෲක්(Simon Brook) විසින් සඟවපු කැමරා පහකින් පටිගත කර හදපු වාර්තා චිත්‍රපටිය.

No comments:

Post a Comment

නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්