ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අර්බුදය 4
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ වර්තමාන අර්බුදය, එනම් එහි පිරිහීම සම්බන්ධ මගේ අදහස් උදහස් සාකච්ඡා කිරීමටයි මෙම බ්ලොග් පිටුව වෙන් කර තියෙන්නේ. එය 'ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 'නම් සිරස්තලය යටතේ විවිධ මාතෘකා හරහා ඔබට කියවයන්න පුලුවන්.
Wednesday, January 5, 2022
වෘත්තීය නාට්‍ය කලාවක මුලික ආකෘතිය
නාට්‍ය කලාව අනුග්‍රහය සහ පැවැත්ම
නාට්‍ය සංස්කෘතියක ප්රශ්නය
ආදී ග්‍රීක යුගයේ ඇතැන්ස් සිට වර්තමානයේ බ්‍රෝඩ්වේ දක්වා ලෝකයේ සියලුම දියුණු නාට්‍ය කලාවන් බිහි වුණේ සංස්කෘතික සහ වෙළෙඳ ගනුදෙනු වලින් බාහිර ලෝකයට වඩාම විවෘත වූ රටේ වඩාම කාර්යබහුල දියුණුම නගර මුල් කරගෙනයි. මෙතැනදී ‘නාට්‍ය නැරඹීම’ යනුවෙන් අදහස් කරන්නේ අභිචාරී යාගහෝම හෝ ආගමික ක්‍රියාකාරකම් වල ඇති රංගනමය අවස්ථාවන් වලට සම්බන්ධවීම නෙමෙයි. රංග කලාව ඒ සියලුම අභිචාරී ක්‍රියාකාරකම්වලින් බිදී ස්වාධීන ( Autonomous ) කලා මාධ්‍යයක් විදිහට වර්ධනය වූ පසු ප්‍රේක්ෂකයින් නාට්‍ය නැරඹීමයි. ඒ කී නාට්‍යය නැරඹීම වර්ධනය වූ නගරවල නැතහොත් එම පරිසරයන් වල තිබුනු සුවිශේෂත්වය වන්නේ ඒවා සංගීතයේ සිට සාහිත්‍යය දක්වා අනිකුත් කලාවන් ද දර්ශනයේ සිට දේශපාලනය දක්වා තවත් විවිධාකාර මතවාද සහ කතිකාවන්ද එක හා සමානව අභ්‍යාස කරන තෝතැන්නක් බවට පත් වී තිබීමයි. වෙනත් විදිහකට කියනවා නම් නාට්‍ය සංස්කෘතිය වර්ධනය වෙන්නේ අන්න ඒ පුළුල් කතිකාව මැදයි. මුළු බටහිර නාට්‍ය කලාවටම බලපෑමක් කරපු ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය පවා ක්‍රිපූ 335 දී පමණ (Poetics) බිහි වෙන්නෙ ග්‍රීක නාට්‍ය කලාවේ සියලුම සංස්කෘතික අභ්‍යාසවල උපරිම අවස්ථාවේදීයි. ඒ ග්‍රන්ථය පවා අධ්‍යයනය කරනවට අපට පෙනී යන්නේ එය හුදෙක් නාට්‍යය නිෂ්පාදන වලින් පමණක් බිහි වුණු දෙයක් නෙමෙයි ඊට වඩා පුළුල් කලා සහ දාර්ශනික කතිකාවක් තුළින් බිහිවුණු කෘතියක් බවයි. කෙසේ හෝ ඉතිහාසය පුරාම නාට්‍ය නැරඹීම පැවතිලා තියෙන්නේ මූලික වශයෙන් නාගරික සංස්කෘතික ක්‍රියාකාරකමක් විදිහටයි. මෙසේ ලෝක නාට්‍ය කලාවට වඩාම බලපෑමක් කරපු ප්‍රකට නාට්‍ය සංස්කෘතීන්ගෙන් කීපයක් තමයි ඇතැන්ස්, ලන්ඩන් ( වෙස්ට් එන්ඩ්) නිව් යෝර්ක් (බ්‍රෝඩ්වේ, ඕෆ් බ්‍රෝඩ්වේ) බර්ලින්, මොස්කව් ,පැරිස්, එඩින්බර්ග් ආදී නගර කේන්ද්‍රිත නාට්‍ය කලාව.
විශේෂයෙන් බටහිර නාට්‍ය කලාවේ නාට්‍ය නරඹන ස්ථානය වූ රඟහලක් යනු බොහෝ විට නාට්‍ය නැරඹීමේ මුල්කරගෙන මිනිසුන් හමුවන ඔවුන් සමාජශීලී වන සංකීර්ණ සංස්කෘතික අවකාශයක්. සාමාන්‍යයෙන් එවැනි රඟහලක් තුළ මිලදී ගැනීමට හෝ කියවීමට පොත්, කෝපි හෝ බියර් වයින් වැනි දෙයක් බීමට පබ් එකක් වැනි යම් නිදහස් තැන්, සමහර විට රඟහලට ආවේණික කෞතුකාගාරයක් සහ කලාගාරයක් වැනි පහසුකම් ද ඇති අවකාශයක් තියනවා.
අපි දන්නවා කලා ආශ්වාදයේ ඇති එක්තරා නෛසර්ගික ලක්ෂණයක් නම් අපට යම් කලා ආශ්වාදයක් ලබා නිහඩව ඉන්නට අපහසු වන අතර එහි ගුණදොස් තව කෙනකු සමඟ බෙදාගන්නට අවශ්‍යයි.. කෘතිය වඩා පුළුල්ව තේරුම් ගැනීමටත් ඒ හරහා අපගේ ජීවන අවබෝධය සහ ආශ්වාදය වැඩි කිරිමටත් මේ කතිකාව ඉතා වැදගත් වෙනවා. කලා කෘතිය ද ඒ හරහා විචාරයකට ලක් වෙනවා. මෙම පරිසරය තුළ ඇතිවන විශේෂම දේ නම් මිනිසුන් එකිනෙකා ආශ්වාදජනක ලෙස ( නාට්‍ය නම් ) මානව අත්දැකීමක් මුල් කරගෙන හමුවීමයි. සාමාන්‍යයෙන් නිතර නාට්‍ය නරඹන හමුවන සමාජයන් වල මිනිසුන් අතරේ ඔවුන්ටම ආවේණික ජීවිතය පිළිබඳව වඩා විමුක්තිකාමී සහ පර්යේෂණාත්මක අදහස් ඇති ඉතා රසවත් උප සංස්කෘතික ලක්ෂණ පවා ගොඩනැඟී තියෙනවා.
දැන් අපි ශ්‍රී ලංකාව දිහාට හැරෙමු. ශ්‍රී ලංකාවේ නාට්‍ය සංස්කෘතිය පමණක් නෙමෙයි සමස්තයක් ලෙස සංස්කෘතික ජීවිතය සම්බන්ධයෙන්ම වැරදුනු එක්තරා තැනක් මෙතැනදී අපිට හඳුනා ගන්න සිද්ද වෙනවා. ඒ තමයි නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ආකෘතිය නිර්මාණය කරන කොටම ඒ සංස්කෘතික ජීවිතය කියන දේ පිළිබඳව පුළුල් අවබෝධයක් කිසිවෙකුට තිබිලා නැති වීම. මෙතැනදී සංස්කෘති ජීවිතයක් යනුවෙන් අදහස් කරන්නේ ක්‍රීඩාවේ සිට කලාව දක්වා – කෝපි බීමේ සිට පෙම්වතුන් ගේ හමුවීම් දක්වා- සෑම වයස මට්ටම් වල මිනිසුන් ට එකිනෙකා හමු වීමට සමාජශීලී වීමට ලබාදෙන්නා වූ ක්‍රියාකාරකම් සහ අවකාශයයි. ජපානය ඇතුළු බොහෝ බටහිර යුරෝපීය රටවල් නූතනකරණය ට ලක්වීමත් සමග ඔවුන්ට සාම්ප්‍රදායිකව තිබුණු එවැනි සංස්කෘතික අවකාශයන් පවා නූතන සමාජය තුළ සංස්කෘතික අභ්‍යාස යන අර්ථයෙන් සුරක්ෂිත කිරීමට විවිධ පියවර ගත්තා. උදාහරණයකට,ඒ රටවල් වල සුපර්මාකට් වැනි විශාල වෙළඳපොළවල් නිර්මාණය වෙද්දිම ගමේ තිබුණු කුඩා පොල ඔවුන් නැති කරගත්තේ නෑ. අදත් ගමේ පොළ විනෝදයට වගාකරන සහ සුළු නිෂ්පාදන කරන වෘතීය වෙළෙන්දන් නොවන අයගේ නිෂ්පාදන අලෙවි කිරීමට ඇති අහල පහල අය සමාජශීලී වීමට හමුවන සංස්කෘතික ක්‍රියාකාරකමක් විදිහට රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන් පවත්වාගෙන යනවා. පත්තරේ කියවමින් කෝපි බොන්ඩ හමුවුන තැන තවමත් නූතන කැෆේ වර්ග ලෙසට පරිවර්තනය වී ඒ ක්‍රියාකාරකම් සමගම පවතිනවා. ශ්‍රී ලංකාවේ ද තිබුණ කඩමණ්ඩියට ගොස් තේ හෝ කෝපි බිබී දාන් ඇඳීමේ සංස්කෘතිය, ඒ වගේම අපට තිබුණා පසුකාලීනව ගොඩනැඟුණු එක්තරා දියුණු වොලිබෝල් සංස්කෘතියක්, ගමේ ගැහැණු පිරිමි සියලුම දෙනා එක්ව හවසට වොලිබෝල් ගහමින් නරඹමින් සමාජශීලි වුණා. මේවාය් සංස්කෘතික ජීවිතයකට ඇති වටිනාකම් තේරුම් ගෙන සුරක්ෂිත කිරීමට විශේෂ සැලැස්මක් රජයට තිබුණෙ නැහැ. නාට්‍ය කලාව විෂයක් සහ සංදර්ශනයකට වඩා එහා ගොස් සංස්කෘතික අභ්‍යාසයක් විදියට පුළුල්ව තේරුම් නොගන්නේත් මේ සන්දර්භය තුළයි.
ඒ අනුව නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් විදිහට කල්පනා කර නිර්මාණය කරපු එකදු රඟහලක්වත් ශ්‍රී ලංකාවේ නැති බව කිව යුතුයි. සාමාන්‍යයෙන් නාට්‍ය සඳහා වඩාත්ම උචිත රඟහලක් විදිහට බිහිවුණේ ලයනල් වෙන්ඩ්ට් පමණයි. අනිත් බොහෝ තැන් වල නාට්‍ය පෙන්වුයේ එක්කෝ පාසල් ශාලාවල එහෙම නැත්නම් වෙනත් වැඩ සඳහා හදපු ප්‍රජා ශාලා සහ ශ්‍රවණාගාර වලයි. නාට්‍යයක් පෙන්වීම සඳහා සුදුසු වාස්තවිකත්වය නැති වීමටත් වඩා මෙම රංග ශාලා වල ඇති අර්බුදය නම් ඒවා තුළ අර පෙර කී ලෙස නාට්‍ය සංස්කෘතියක් ගොඩනැගෙන්නට හැකියාවක් නැති වීමයි. සාමාන්‍යයෙන් නාට්‍යයක හොඳම හරිය ආරම්භ වන්නේ නාට්‍යයෙන් පසු නළුවන් සහ ප්‍රේක්ෂකයින් වැළඳගෙන දොඩමළු වෙන මොහොතේ නමුත් ඒ මොහොතේ තමයි අපේ ශාලා මුරකරු යතුරු කැරැල්ලයි කොස්සයි අරන් ඇවිත් අහන්න පටන් ගන්නේ එළියට යන්නේ කීයටද කියලා!
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යාපෘති වැඩසටහන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන නමුත් අවාසනාවට ඒවා නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් බවට පත් කරන්නේ කෙසේද කියන කාරණයට එතරම් අවධානයක් ලබා දීලා නැති බවයි පෙනෙන්නේ. විශේෂයෙන් ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ නැත්නම් කළ යුත්තේ නාට්‍යය පමණක්ම ප්‍රධානම කාරණය නොවූ සංස්කෘතික පරිසරයක් නාට්‍ය නරඹන තැන ඇති කිරීමයි. එවැනි පරිසරයක් ඇති වූ පසු ක්‍රමයෙන් ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය වීමට එය පසුබිමක් වෙනවා. මීට යම් නිදර්ශනයක් කියන්නම් ,ඕස්ට්‍රේලියාවේ තියෙනවා කොමියුනිටි තියටර් cominity කියලා නාට්‍ය කලාවක්. (මෙය විවිධ විදිහට තවත් සමහර බටහිර යුරෝපීය රටවල් වල තියෙනවා.) සාමාන්‍යයෙන් එය තියෙන්නේ නගරයෙන් වඩා ඈතට යන ප්‍රදේශ වලයි. අවම ප්‍රේක්ෂකයින් 25 ක ගේ පමණ සිට සීයක් එකසිය පනහක් පමණ වන අවකාශයන් වල පවත්වාගෙන යන මෙය හඳුනාගන්නෙ වෘත්තීය නාට්‍ය කලාවක් විදිහට නෙමෙයි. මෙයට සම්බන්ධ සියලුම දෙනා අවට ප්‍රදේශයේ පිරිස වන අතර වෙනත් රැකියාවන් කරන අතරේ ඔවුන් හුදු විනෝදාස්වාදය උදෙසා යි මේ නාට්‍ය කලාව කරන්නේ. රාජ්‍ය අනුග්‍රහය ලබන මෙහි ඇති විශේෂත්වය නම් එය නාට්‍යය කුමක් වුවත් ප්‍රදේශයේ කට්ටිය හවසට සෙට් වෙන සංස්කෘතික අභ්‍යාසයක් බවට පත් වී තිබීමයි. හේතුව එම ස්ථානය නාට්‍යය පෙන්වීමට වඩා එහා ගියා වූ සංස්කෘතික අවකාශයක් බවට පත් කර තිබීමයි. මෙය වෘත්තීය නාට්‍ය කලාවට අලුතින් ප්‍රේක්ෂකයින් බිහිකරන සහ ශිල්පීන් කැඳවන එක්තරා මූලස්ථානයක් වෙනවා.
ශ්‍රී ලංකාවේ රජය විසින් කළ යුතුව තිබුණේ සංස්කෘතික ජීවිතය කියන එක සෞඛ්‍ය අධ්‍යාපනය තරම්ම ජනතාවට අත්‍යවශ්‍ය කාරණයක් විදිහට පුළුල්ව තේරුම් ගනිමින් එහි නාට්‍ය යනු ඉතා වැදගත් අංගයක් බවද තේරුම් ගනිමින් ඊට වෙළෙඳපොළ ආකෘතියක් ලබාදෙමින් නමුත් ලාභ නොලබන තැන් වලට අනුග්‍රහය ලබාදෙමින් පවත්වාගෙන යාමයි.( නෙළුම් පොකුණ වැනි ප්රසාංගික කලා සහ සම්මන්ත්රණ මධ්‍යස්ථාන ඒවායේ අරමුණු සහ ආකෘතියෙන් ම නාට්‍ය සංස්කෘතියක් වර්ධනය කිරීමට සහයෝගය දෙන ඒවා නොවන බව ඔබට තේරුම් යා යුතුයි).නාට්‍ය උළෙලවල්, පාඨමාලා පැවැත්වීම සහ විෂයන් විදිහට ඇතුළත් කිරීම ආදියෙන් පමණක් නාට්‍ය කලාවක් සංවර්ධනය වන් නැති බව දැන් තහවුරු වී හමාරයි. ශ්‍රී ලංකාවේ රජයන් නාට්‍ය කලාව සඳහා වෙන් කරන ප්‍රතිපාදන වලටත් වඩා ප්රශ්නය වන්නේ නිවරදි අදහස් සංකල්ප සැලසුම් නැතිකම සහ ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට අසමත් වීමයි.
ඉහත අපි සාකච්ඡා කරපු නාට්‍ය සංස්කෘතියක වැදගත්කම ඇසුරින් ශ්‍රී ලංකාවේ නාට්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා දෙකක් දෙස දැන් බලමු.
පළමු යෝජනාව, නාට්‍ය කලාව මුල්කරගත් ප්රසාංගික කලා සංකීර්ණයක් කොළඹ නගරයේ ඉදිකිරීම. එය විවිධ ප්‍රමාණයේ රඟහලවල් දෙකක් හෝ තුනක්, විවිධ ප්‍රමාණයේ පුහුණුවීම් ශාලා කිහිපයක්, කලාගාරයක්, රංග කලා කෞතුකාගාරයක්, පොත් කඩයක් ,රංග කලා පුස්තකාලයක් ආපනශාලාවක් සමග බාර් එකක් ඇතුළු නාට්‍ය හා රංග කලාවට මෙන්ම හැකිතරම් අනිකුත් කලා හා ශාස්ත්‍රීය අභ්‍යාස වලට පහසුකම් සලසන දේවල් වලින් යුක්ත විය යුතුයි. එසේම එහි එන යන සියලුම දෙනාට කැමති පරිදි රස්තියාදු ගැසීමට කාලය ගත කිරීමට නිදහස තිබිය යුතුයි. ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය කිරීමට හේතුවන සංස්කෘතික පරිසරයක් සහ දියුණු කතිකාවක් එවැනි තැන්වල ගොඩනැගෙන්නට නියමිතයි. වැඩි දුරටත් අවශ්‍යනම් මෙම ආකෘතියේ ම විවිධ ප්‍රමාණයේ රංග කලා සංකීර්ණ රටේ අනිකුත් ප්‍රදේශ වලද ගොඩනඟන්නට උත්සාහ කළ හැකියි.
දෙවන යෝජනාව, කුඩා ලමුන් නාට්‍ය නැරඹීමේ සංස්කෘතියට හුරු කිරීම. විශේෂයෙන් පාසල් වලට විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව තිබුණාට කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර කුඩා ළමයින් නාට්‍ය නැරඹීම කියන කටයුත්තට සංස්කෘතිකව පුහුණු කළ යුතුයි. සතියේ නිශ්චිත දවසක පාසලේම හෝ ඉන් පිටත සාමූහිකව නාට්‍ය නරඹන්නට යමින් නාට්‍ය නැරඹීම ඔවුන්ගේ පාසලේ සහ ළමා කාලයේ විනෝදජනක සංස්කෘතික අංගයක් බවට පත්කළ යුතුයි. බොහෝ බටහිර යුරෝපීය රටවල් වල මිනිසුන් බස්රථ වල සහ පෝලිම් වල පවා රැඳී සිටින විට පොත් කියවනවා ඔබ දැක ඇති. මිට හේතුව නම් ඉතාම කුඩා කාලයේ සිට පාසල් මට්ටමෙන් විෂයෙන් බාහිර පොත් කියවීම සංස්කෘතික පුරුද්දක් විදිහට ඔවුන්ට හුරු කිරීමයි. ඉන්පසු දෙමව්පියන්ගෙන් ද එය පැවත ඒමයි. ඒ නිසා මෙවැනි අභ්‍යාස ඇති කිරීමට ඉතාම හොඳ කාලය කුඩා කාලයයි.
පින්තුරය: The Tightrope.පීටර් බෲක් (Peter Brook)ශිෂ්‍යයින්ට වැඩමුළුවක් මෙහෙ වන මොහොතක දී ඔහුගේ පුත් සයිමන් බෲක්(Simon Brook) විසින් සඟවපු කැමරා පහකින් පටිගත කර හදපු වාර්තා චිත්‍රපටිය.
පුළුල් රංග කලා කතිකාවක් උදෙසා
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ගැන විමසන කෙනෙකුට , එය ඉගෙන ගන්න හෝ එහි අර්බුද තේරුම් ගන්න හදන කෙනෙකුට පමණක් නෙවෙයි ඒ පිළිබඳ වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන්නෙකු පවා මුහුණ දෙන ප්‍රධානම සහ පළවෙනිම අභියෝගය නම් නාට්‍ය කලා විෂයේ ප්‍රමාණවත් අධ්‍යයන පර්යේෂණ කරලා නැතිවීමත් අවශ්‍ය මූලාශ්‍ර පිළිබඳව ප්‍රමාණවත් සංරක්ෂණයක් හෝ නැති වීමයි. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අර්බුදය තේරුම් ගන්නට උත්සාහ කරන මෙම ලිපිපෙළ ලියන්නට යාමේදී මම ද මුහුණ දුන් ප්‍රධානම අභියෝගය නම් සමහර අංශ සම්බන්ධයෙන් අවශ්‍ය මූලාශ්‍ර සොයා ගන්නේ කෙසේද කියන එකයි.
උදාහරණයක් ලෙසට, අපි හිතමු, ශ්‍රී ලංකාවේ භීෂණ සමයේ නාට්‍ය නිෂ්පාදන වල රාජ්‍ය වාරණයෙන් ගැලවීම උදෙසා නිර්මාණය වූ රංග ශෛලීන් සහ උපක්‍රම පිළිබඳව අපි අධ්‍යයනය කරනවා නම් හෝ කතා කරනවා නම් ඒ සඳහා අප පාදක කරගන්න අපට දැනුම ලබාදෙන විශ්වාසනීය අධ්‍යන පර්යේෂණ සහ මූලාශ්‍ර මොනවාද? පිටපත් ඇතුළු ඊට අදාළ මූලාශ්‍ර සොයා ගැනීමට යම් පිළිවෙලක් හෝ සංරක්ෂණ ක්‍රමයක් තිබෙනවා ද?
රැසක් වාර්ෂිකව කෙරෙන බව අපි දන්නවා. එහෙත් අවාසනාවට ඒ පර්යේෂණ නිබන්ධන නිරික්ෂණය කරන කොට අපට පෙනී යන්නේ ඒවා බොහොමයක් බැරෑරුම්ව ගැනීමට තරම් මට්ටමක නැති බවයි. සාමාන්‍යයෙන් පර්යේෂණයකට අඩංගු විය යුතු මූලිකාංග තිබුනත් පර්යේෂණය කරලා තියෙන ආකාරය, තර්ක කරන ආකාරය, මූලාශ්‍ර සහ දත්ත සාධක උදාහරණ ඉදිරිපත් කරන ආකාරයන් අතිශය දුර්වල සහ ප්රශ්නකාරී යි. බරසාර බවක් පෙන්නන්නටදෝ සමහර අවස්ථාවල විදේශීය න්‍යායධරයින්ගේ ප්‍රකාශන ආදිය විවිධ තැන්වලින් ඔබ්බවා තිබුණත් ඉහත දුර්වලතා පවතින තාක් ඒවා ද තාර්කිකව සහ අර්ථ ජනනය වන ලෙස යොදාගත් බවක් පෙනෙන්නට නැහැ. මෙම රචනා අදාල විෂය පථය පිළිබඳව යම් අනුරාගයකින් සහ කුතුහලයකින් කළ ගවේෂණයක ප්‍රතිඵලයකට වඩා උපාධිය සඳහා හදිසියේ ලියපු සටහන් ලෙසයි අපට පෙනෙන්නේ. එසේම පසුගිය කාලයේ ඉලෙක්ට්‍රොනික් ආදී මාධ්‍ය භාවිතයත් සමඟ ඇතිවුණු ව්‍යාකූල සමාජය හේතුවෙන් බැරෑරුම් කියවීම් වලට යෑමට ඇති උනන්දුව අඩුවීම ද මෙම අධ්‍යාපනයේ ම අර්බුදයක් විදිහට සලකා විසඳුම් සෙවිය යුතුයි. කෙසේ හෝ මෙම අධ්‍යාපන පසුබිමේ ඇති අර්බුදය නිසාම විය යුතුයි පලවෙන අති බහුතරයක් පොත්පත් වලද ඉහත සඳහන් කළ දුර්වලතා එයාකාරයෙන්ම තියෙන්නේ.
මෙය තවදුරටත් ආදර්ශයකින් දෙකකින් පැහැදිලි කරන්නේ නම්, අපි දන්නවා කුමාරි ජයවර්ධන විසින් ලියූ Nobodies to Somebodies නම් අගනා පර්යේෂණය ඉන්පසු බිහිවුණ බොහෝ සමාජ අධ්‍යයනයන් සහ පර්යේෂණයන් වලට (පමණක් නොව නිර්මාණවලට පවා)විශාල මූල ග්රන්ථයක් වුණා. තිස්ස කාරියවසම් විසින් ලියූ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ මුල ඉතිහාසය පිලිබද ග්රන්ථ පෙළ (උදා: සිංහල නාට්‍යයේ විකාශනය) ද නාට්‍ය කලාව සම්බන්ධයෙන්ම රංජිනී ඔබේසේකර විසින් ලියු Sri Lankan theatre in a time of terror නම් ග්‍රන්ථය ද නිවරදිව පර්යේෂණයක් හෝ විමර්ශනයක් කරන ආකාරයට හොඳ ආදර්ශයක්. මෙවැනි සමාජ විද්‍යාත්මක පර්යේෂණ සහ විමර්ශන ප්‍රමාණවත්ව කෙරි නැතිවීමයි මම මෙතනදී පෙන්වා දෙමින් සිටින්නේ. එවැනි පර්යේෂණ කිරීමට නාට්‍ය කලාවට අදාළ මූලාශ්‍ර සොයා ගැනීම ඊටත් වඩා දුෂ්කර වෙලා තියෙන්නෙ නාට්‍ය කලාවේ තොරතුරු සම්බන්ධයෙන් විධිමත් සංරක්ෂණ වැඩසටහනක් නැති නිසායි.
ඕනෑම විෂයක් සහ ක්ෂේත්රයක් වර්ධනය වීමට ප්‍රධාන භූමිකාවක් කරන්නේ ඒ විෂය පිළිබඳව කරන පර්යේෂණ සහ අධ්‍යයනයි. ඒ හරහා මතු කරන ඥානමීමංසාත්මක (Epistemological) කාරණායි. ඒවා හුදෙක් පර්යේෂණ සහ අධ්‍යයන නමින් සිදු වූ පමණින් සාර්ථක නොවන අතර ඒවා සාර්ථකව කිරීමද වැදගත් වෙනවා. විෂයේ මතවාදීමය විශ්වය නැතහොත් කතිකාමය විශ්වය පොහොසත් වෙන්නේ ඒ අධ්‍යයන පර්යේෂණ හරහා නිෂ්පාදනය කරන දියුණු අදහස් සහ දැනුම ක්ෂේත්රය තුළ සංසරණයවීම( Circulation )මතයි. ඒවා හරහා වේදිකාවේ (ලේ පෙන්වන්නට සුදුසුද වැනි) අමුද්‍රව්‍ය( Materials) පාවිච්චි කිරීමේ සිට සභ්‍ය අසභ්‍ය භේදය ආදිය දක්වාත් නාට්‍යකරුවාගේ සමාජමය, සංස්කෘතික සහ දේශපාලන පැවැත්ම ආදිය දක්වාත් විවිධාකාර තාක්ෂණික, කලාත්මක සහ දාර්ශනික සංකල්ප සහ සීමාවන් පර්යේෂණයට ලක් විය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් සිංහල නාට්‍ය කලාවේ මෙතෙක් බිහිවුනු සීමිත පර්යේෂණ සහ විමර්ශන ග්රන්ථ අධ්‍යයනය කරන කොට පෙනී යන්නේ ඒවා බොහොමයක් ඉහතින් මා පෙන්වූ ආකාරයට විශ්වාසනීය කරුණු තර්ක මූලාශ්‍ර මත එතරම් බැරෑරුම්ව කෙරී නැති බවයි. සිංහල නාට්‍ය කලාව පිළිබඳ කතිකාව තුළ බොහෝ ප්‍රශ්න නොකෙරුණු මත වාද සංකල්ප විශ්වාස ඇති අතර ඒ බොහෝ කරුණු එසේ කියන්නේ කෙසේද කියන එකවත් විමර්ශනයකට හෝ ප්‍රශ්න කිරීමට ලක්නොකර යොදාගන්නවා අපිට දකින්නට තියෙනවා. මම වෙනත් තැන්වලදීද පෙන්නලා දුන්නු පරිදි එවැනි එක් වැදගත් දෝෂයක් නැවතත් මතක් කරනවා නම්, බොහෝ අවස්ථාවල ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව ලෙස අරගෙන කතා කරන්නේ දමිල සහ ඉංග්‍රීසි නාට්‍ය කලාව බැහැර කරමින් සිංහල නාට්‍ය කලාව පමණයි. බොහෝ පතපොත විමර්ශන ග්රන්ථ මෙසේ පරීක්ෂාවට ලක් නොකරපු අදහස් මතිමතාන්තර විශ්වාස මත පදනම්ව ලියූ ඒවායි. එසේ බලන විට ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ඉතිහාසයම නැවත ලිවිය යුතුයි. බොහෝ අදහස් හා මතිමතාන්තර ඇති වීමට බලපාපු විමර්ශන සහ අධ්‍යයනයන් නැවත පරීක්ෂාවට ලක් විය යුතුයි නැතහොත් ඒවා නැවත කියවිය යුතුයි.( වර්තමාන සිංහල නාට්‍ය කලා කතිකාවේ පොදුවේ දකින්නට ඇති අදහස් කීපයක් ගෙන ඒවා එසේ කියන්නේ කෙසේදැයි පරීක්ෂාවට ලක් කිරීමට මෙම නාට්‍ය කලාවේ අර්බුදය ලිවීමේ අවසාන අදියරේ දී මම යම් උත්සාහක යෙදෙනවා).
වර්තමානය වන විට විශේෂයෙන් සිංහල නාට්‍ය කලාවේ කතිකාව කෙතරම් දාර්ශනිකව දිළිඳු වී ඇද්දැයි කියනවානම් සුබසාධනය, වරප්‍රසාද, සම්මාන සහ සමාජයේ දිනාගැනීම සඳහා තරගකාරීත්වය ආදිය පිළිබඳ තිබෙන උනන්දුවට සාපේක්ෂව, දැනුම සහ විෂය සම්බන්ධ දාර්ශනික කාරණා පිළිබඳ උනන්දුව අඩු වෙලා ගොස් ඇති බව පේනවා. ඒ තත්ත්වය දැනුම නිෂ්පාදනය සඳහාම වෙන්වුනු ස්ථානය ලෙස සලකන විශ්වවිද්‍යාලවල ද සුභසාධනය ආදිය දිනාගැනීමට තිබෙන උනන්දුවට සාපේක්ෂව අධ්‍යාපනයේ ගුණාත්මකත්වය සම්බන්ධයෙන් උනන්දුව අඩු වීමට සමාන වෙනවා. අවසානයේ මෙවැනි දිළිඳු කතිකාවක් තුළින් පොහොසත් නිර්මාණ සහ රසිකත්වයක් බිහිවීමට හැකියාවක් ඇත්ද? දියුණු නාට්‍ය කලාවක් බිහි වීමට එතරම් ම දියුණු රංග කලා කතිකාවක් අවශ්‍යයි!
උක්ත අර්බුදය පාලනය කරගැනීමට විසඳුම් වශයෙන් යම් හදිසි යෝජනා කීපයක් අපට මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරන්න පුළුවන්.
රංග කලා අධ්‍යයන පාඨමාලා ඇතුළු විශ්වවිද්‍යාල ආදීයේ කෙරන පර්යේෂණ නිබන්ධන වඩා නිවැරදිව සහ බැරෑරුම්ව කිරීම සඳහා මීට වඩා විශේෂ අවධානයක් යොමු කිරීම. ඒවායින් වඩාත් සාර්ථක වන නිබන්ධන ග්රන්ථ ලෙස පළ කිරීම හෝ පොදුවේ පරිහරණයට ලබාදීම. එක් වසරකට දහස් ගණනක් විෂයට අදාළ උපාධි සඳහා කරන අති විශාල මුදල් සහ ශ්‍රමය එම විෂයට කිසිදු විශේෂ ඥානයක් සම්පාදනය නොකර අපතේ යාම ද මෙයින් වළක්වා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ දෙමළ සිංහල ඉංග්‍රීසි සෑම නාට්‍ය කලාවකට ම අදාළ සියලු ඓතිහාසික සහ සමකාලීන තොරතුරු සංරක්ෂණය කිරීමේ විධිමත් වැඩසටහනක් ඇති කිරීම.
ඊට ලංකාව පුරාම නිෂ්පාදනය වන නාට්‍යවල පිටපත් ඇතුළු හැකි තරම් නිෂ්පාදන තොරතුරු ඇතුලත් කිරීම.
වඩාත් සාර්ථකව විමර්ශන සහ පර්යේෂණ කර ඇති ප්රවීනයින් වෘත්තිකව යොදා ගෙන මෙතෙක් ලාංකේය නාට්‍ය කලාවෙහි කෙරී නැති විෂය පථයන් පිළිබඳව අධ්‍යයන සහ පර්යේෂණ කිරීමට සැලැස්වීම.
ඉහත දැනුම නිෂ්පාදනය කිරීමේ අර්බුදය වඩාත් කැපී පෙනෙන්නේ සිංහල භාෂාවෙන් කරන ලද වැඩ වල බැවින් විශ්ව නාට්‍ය කලාවේ ඉතාම වැදගත් ග්රන්ථ හැකිතරම් සිංහලයට පරිවර්තනය කිරීමේ පුළුල් වැඩසටහනක් ඇති කිරීම.
ශ්‍රී ලාංකේය නාටය්‍ය කළාවේ අර්බුදය ‘ හදුනා ගැනීම සඳහා ලියන ලිපි පෙළක පළමුවෙනි ලිපිය එයයි. මෙහි සඳහන් කළේ එහි එකම අර්බුදය නොව අර්බුදයේ එක් ප්‍රධාන පැත්තක් පමණයි. එය විවිධ කොටස් වලින් ඉදිරියේ දී තවදුරටත් අපි පුළුල්ව හඳුනා ගන්නට උත්සාහ කරමු.
Image: Adam’s Passion by Robert Wilson
-
( ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 9 ) ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය විසඳීම සහ එහි පැවැත්ම සාර්ථක කර ගැනීම රජයේ ප්‍රධාන සහයෝගය ...
-
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 8 මෙම ලිපියෙන් මම කතා කරන්නේ මීට පෙර ලිපියෙන් අපි කතා කරපු දැනුම්වත් ප්රේක්ෂකයකු (Informed Viewer) නැති ව...
-
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය ගැන කතා කරන කොට මතු කළ හැකි ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි, ඒක තාමත් අප නාට්‍යකරුවන්ට කරගන්නට බැරි වුණේ ඇයි...
-
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 7 යම් නාට්‍ය කලාවක හදවත ලෙස සැලැකිය හැක්කේ ප්රේක්ෂකයායි , හරියට ඕනෑම නිෂ්පාදනයක ද හදවත පාරිභෝගිකයා වගෙයි...
-
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 10 වෘත්තීය නාට්‍ය කලාවක් කියන විට ඉන් කියවෙන්නේ මුදල් ඉපැයීම සඳහා නාට්‍ය කරන්නන්ගේ කලාවක් යන්න නොව එය එම ...
-
මම මෙම ලිපියේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ විශ්ව නාට්‍ය කලාවේ විවිධ කෘති සිංහල භාෂාවට ප්‍රමාණවත්ව පරිවර්තනය නොවීමේ අර්බුදයයි. සමස්ත...
-
ප්‍රමාණවත් ගුණාත්මක නාට්‍ය බිහි නොවීම අර්බුදයක් බවට පත් වී ඇත්නම්, මගේ අත්දැකීමට සහ අවබෝධයට අනුව ඒ සඳහා නාට්‍ය උලෙළවල් බලපාන ප්‍රධානම තැන හඳ...
-
ශ්‍රී ලාංකේය නාට් ය කලාවේ අර්බුදය 5 මුළු ලෝක නාට් ය කලා ඉතිහාසය පුරාම නාට් ය කලාවක පැවැත්ම සම්බන්ධයෙන් ප් රධාන භූමිකාවක් කරන්නේ අනුග...
-
ප්රතිචක්රීයකරණය (Recycling) නම් ක්‍රමය ලෝකයේ නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාර්ථකව යොදා ගෙන ඇති ක්‍රමයක්. විශේෂයෙන් එය නාට්‍ය ක...
-
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පවතින්නේ මුළුමනින්ම මෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පවතින කලාවක් විදිහටයි. එය මෙහෙයවන අධ්‍යාපන ආයතනවල සිට සංස්කෘතික ආයතන ද...
නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය
ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...