Wednesday, January 5, 2022

වෘත්තීය නාට්‍ය කලාවක මුලික ආකෘතිය



ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අර්බුදය 4

ඕනෑම ක්ෂේත්රයක් පැවැතීමට යම් යාන්ත්රණයක් තිබිය යුතුයි. අල ගොවියාගේ සිට නාට්යකරුවා දක්වා එම යාන්ත්රණයේ සාර්ථක - අසාර්ථකත්වය මත එම ක්ෂේත්රයේ ඉරණම තීරණය වීම තේරුම් ගන්න අමාරු නෑ.
මෙම ලිපියෙන් අපි විමසන්නට යන්නේ ‘විශ්ව නාට්ය කලාවේ විශිෂ්ට කෘති’ ලෙස ඔබ සාමාන්යයෙන් හඳුන්වන ලෝකයේ වඩා ම දියුණු නාට්ය කලාවන් ඇති රටවල ගුණාත්මක නාට්ය පවතින එම යාන්ත්රණයේ මූලික ස්වභාවය මොකක් ද කියලයි. ඒ හරහා අපට ලංකාවේ සිදු වෙලා තියෙන්නෙ කුමක් දැයි යම් අදහසක් ගන්න පුළුවන්.
සාමාන්යයෙන් දියුණු නාට්ය කලාවක් යනුවෙන් අදහස් කරන දේ කෙටියෙන් පැහැදිලි කර ගන්න අපට ප්රධාන සාධක තුනක් දිහා බලන්න පුළුවන්:
1. තමන්ගේම තෝරා ගැනීම මත නාට්ය නැරඹීමට පැමිණි ප්රමාණවත් ප්රේක්ෂක සංඛ්යාවක් සිටීම. (බලෙන් ප්රවේශ පත්ර විකිණීම නිසා හෝ හැඳුනුකම් මත ආදී හේතු මත නාට්ය නැරඹීමට සිද්ධ වුණු ප්රේක්ෂකයන් නොවෙයි)
2. ප්රේක්ෂකයන්ව සෑහීමකට පත් කිරීමට තරම් ප්රමාණවත් ගුණාත්මක මට්ටමකින් නාට්යය නිෂ්පාදනය වීම. (අවම වශයෙන් නාට්ය නැරඹීමේ ධෛර්යය නැති නොවන ගුණාත්මක මට්ටමකින්)
3. නාට්ය කණ්ඩායමේ හෝ එම ව්යාපෘතියේ සියලුම ශිල්පීන්ට තම ශ්රමයට ආර්ථික සාධාරණත්වය ලැබීම. (ඔවුන්ට පවතින්නට පුළුවන් වන්නේ එවිටයි).
හොඳින් බලන්න, මෙයින් එකක හෝ අඩුවක් තියෙනවා නම්, එය පවතින්නට පුළුවන් එනම් දියුණු නාට්ය කලාවක් නොවෙයි. එබැවින්, මේ තුන හැම විටම හමු විය යුතුයි. ඒ තත්ත්වය සමස්තයක් ලෙස නාට්ය කලාවක පොදු තත්ත්වය ලෙස පැවැතීමට හැකි විය යුතුයි.
විවිධාකාර වෙනස්කම්වලට යටත්ව අද වෙන කොට මුළු ලෝකය පුරාම වාගේ දියුණු නාට්ය කලාවක් බිහිව ඇති තැන්වල ඇත්තේ එකම යාන්ත්රණයයි. එය මූලික වශයෙන් ධනවාදී වෙළෙඳපොළ යාන්ත්රණයයි. එනම් අනෙක් සියලුම භාණ්ඩ මෙන් නිෂ්පාදනය කර අලෙවි කර පැවැතීමේ ක්රමයමයි. ඔබ දැන් ඇසුරු කරමින් ඉන්නා විශිෂ්ට යැයි කියන සියලුම විශ්ව නාට්ය කලාවේ නිර්මාණ එවැනි ක්රමයක ප්රතිඵලයි. නමුත්, ධනවාදී ක්රමයට එරෙහි යාන්ත්රණ පිළිබඳ විවිධ කතිකාවන් සහ විකල්ප යෝජනා තිබෙන අතර එවැනි යාන්ත්රණයකින් ද නාට්ය කලාවේ පැවැත්ම සාර්ථක වූ අවස්ථාවල දී අප එය කතා කරන තෙක් පවතින ක්රමය තුළ සාර්ථක වී ඇති ආකාරය කතා කරමු.
අප මේ කතා කරන දියුණු නාට්ය කලා ආකෘතිවලට වඩාත්ම හොඳ උදාහරණ ප්රංශය, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ජපානය, එංගලන්තය, ඕස්ට්රේලියාව, නවසීලන්තය, රුසියාව සහ ස්කැන්ඩිනේවියානු රටවල් ආදිය තුළින් හමු වෙනවා. මේ සෑම රටකම අනෙක් සෑම පාරිභෝගික භාණ්ඩයකම ගුණාත්මකභාවය, වගකීම ආරක්ෂා කිරීම සම්බන්ධ වෙළෙඳපොළ යාන්ත්රණය නාට්ය නිෂ්පාදන සම්බන්ධයෙන් ද එයාකාරයෙන් ම අදාළයි.
ඒ අනුව පාසල්, විශ්වවිද්යාල ආදියෙහි කරන නිෂ්පාදන ආදිය හැරුණුකොට සාමාන්යයෙන් එම රටවල නාට්ය නිෂ්පාදනය වෙන්නේ නාට්ය සමාගම් හරහා පමණයි. එය හරියට බෙහෙත් විකුණන්නේ පිළිගත් ෆාමසිවල පමණයි වගේ ! කොටින්ම ඔබ තනි නළුවෙකු විදිහට වීදි රංගන පමණක් කළ ද, සමාගමක් විදිහට හෝ කිසියම් වෘත්තීයමය වර්ගීකරණයක් යටතේ ලියාපදිංචි වී සිටිය යුතු අතර, ඊට පවා ක්රමවේදයක් තියෙනවා. ස්වාධීන රචකයන් ඇත්නම්, ඔවුන්ට පවා තමන්ගේ රචනය නිෂ්පාදන සමාගමකට ඉදිරිපත් කරන්න වෙනවා. එසේ හොඳ නිර්මාණ භාර ගැනීම සඳහා සෑම නාට්ය සමාගමකම වාගේ විවිධාකාර වර්ගීකරණ යටතේ පහසුකම් තියෙනවා. ඒක හරියට ගොවියකුට තම බෝග විකුණන්ඩ බැහැ, කඩේකට ලබා දිය යුතු අතර ගොවියා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර කිසිවකුට අසාධාරණයක් නොවන සාධාරණ යාන්ත්රණයක් පැවැතිය යුතුයි වැනියි.
බර්ටෝල්ට් බ්රෙෂ්ට්, සැමුවෙල් බෙකට් සහ දාරියෝ ෆෝ ආදී ප්රකට නාට්යකරුවන්ගේ පිටපත් පවා ඇත්තේ ඒජන්තලා (Agent) ළඟ වන අතර, එම ඒජන්තලා ද පවතින්නේ පිටපත් ලබා දීමට වෙන් වුණු සමාගම් ලෙසටයි. නාට්ය සමාගමකින් යම් පිටපතක් නිෂ්පාදනය කරන්නේ නම්, එවැනි පිටපත් ලබා දෙන සමාගමකින් දර්ශන වාර ගණනට හෝ රඟදක්වන කාලයට අනුව විවිධ කොන්දේසි යටතේ පිටපත කුලී පදනමකින් මිලට ගත යුතුයි. ඒ තුළ සාමාන්යයෙන් කිසිදු පිටපත් රචකයකුට අසාධාරණයක් වෙන්න අවස්ථාවක් නෑ.
නාට්ය සමාගමක් පවත්වාගෙන යන්න අනිකුත් ව්යාපාරයක් මෙන්ම ඊට අවශ්ය ආචාරධර්ම, තාක්ෂණික සහ වෘත්තීය සුදුසුකම් සැපිරිය යුතුයි. ඒ වගේම නාට්ය සමාගම් ගත් කල දෙතුන් දෙනාගේ කාර්ය මණ්ඩලවල සිට සිය ගණනක් වැඩ කරන මහා පරිමාණ මට්ටම් දක්වා විවිධ ආකෘතීන් තියෙනවා. සමහර නාට්ය සමාගම්වල නාට්ය නිෂ්පාදනය ඇතුළු නාට්ය කලාවට අදාළ පොත් පත් අලෙවියේ සිට දේශන වැඩසටහන් ආදී සියලුම ක්රියාකාරකම් එයින් කරනවා.
ඒ අනුව සාමාන්යයෙන් ඒ රටවල සිද්ධ වෙන්නේ නාට්ය සමාගම තමන්ගේ දැක්මට, ධාරිතාවට අනුව පිටපත් රචකයාගේ සිට අධ්යක්ෂ සහ නළු, නිළියන් යනාදී සියලුම ශිල්පීන් වෘත්තීයමය පදනමෙන් යොදා ගැනීමයි. එම තෝරා ගන්නා සියලුම ශිල්පීන්ට අනික් සියලු ම රැකියාවල මෙන් වෘත්තීයමය වශයෙන් ගෙවීම් කළ යුතුයි. සමහර විශාල නාට්ය සමාගම්වලට පූර්ණකාලීනව වැඩ කරන ශිල්පීන් සිටින අතර, සමහර නාට්ය සමාගම් අවශ්ය පරිදි අදාළ ව්යාපෘතියට කොන්ත්රාත් පදනම මත ශිල්පීන් යොදා ගන්නවා. ඒ කොහොම කළත්, එම ශිල්පීන්ට සියලුම වෘත්තීයමය සුබසාධන, රක්ෂණ රැකවරණ සහ බුද්ධිමය දේපළ අයිතීන් නීතිමය ආකාරයට හිමිවෙනවා පමණක් නොව යමෙක් යම් අසාධාරණයට ලක් වුණොත්, ඊට එරෙහිව ක්රියාත්මක කිරීමට ද ආකෘතියක් තියෙනවා. වෘත්තීය සංගම් ආදිය ද තියෙනවා. මෙන්න මේ කී දේවල් යම් නාට්ය සමාගමකට සපුරන්නට නොහැකි නම්, ඔවුන්ට එම සමාගම පවත්වාගෙන යන්නට අවසර ලැබෙන්නේ නෑ.
මේ නාට්ය සමාගම්වලට හිතන තරම් හිතුමතයේ තීරණ ගන්න බැහැ. සාමාන්යයෙන් සෑම නාට්ය සමාගමක්ම වාගේ රාජ්ය හෝ රාජ්ය නොවන විවිධ අංශවලින් අඩු-වැඩි වශයෙන් අනුග්රහය ලබන අතර, ඒවා විවිධාකාර කොන්දේසිවලට යටත්. උදාහරණයක් වශයෙන්, අවුරුද්දේ මෙපමණ නිෂ්පාදන හෝ ක්රියාකාරකම් ප්රමාණයක් තුළ ‘සුළු ජාතීන්ගේ’ ප්රශ්න නියෝජනය විය යුතුයි. මෙපමණ නිෂ්පාදන ප්රමාණයක සංස්කෘතික විවිධත්වය තිබිය යුතුයි. මෙපමණ නිෂ්පාදන ප්රමාණයක් අඳ, ගොළු, බිහිරි ආදීන් සඳහා වෙන් විය යුතුයි ආදී වශයෙන් රටේ ඒ ඒ ෆෙඩරල් ක්රමයට අනුව විවිධ කොන්දේසි තිබෙනවා. සාමාන්යයෙන් මේ බොහෝ කොන්දේසි එන්නේ අනුග්රහ හරහායි.
ගුණාත්මක නිෂ්පාදන රසවිඳීම සඳහා විශාල ප්රේක්ෂකාගාරයක් හුරුවෙලා තිබෙන විට නාට්ය සමාගම්වලට ද හිතන තරම් බාල වැඩ හෝ දූෂිත වැඩ කරන්නට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඔවුන් අතර වඩාම ගුණාත්මක නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා තරගයක් තියෙනවා. වඩාම ගුණාත්මක නිෂ්පාදන කරන සමාගමට වඩාම අනුග්රහ දිනාගන්න පුළුවන්.
මේ ක්රමය තුළ නාට්ය විචාරය වැනි දේකට එන විට විචාරකයා සාමාන්යයෙන් අපට හමු වන්නේ පුවත් පත්, සඟරා ආදී මාධ්යයක් හරහායි. එම මාධ්යවලින් වෘත්තීය විචාරකයන් යොදාගෙන තියෙනවා. ඒ අනුව විචාරකයාට සාමාන්ය පරිදි සියලු වෘත්තීය අයිතිවාසිකම් සමඟ පූර්ණකාලීන හෝ කොන්ත්රාත් පදනම මත වැටුපක් ලැබෙන අතර, ඔහුට හෝ ඇයට ඇත්තේ, නාට්ය පිළිබඳ විචාර ලිවීමයි. එම විචාරවල ගුණාත්මකභාවය සඟරාවේ පැවැත්මට තීරණාත්මක භූමිකාවක් ඉටු කරන බැවින්, ගුණාත්මක නාට්ය ගැන අවබෝධයක් ඇති විශාල ප්රේක්ෂකාගාරයක් ද සිටින බැවින්, එම විචාරකයාට තමාගේ විචාරය කවර විදිහකින්වත් පෞද්ගලික අගතියකට යොදා ගන්නට අවස්ථාව ලැබෙන්නේ නෑ. අනෙක් සෑම වෘත්තියක් ම වාගේ එම වෘත්තිය ද ඔහු හෝ ඇය හරියට කරන්නේ නැත් නම්, ඊට අවශ්ය ක්රියාමාර්ගයක් ගත හැකි විදිහටයි එය ද පවතින්නේ. මොක ද? එම සඟරා ද වෘත්තියක් ලෙස පවතින්නට ගුණාත්මක වෙළෙඳපොළක් සමඟ තරග කළ යුතුයි. සාමාන්යයෙන් දියුණු නාට්ය සංස්කෘතිවල පළපුරුදු සෑම ප්රේක්ෂකයකු ම විචාර කියවන බැවින්, ගුණාත්මක විචාරවලට හොඳ ඉල්ලුමක් එනම් වෙළෙඳපොළක් තියෙනවා. පුවත් පතේ අලෙවියට මෙන්ම නාට්ය කලාවට ද විශාල බලපෑමක් කරලා තියෙන ඕස්ට්රේලියානු ප්රකට වෘත්තීය නාට්ය විචාරකයන් කීප දෙනකුට උදාහරණ තමයි, ජෝන් මැකලම් (John McCallum) ( The Australian), කෙවින් ජැක්සන් (Kevin Jackson), සුශි ගෝස් සීස් (Suzy Goes Sees) සහ ජේසන් බ්ලේක් (Jason Blake) (Sydney Morning Herald) ආදීන්.
සාමාන්යයෙන් මූලික වශයෙන් ඉහත සඳහන් කළ ආකාරය තමයි, වෘත්තීය නාට්ය කලාව හෝ නාට්ය කර්මාන්තයක මූලික හැඩය. නමුත්, මේ තුළ නාට්ය නිෂ්පාදනවලට විවිධාකාර සුබසාධන සහ පහසුකම් රාජ්ය සහ රාජ්ය නොවන අනුග්රහවලින් ලැබෙනවා. උදාහරණයකට, අඩු ආදායම් ලබන්නන්ට පෙන්ෂන් ඇති අයට සහ ශිෂ්යයන් ආදී අයට නොමිලේ හෝ ඉතා අඩු මුදලට ප්රවේශ පත්ර ලබා ගන්න පුළුවන් වීම, නාට්ය ප්රවේශ පත්රවලට යන වියදම් ආදායම් බදුවලින් නිදහස් කිරීම, සුළු ජන කොටස් තේමා කර ගත් නිර්මාණ හෝ පර්යේෂණ නිර්මාණවලට විශේෂ අනුග්රහ ලැබීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්.මෙවැනි සුබසාධන ඉතාම ඉහළ මට්ටමක පවතින්නේ සමාජ ප්රජාතන්ත්රවාදී සහ සුබසාධනවාදී රටවල්වල යි.
මෙම වෘත්තීයමය නාට්ය කලාව පවතින කිසිම රටක ශ්රී ලංකාවේ මෙන් නාට්යකරුවකුට නාට්යයක් හදන්න ඕනෑ වෙන කොට තමන්ම පිටපතක් සහ ශිල්පීන් හොයාගෙන, රඟහල ද වෙන් කරගෙන හදලා පෙන්නන අවදානම් ක්රමයක් නැහැ. පැවැත්ම සහ වෙළෙඳපොළ අර්ථයෙන් කියනවා නම්, ඒක හරියට වෘත්තීයමය නිර්ණානායකයන්ට අනුව විධිමත්ව කඩයක් තුළ ආරක්ෂිතව විකුණනවා වෙනුවට යම් බෝගයක් ඔබ තනියම පාර ළඟ අතේ තියාගෙන විකිණීමට සමානයි.
ශ්රී ලංකාව ඇතුළු නාට්ය කලාව දුර්වලයි කියන රටවලත් සමහර විට ධනවාදී නොවේ යැයි කියන සෑම තැනකමත් ඇත්තේ මූලික වශයෙන් මෙම නිර්මාණකරුවා (නිෂ්පාදකයා), වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර ක්රමයේම විවිධ වර්ණ සහ හැඩයන්මයි. එකම වෙනසකට ඇත්තේ ඒවා සාමාන්යයෙන් මෙම ක්රමයේම හෝ මෙය අත්පත් කර ගැනීමට නොහැකි වීම නිසා දුර්වල වී ඇති දූෂිත වී ඇති අක්රමවත් වී ඇති හෝ අවිධිමත් වී ඇති තත්ත්වයන් වීමයි. නමුත්, ඒ තත්ත්වයන් විවිධාකාර නාමකරණ යටතේ සමහරු විසින් හඳුනා ගන්න පුළුවන් (උදා: කලාව විකුණනවාට විරුද්ධ අපේ අත්කම් ක්රමය). දියුණු යාන්ත්රණයක් නොමැති නිසා මේවාට දිගටම පවතින්නට බැහැ. ඇත්තටම ශ්රී ලංකාවේ ඇත්තේත් මෙම නිර්මාණකරුවා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර ඇති යාන්ත්රණය දියුණු ලෙස අත්පත් කර ගැනීමට නොහැකි වීම නිසා ඇති වුණු දුර්වලතාව, අවිධිමත්භාවය සහ රටේ අනෙක් සියලුම ක්රම මෙන් දූෂිත වී ඇති තත්ත්වයක් පමණයි. ශ්රී ලංකා ක්රමයේ ඇති මෙම දුර්වල සහ දූෂිත ලක්ෂණ මෙන්ම ශ්රී ලංකාවට සුදුසු දියුණු ක්රමයක් පිළිබඳ යෝජනාව පසුව වෙනම කතා කරමු.
වෘත්තීය නාට්ය කලාවක අනුග්රාහක වෙළෙඳපොළ සකස් වෙන ආකාරය, රජයේ භූමිකාව සහ ගුණාත්මක ප්රේක්ෂකාගාරයක් ඇති වන ආකාරය ආදිය ඕස්ට්රේලියානු නාට්ය කලාවේ ආකෘතිය ඇසුරින් ඊ ළඟට සාකච්ඡා කරමු.
පිංතූරය: රුසියාවේ Moscow Art Theatre ආදර්ශයට ගනිමින් Harold Clurman, Lee Strasberg සහ Cheryl Crawford යන ඇමරිකානු රංග කලාවේ පුරෝගාමීන් විසින් 1931 දී ඇමරිකාවේ රංග ශිල්පීන්ගේ ප්රථම ස්ථිර සමාගම The Group Theatre. නමින් බිහි කරන අතර මේ එහි ඓතිහාසික ඡායාරූපයක්. මෙය ඇමරිකානු වෘත්තිය රංග කලාවට වඩා ම බලපෑමක් කරපු ඓතිහාසික සිදුවීමක් විදිහට සලකනවා.

නාට්‍ය කලාව අනුග්‍රහය සහ පැවැත්ම


ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අර්බුදය 3

නාට්ය නිෂ්පාදනකරණයේ ඇති විශාලම අභියෝගයක් නම් එයට අනිත් බොහෝ කලා මාධ්යයන්ට වඩා විශාල මුදලක් සහ ශ්රමයක් අවශ්ය වීමයි. නිර්මාණයේ ස්වභාවය අනුව එය වෙනස් විය හැකි නමුත් එය 'ආධුනික මට්ටමේ සැහැල්ලු නිෂ්පාදනයකට' වඩා එහා යන්නේ නම්, සජීවී මාධ්යයක් සහ සාමූහික කටයුත්තක් විදිහට නාට්ය නිෂ්පාදනය කිරීමට සහ පවත්වාගෙන යාමට මුදල් ශ්රමය සහ දියුණු සංවිධානාත්මක ධාරිතාවයක් අවශ්යයි. අන්න ඒ තත්ත්වය නිර්මාණවල ගුණාත්මකත්වය සහ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක් කරනවා. ශ්රී ලංකාවේ සමහරුන්ට යම් කුසලතාවයක් තිබුණද නාට්ය නිෂ්පාදනය කර ගන්නට නොහැකි වී ඇත්තේත් සැලකිය යුතු නාට්ය නිෂ්පාදන ප්රමාණයක් වසරකට නවතින්නේත් මෙම අර්බුදයට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට ශක්තිය නැති වීම නිසයි. එසේම සමස්තයක් විදිහට ශ්රී ලංකාවේ නාට්ය කලාව පවත්වාගෙන යාමට ද අපහසු වී ඇත්තේත් මෙම අර්බුදය ප්රධාන භූමිකාවක් කරන නිසයි. බැවින් එය පුළුල්ව තේරුම් ගැනීම අවශ්යයි.
පොදුවේ ගත්තම ආදී ග්රීක නාට්ය කලාවේ සිට අද මේ දක්වා නාට්ය එය භුක්තිවිදින ප්රේක්ෂකයා හෝ පාරිභෝගිකයාගෙන් දර්ශනයකට අය කරනා මුදලින් පමණක් පවතින්නට බැරි කලාවක් බවට පත් වෙලා තියෙනවා. සමහර ජනප්රිය හාස්යය සහ ප්රසාංගික නාට්ය වර්ග කීපයකුත් සමහර විට තවත් සීමිත ජනප්රිය නාට්ය වර්ග කීපයකුත් ආදිය හැරුණුකොට සාමාන්යයෙන් නාට්ය ව්යාපෘතියකට එහි ප්රේක්ෂකයා මත පමණක් යැපෙන් නැතිව අනුග්රහය සොයාගන්නට සිද්ධ වෙලා තියෙනවා.දැනට ලෝකයේ තියෙන සියලුම දැවැන්ත නාට්ය සමාගම් පවා රාජ්ය සහ රාජ්ය නොවන අනුග්රහයන් මතයි යැපෙන්නේ. මෙතනදි 'නාට්ය කලාව' ලෙස අදහස් කරන්නේ නිශ්චිත ජනප්රිය නාට්ය කලා වර්ග කීපයක් පමණක් නොව විවිධාකාර ෂානර වල ආකෘතිවල නව පර්යේෂණාත්මක ශෛලීන් වල සිට ප්රවේශපත්ර මත රඳා පවතින්නට නොහැකි වීදි නාට්යය වැනි විවිධාකාර නාට්ය ප්රවේශයන් සියල්ලම බව. විශේෂයෙන් අතිශයින්ම පර්යේෂණාත්මක නව මන් පෙත් හෙළි කරගෙන යන පර්යේෂණාත්මක නාට්ය වලට ඕනෑම රටක විශාල ප්රේක්ෂකාගාරයක් නැති නමුත් නාට්ය කලාවක නිර්මාණාත්මක පැත්තේ දියුනුවට වඩාම බලපෑමක් කරන්නේ පර්යේෂණාත්මක නාට්යයයි. එබැවින් බොහෝ විට පර්යේෂණාත්මක නාට්ය වැනි දේ ආර්ථික ලාභ නොලබන නාට්ය කලාවක් විදිහට නඩත්තු කරගෙන යන්නට සිද්ධ වෙනවා. ලෝකයේ බොහෝ දැවැන්ත නාට්ය සමාගම් සාමාන්යයෙන් මේ සෑම වර්ගයකම වගේ නාට්ය නිෂ්පාදනය කරනවා.
කෙසේ හෝ අද ලෝකයේ ගුණාත්මක මෙන්ම වඩාම ස්ථාවරව නාට්ය නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන් වී ඇත්තේ නාට්ය කලාව කර්මාන්තයක් විදිහට වෘත්තිකව කරන්නට සංවිධානය වූ රටවල් තුළයි. එනම් ඒ සඳහා පූර්ණ කාලීනව වෘත්තිකව කැප වුණු පිරිසක් ඉන්නා තරමට නිර්මාණවල ගුණාත්මකභාවය මෙන්ම නාට්ය කලාවේ පැවැත්මද තහවුරු වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම නිසා නාට්ය කලාවේ වැඩ කරන නළු නිළියන්ගේ සිට කාර්යාලීය සේවකයෙක් දක්වා අවශ්ය සියලුම දෙනා වෘත්තිකව වැටුප් ලබා ගන්නා ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ සියලුම දෙනා, නිර්මාණ ශිල්පීන්ගේ සිට නිලධාරින් සහ කාර්යාල සේවකයින් දක්වා නාට්ය කලාවක් පවත්වාගෙන යාමට අවශ්ය අයනම්,නාට්ය කලාවක් පවත්වාගෙන ගෙන යෑමේ අභියෝගය ඒ සියලුම දෙනාව නඩත්තු කිරීමට යන වියදම් නාට්ය නිෂ්පාදන විකිණීමෙන් පමණක් එනම් ප්රවේශ පත්ර විකිණීමෙන් පමණක් ආවරණය කළ නොහැකි වීමයියි. එබැවින් ලෝකයේ වඩාම සාර්ථකව නාට්ය කලාවන් පවත්වාගෙන යාමට හැකිවී තිබෙන්නේ රජය විසින් ජනතා බදු මුදල් වලින් ලාභ ලැබුවත් නොලැබුවත් මනුෂ්යයාට අවශ්ය උවමනා එපාකම් වලට යටකරන මුදල් වර්ගකරන යටතේ පොදුවේ රටේ සංස්කෘතික ජීවිතයට යට කරන්නාවූ මුදලෙන් නාට්ය කලාව ද හොඳින් ආවරණය වන නිසයි.
එසේ වුව ද රුසියාව එංගලන්තය ප්රංශය ඇමරිකාවේ ජර්මනිය වැනි ලෝක නාට්ය කලාවට වඩාම බලපෑමක් කරපු රටවල රජයන්වලට නාට්ය කලාවට යට කරන මුදලින් සංචාරක කර්මාන්තයේ සිට ලෝක වෙළදපොළට පොත් පත් ආදිය නිෂ්පාදනය කිරීම දක්වා නාට්ය කලාව හරහා විදේශ විනිමයක් උපයන්නට පුළුවන් වෙලා තියෙනවා. බැවින් එවැනි රජයන් නාට්ය කලාවට යට කරන මුදලින් වෙනත් පැත්තකින් ලාභ ලාබ ලබනවා.
ශ්රී ලංකාවේ නාට්ය කලාව කර්මාන්තයක් ලෙස වෘත්තික තත්ත්වයට පත් වී නැති බැවින් සාමාන්යයෙන් නාට්යයක් නිෂ්පාදනය කරන විට විවිධාකාර 'අක්රමවත්' අනුග්රහයන් මත තමයි එය පවතින්නේ. උදාහරණයක් විදිහට, ඇඳුණුම්කම් හරහා නොමිලේ හෝ අඩු වියදමකින් පුහුණුවීම් ශාලාවක් ලබා ගැනීම, ශිල්පීන් මුදල් ගැන නොතකා හෝ අඩු මුදලකට දායකත්වය සැපයීම, තවත් විවිධ අමුද්රව්ය සහ ශ්රමය ආදිය ඇදුනුකම් හරහා සොයා ගන්නට හැකි වීම ආදිය පෙන්නල දෙන්න පුළුවන්. බොහෝ විට නාට්යයක් නිෂ්පාදනය කළ පසු යම් සංවිධායකවරයෙකු එය අරන් ගිහින් කිසියම් තැනක එය සංවිධානය කරන්නේ තනිකරම ප්රවේශ පත්ර මත විශ්වාසය තබමින් නොව තවත් සමරු කලාප ඇතුළු ඒ ප්රදේශයේ හිතවත් කම් සහ අනිකුත් ගනුදෙනු හරහා මුදල් සහ විවිධ අනුග්රහයන් ලබා ගැනීම හරහා ය. මේ සියලුම තත්ත්වයන් වැටෙන්නේ අනුග්රහය යටතටයි. ශ්රී ලංකාවේ ගැටලුව වන්නේ එම අනුග්රහයන් කිසිවක් ස්ථාවර නැති වීමයි. ඒවා ගැන ස්ථීර විශ්වාස තබා එය 'ක්රමයක්' ලෙසට නාට්ය කලාවකට පවතින්නට නොහැකි වීමයි. සාමාන්යන් දියුණු නාට්ය කලාවක් ඇති රටවල මෙන් නාට්ය කලාව කර්මාන්තයක් බවට පත් වූ පසු ඇති වාසිය නම් නාට්ය කලාව පවත්වාගෙන යාමට ස්ථාවර ආකෘතියක් තිබීමයි. නාට්ය කලාවට ලැබෙන්නා වූ විවිධාකාර අනුග්රහයන් පවා ක්රමවත්ව සංවිධානය කර තිබීමයි.
ශ්රී ලංකාවේ සමහරු නාට්ය කලාව වැනි දෙයක් කර්මාන්තයක් විය යුතුයි කියන විට ඊට එතරම් කැමැත්තක් නැති බව මට හමුවෙලා තිබෙනවා. මට පෙනෙන විදිහට එතන ඇතිවෙලා තියන අවුල නම් 'කර්මාන්තයක්' කියන දේ පිළිබඳ ඔවුන්ට තිබෙන අත්දැකීම් හෝ අවබෝධයත් නාට්ය කලාව වඩාත් දියුණු ලෙස කර්මාන්තයක් බවට පත් වෙලා තියෙන තැන් වල ඇති තත්ත්වයත් දෙකක් වීමයි. කෙසේ හෝ කර්මාන්තයක් බවට පත් වුනු තැන් වල ද නාට්ය කලාව පිළිබඳ අර්බුද තිබෙන නමුත් අන් සියල්ලම පවතින ක්රමයේම මූලික තර්කනය මත නාට්ය කලාවකට ද පවතින්නට ආකෘතියක් අවශ්යයි. සාමාන්ය ඒ ආකෘතිය හමුවෙන්නේ කර්මාන්තයක් බවට පත් වූ විටයි.කවුරු හෝ එම කර්මාන්තයක් කියන අදහසට විරුද්ධ නම් එසේ නම් නාට්ය කලාවක් පවත්වාගෙන යාමට අවශ්ය ඊට වඩා දියුණු යන්ත්රණයක් හෝ ආකෘතියක් යෝජනා කළ යුතුයි.
කර්මාන්තයක් හෝ වෘත්තිය නාට්ය කලාවක් කියන විට ඉන් අදහස් කරන්නේ නැහැ ඊට සම්බන්ධවන සියලුම නිර්මාණකරුවන් පූර්ණකාලීනව වෘත්තිකව වැඩ කරන්නන් පමණක් බව. නමුත් එවිට දූෂණය නොවන්නා වූ ද පවතින්නට හැකි වන්නා වූ ද යම් සාධාරණ ආකෘතියක් නිර්මාණය වන අතර ඒ තුල ඔබට ඔබගේ දායකත්වය කැමති පරිදි ලබාදිය හැකියි. උදාහරණයක් විදිහට, ඔබ රංගනය විනෝදාංශයක් විදිහට කරන කෙනෙක් විය හැකි නමුත් ඔබ එය ලබා දෙන්නේ වෘත්තික ආකෘතියක් විනයක් සහ වගකීමක් තුළ ගුණාත්මක වෙළඳ පොළ ඉල්ලුමකට අනුව හැකියාවද නිශ්චිත මට්ටමකට වර්ධනය කිරීමෙන් පසුවයි. විචාරය ද එහෙමයි. ඒ විදියට බලනකොට ශ්රී ලංකාවේ ගැටලුව නම් එවැනි කර්මාන්තයක්වත් වෘත්තික පදනමක්වත් මොනයම් හෝ සාධාරණ සැලසුමක් ආකෘතියක් වත් ඊට නැතිවීමත් දන්න දන්න අය පුද්ගලික හැකියාව මත පුලු පුලුවන් විදිහට එහෙන් මෙහෙන් ආධාර උපකාර එකතුකරගෙන නාට්ය හදලා පෙන්වීමයි. ඒ ක්රමයට වැඩිදුර පවතින්නට බැරි බව අපිට දැන් පෙනිලා තියෙන්නේ.
රජයෙන්ද රාජ්ය නොවන අංශ වලින් ද ලැබෙන අනුග්රහය හරහා වෘත්තීය නාට්ය කලාවක සම්පූර්ණ ආකෘතිය ඉදිරියේදී වෙනම ලිපියකින් අපි සාකච්ඡා කරමු.
පින්තුරය: The Wharf , Sydney Theatre Company , සිඩිනි නාට්ය සමාගමේ බාර් එක පැත්තෙන් ගත් පින්තූරයක්. සාමාන්යයෙන් වඩාත් දියුණු නාට්ය කලාවන් පවතින තැන්වල රඟහලවල් ගොඩනගලා තියෙන්නේ නගරයේ මිල අධිකම වඩාම සුන්දර ස්ථාන වලයි. එබැවින් ඔවුන් රඟහලවල් රාජ්ය අනුග්රහයෙන් පවත්වාගෙන යන්නේ සංස්කෘතික වශයෙන් විශේෂ ස්ථානයක් විදිහටයි.

නාට්‍ය සංස්කෘතියක ප්‍රශ්නය

 

ශ්‍රී ලාංකේය නාට්‍ය කළාවේ අර්බුදය 2

ආදී ග්‍රීක යුගයේ ඇතැන්ස් සිට වර්තමානයේ බ්‍රෝඩ්වේ දක්වා ලෝකයේ සියලුම දියුණු නාට්‍ය කලාවන් බිහි වුණේ සංස්කෘතික සහ වෙළෙඳ ගනුදෙනු වලින් බාහිර ලෝකයට වඩාම විවෘත වූ රටේ වඩාම කාර්යබහුල දියුණුම නගර මුල් කරගෙනයි. මෙතැනදී ‘නාට්‍ය නැරඹීම’ යනුවෙන් අදහස් කරන්නේ අභිචාරී යාගහෝම හෝ ආගමික ක්‍රියාකාරකම් වල ඇති රංගනමය අවස්ථාවන් වලට සම්බන්ධවීම නෙමෙයි. රංග කලාව ඒ සියලුම අභිචාරී ක්‍රියාකාරකම්වලින් බිදී ස්වාධීන ( Autonomous ) කලා මාධ්‍යයක් විදිහට වර්ධනය වූ පසු ප්‍රේක්ෂකයින් නාට්‍ය නැරඹීමයි. ඒ කී නාට්‍යය නැරඹීම වර්ධනය වූ නගරවල නැතහොත් එම පරිසරයන් වල තිබුනු සුවිශේෂත්වය වන්නේ ඒවා සංගීතයේ සිට සාහිත්‍යය දක්වා අනිකුත් කලාවන් ද දර්ශනයේ සිට දේශපාලනය දක්වා තවත් විවිධාකාර මතවාද සහ කතිකාවන්ද එක හා සමානව අභ්‍යාස කරන තෝතැන්නක් බවට පත් වී තිබීමයි. වෙනත් විදිහකට කියනවා නම් නාට්‍ය සංස්කෘතිය වර්ධනය වෙන්නේ අන්න ඒ පුළුල් කතිකාව මැදයි. මුළු බටහිර නාට්‍ය කලාවටම බලපෑමක් කරපු ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය පවා ක්‍රිපූ 335 දී පමණ (Poetics) බිහි වෙන්නෙ ග්‍රීක නාට්‍ය කලාවේ සියලුම සංස්කෘතික අභ්‍යාසවල උපරිම අවස්ථාවේදීයි. ඒ ග්‍රන්ථය පවා අධ්‍යයනය කරනවට අපට පෙනී යන්නේ එය හුදෙක් නාට්‍යය නිෂ්පාදන වලින් පමණක් බිහි වුණු දෙයක් නෙමෙයි ඊට වඩා පුළුල් කලා සහ දාර්ශනික කතිකාවක් තුළින් බිහිවුණු කෘතියක් බවයි. කෙසේ හෝ ඉතිහාසය පුරාම නාට්‍ය නැරඹීම පැවතිලා තියෙන්නේ මූලික වශයෙන් නාගරික සංස්කෘතික ක්‍රියාකාරකමක් විදිහටයි. මෙසේ ලෝක නාට්‍ය කලාවට වඩාම බලපෑමක් කරපු ප්‍රකට නාට්‍ය සංස්කෘතීන්ගෙන් කීපයක් තමයි ඇතැන්ස්, ලන්ඩන් ( වෙස්ට් එන්ඩ්) නිව් යෝර්ක් (බ්‍රෝඩ්වේ, ඕෆ් බ්‍රෝඩ්වේ) බර්ලින්, මොස්කව් ,පැරිස්, එඩින්බර්ග් ආදී නගර කේන්ද්‍රිත නාට්‍ය කලාව.


ඒ වගේම මෙම දියුණු නාට්‍ය සමාජයන් දිහා බලන කොට අපට පෙනී යන්නේ නාට්‍ය නැරඹීම කියන කාරණය සංස්කෘතික පුරුද්දක් ලෙසට නිතරම රඟහලක් කේන්ද්‍රකරගෙන වර්ධනය වී ඇති බවයි. එම සංස්කෘතික පුරුද්ද නොපවතින තැන්වල ඊට සාපේක්ෂව දියුණු නාට්‍ය කලාවක් ද නොපවතින බව පෙනෙන්න තියෙනවා. එතනදී නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් යනුවෙන් අදහස් කරන්නේ නාට්‍ය නැරඹීමට යාම පල්ලි හෝ පන්සල් යාම මෙන් හුරු පුරුද්දක් ලෙසට කෙනකුගේ ජීවිතයේ සමාජශීලී වීමේ කොටසක් වීමයි.

විශේෂයෙන් බටහිර නාට්‍ය කලාවේ නාට්‍ය නරඹන ස්ථානය වූ රඟහලක් යනු බොහෝ විට නාට්‍ය නැරඹීමේ මුල්කරගෙන මිනිසුන් හමුවන ඔවුන් සමාජශීලී වන සංකීර්ණ සංස්කෘතික අවකාශයක්. සාමාන්‍යයෙන් එවැනි රඟහලක් තුළ මිලදී ගැනීමට හෝ කියවීමට පොත්, කෝපි හෝ බියර් වයින් වැනි දෙයක් බීමට පබ් එකක් වැනි යම් නිදහස් තැන්, සමහර විට රඟහලට ආවේණික කෞතුකාගාරයක් සහ කලාගාරයක් වැනි පහසුකම් ද ඇති අවකාශයක් තියනවා.

අපි දන්නවා කලා ආශ්වාදයේ ඇති එක්තරා නෛසර්ගික ලක්ෂණයක් නම් අපට යම් කලා ආශ්වාදයක් ලබා නිහඩව ඉන්නට අපහසු වන අතර එහි ගුණදොස් තව කෙනකු සමඟ බෙදාගන්නට අවශ්‍යයි.. කෘතිය වඩා පුළුල්ව තේරුම් ගැනීමටත් ඒ හරහා අපගේ ජීවන අවබෝධය සහ ආශ්වාදය වැඩි කිරිමටත් මේ කතිකාව ඉතා වැදගත් වෙනවා. කලා කෘතිය ද ඒ හරහා විචාරයකට ලක් වෙනවා. මෙම පරිසරය තුළ ඇතිවන විශේෂම දේ නම් මිනිසුන් එකිනෙකා ආශ්වාදජනක ලෙස ( නාට්‍ය නම් ) මානව අත්දැකීමක් මුල් කරගෙන හමුවීමයි. සාමාන්‍යයෙන් නිතර නාට්‍ය නරඹන හමුවන සමාජයන් වල මිනිසුන් අතරේ ඔවුන්ටම ආවේණික ජීවිතය පිළිබඳව වඩා විමුක්තිකාමී සහ පර්යේෂණාත්මක අදහස් ඇති ඉතා රසවත් උප සංස්කෘතික ලක්ෂණ පවා ගොඩනැඟී තියෙනවා.

දැන් අපි ශ්‍රී ලංකාව දිහාට හැරෙමු. ශ්‍රී ලංකාවේ නාට්‍ය සංස්කෘතිය පමණක් නෙමෙයි සමස්තයක් ලෙස සංස්කෘතික ජීවිතය සම්බන්ධයෙන්ම වැරදුනු එක්තරා තැනක් මෙතැනදී අපිට හඳුනා ගන්න සිද්ද වෙනවා. ඒ තමයි නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ආකෘතිය නිර්මාණය කරන කොටම ඒ සංස්කෘතික ජීවිතය කියන දේ පිළිබඳව පුළුල් අවබෝධයක් කිසිවෙකුට තිබිලා නැති වීම. මෙතැනදී සංස්කෘති ජීවිතයක් යනුවෙන් අදහස් කරන්නේ ක්‍රීඩාවේ සිට කලාව දක්වා – කෝපි බීමේ සිට පෙම්වතුන් ගේ හමුවීම් දක්වා- සෑම වයස මට්ටම් වල මිනිසුන් ට එකිනෙකා හමු වීමට සමාජශීලී වීමට ලබාදෙන්නා වූ ක්‍රියාකාරකම් සහ අවකාශයයි. ජපානය ඇතුළු බොහෝ බටහිර යුරෝපීය රටවල් නූතනකරණය ට ලක්වීමත් සමග ඔවුන්ට සාම්ප්‍රදායිකව තිබුණු එවැනි සංස්කෘතික අවකාශයන් පවා නූතන සමාජය තුළ සංස්කෘතික අභ්‍යාස යන අර්ථයෙන් සුරක්ෂිත කිරීමට විවිධ පියවර ගත්තා. උදාහරණයකට,ඒ රටවල් වල සුපර්මාකට් වැනි විශාල වෙළඳපොළවල් නිර්මාණය වෙද්දිම ගමේ තිබුණු කුඩා පොල ඔවුන් නැති කරගත්තේ නෑ. අදත් ගමේ පොළ විනෝදයට වගාකරන සහ සුළු නිෂ්පාදන කරන වෘතීය වෙළෙන්දන් නොවන අයගේ නිෂ්පාදන අලෙවි කිරීමට ඇති අහල පහල අය සමාජශීලී වීමට හමුවන සංස්කෘතික ක්‍රියාකාරකමක් විදිහට රාජ්‍ය අනුග්‍රහයෙන් ඔවුන් පවත්වාගෙන යනවා. පත්තරේ කියවමින් කෝපි බොන්ඩ හමුවුන තැන තවමත් නූතන කැෆේ වර්ග ලෙසට පරිවර්තනය වී ඒ ක්‍රියාකාරකම් සමගම පවතිනවා. ශ්‍රී ලංකාවේ ද තිබුණ කඩමණ්ඩියට ගොස් තේ හෝ කෝපි බිබී දාන් ඇඳීමේ සංස්කෘතිය, ඒ වගේම අපට තිබුණා පසුකාලීනව ගොඩනැඟුණු එක්තරා දියුණු වොලිබෝල් සංස්කෘතියක්, ගමේ ගැහැණු පිරිමි සියලුම දෙනා එක්ව හවසට වොලිබෝල් ගහමින් නරඹමින් සමාජශීලි වුණා. මේවාය් සංස්කෘතික ජීවිතයකට ඇති වටිනාකම් තේරුම් ගෙන සුරක්ෂිත කිරීමට විශේෂ සැලැස්මක් රජයට තිබුණෙ නැහැ. නාට්‍ය කලාව විෂයක් සහ සංදර්ශනයකට වඩා එහා ගොස් සංස්කෘතික අභ්‍යාසයක් විදියට පුළුල්ව තේරුම් නොගන්නේත් මේ සන්දර්භය තුළයි.

ඒ අනුව නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් විදිහට කල්පනා කර නිර්මාණය කරපු එකදු රඟහලක්වත් ශ්‍රී ලංකාවේ නැති බව කිව යුතුයි. සාමාන්‍යයෙන් නාට්‍ය සඳහා වඩාත්ම උචිත රඟහලක් විදිහට බිහිවුණේ ලයනල් වෙන්ඩ්ට් පමණයි. අනිත් බොහෝ තැන් වල නාට්‍ය පෙන්වුයේ එක්කෝ පාසල් ශාලාවල එහෙම නැත්නම් වෙනත් වැඩ සඳහා හදපු ප්‍රජා ශාලා සහ ශ්‍රවණාගාර වලයි. නාට්‍යයක් පෙන්වීම සඳහා සුදුසු වාස්තවිකත්වය නැති වීමටත් වඩා මෙම රංග ශාලා වල ඇති අර්බුදය නම් ඒවා තුළ අර පෙර කී ලෙස නාට්‍ය සංස්කෘතියක් ගොඩනැගෙන්නට හැකියාවක් නැති වීමයි. සාමාන්‍යයෙන් නාට්‍යයක හොඳම හරිය ආරම්භ වන්නේ නාට්‍යයෙන් පසු නළුවන් සහ ප්‍රේක්ෂකයින් වැළඳගෙන දොඩමළු වෙන මොහොතේ නමුත් ඒ මොහොතේ තමයි අපේ ශාලා මුරකරු යතුරු කැරැල්ලයි කොස්සයි අරන් ඇවිත් අහන්න පටන් ගන්නේ එළියට යන්නේ කීයටද කියලා!
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යාපෘති වැඩසටහන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන නමුත් අවාසනාවට ඒවා නාට්‍ය නැරඹීම සංස්කෘතික පුරුද්දක් බවට පත් කරන්නේ කෙසේද කියන කාරණයට එතරම් අවධානයක් ලබා දීලා නැති බවයි පෙනෙන්නේ. විශේෂයෙන් ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ නැත්නම් කළ යුත්තේ නාට්‍යය පමණක්ම ප්‍රධානම කාරණය නොවූ සංස්කෘතික පරිසරයක් නාට්‍ය නරඹන තැන ඇති කිරීමයි. එවැනි පරිසරයක් ඇති වූ පසු ක්‍රමයෙන් ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය වීමට එය පසුබිමක් වෙනවා. මීට යම් නිදර්ශනයක් කියන්නම් ,ඕස්ට්‍රේලියාවේ තියෙනවා කොමියුනිටි තියටර් cominity කියලා නාට්‍ය කලාවක්. (මෙය විවිධ විදිහට තවත් සමහර බටහිර යුරෝපීය රටවල් වල තියෙනවා.) සාමාන්‍යයෙන් එය තියෙන්නේ නගරයෙන් වඩා ඈතට යන ප්‍රදේශ වලයි. අවම ප්‍රේක්ෂකයින් 25 ක ගේ පමණ සිට සීයක් එකසිය පනහක් පමණ වන අවකාශයන් වල පවත්වාගෙන යන මෙය හඳුනාගන්නෙ වෘත්තීය නාට්‍ය කලාවක් විදිහට නෙමෙයි. මෙයට සම්බන්ධ සියලුම දෙනා අවට ප්‍රදේශයේ පිරිස වන අතර වෙනත් රැකියාවන් කරන අතරේ ඔවුන් හුදු විනෝදාස්වාදය උදෙසා යි මේ නාට්‍ය කලාව කරන්නේ. රාජ්‍ය අනුග්‍රහය ලබන මෙහි ඇති විශේෂත්වය නම් එය නාට්‍යය කුමක් වුවත් ප්‍රදේශයේ කට්ටිය හවසට සෙට් වෙන සංස්කෘතික අභ්‍යාසයක් බවට පත් වී තිබීමයි. හේතුව එම ස්ථානය නාට්‍යය පෙන්වීමට වඩා එහා ගියා වූ සංස්කෘතික අවකාශයක් බවට පත් කර තිබීමයි. මෙය වෘත්තීය නාට්‍ය කලාවට අලුතින් ප්‍රේක්ෂකයින් බිහිකරන සහ ශිල්පීන් කැඳවන එක්තරා මූලස්ථානයක් වෙනවා.

ශ්‍රී ලංකාවේ රජය විසින් කළ යුතුව තිබුණේ සංස්කෘතික ජීවිතය කියන එක සෞඛ්‍ය අධ්‍යාපනය තරම්ම ජනතාවට ‍අත්‍යවශ්‍ය කාරණයක් විදිහට පුළුල්ව තේරුම් ගනිමින් එහි නාට්‍ය යනු ඉතා වැදගත් අංගයක් බවද තේරුම් ගනිමින් ඊට වෙළෙඳපොළ ආකෘතියක් ලබාදෙමින් නමුත් ලාභ නොලබන තැන් වලට අනුග්‍රහය ලබාදෙමින් පවත්වාගෙන යාමයි.( නෙළුම් පොකුණ වැනි ප්‍රසාංගික කලා සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ඒවායේ අරමුණු සහ ආකෘතියෙන් ම නාට්‍ය සංස්කෘතියක් වර්ධනය කිරීමට සහයෝගය දෙන ඒවා නොවන බව ඔබට තේරුම් යා යුතුයි).නාට්‍ය උළෙලවල්, පාඨමාලා පැවැත්වීම සහ විෂයන් විදිහට ඇතුළත් කිරීම ආදියෙන් පමණක් නාට්‍ය කලාවක් සංවර්ධනය වන් නැති බව දැන් තහවුරු වී හමාරයි. ශ්‍රී ලංකාවේ රජයන් නාට්‍ය කලාව සඳහා වෙන් කරන ප්‍රතිපාදන වලටත් වඩා ප්‍රශ්නය වන්නේ නිවරදි අදහස් සංකල්ප සැලසුම් නැතිකම සහ ඒවා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට අසමත් වීමයි.

ඉහත අපි සාකච්ඡා කරපු නාට්‍ය සංස්කෘතියක වැදගත්කම ඇසුරින් ශ්‍රී ලංකාවේ නාට්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා දෙකක් දෙස දැන් බලමු.

පළමු යෝජනාව, නාට්‍ය කලාව මුල්කරගත් ප්‍රසාංගික කලා සංකීර්ණයක් කොළඹ නගරයේ ඉදිකිරීම. එය විවිධ ප්‍රමාණයේ රඟහලවල් දෙකක් හෝ තුනක්, විවිධ ප්‍රමාණයේ පුහුණුවීම් ශාලා කිහිපයක්, කලාගාරයක්, රංග කලා කෞතුකාගාරයක්, පොත් කඩයක් ,රංග කලා පුස්තකාලයක් ආපනශාලාවක් සමග බාර් එකක් ඇතුළු නාට්‍ය හා රංග කලාවට මෙන්ම හැකිතරම් අනිකුත් කලා හා ශාස්ත්‍රීය අභ්‍යාස වලට පහසුකම් සලසන දේවල් වලින් යුක්ත විය යුතුයි. එසේම එහි එන යන සියලුම දෙනාට කැමති පරිදි රස්තියාදු ගැසීමට කාලය ගත කිරීමට නිදහස තිබිය යුතුයි. ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය කිරීමට හේතුවන සංස්කෘතික පරිසරයක් සහ දියුණු කතිකාවක් එවැනි තැන්වල ගොඩනැගෙන්නට නියමිතයි. වැඩි දුරටත් අවශ්‍යනම් මෙම ආකෘතියේ ම විවිධ ප්‍රමාණයේ රංග කලා සංකීර්ණ රටේ අනිකුත් ප්‍රදේශ වලද ගොඩනඟන්නට උත්සාහ කළ හැකියි.
දෙවන යෝජනාව, කුඩා ලමුන් නාට්‍ය නැරඹීමේ සංස්කෘතියට හුරු කිරීම. විශේෂයෙන් පාසල් වලට විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව තිබුණාට කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර කුඩා ළමයින් නාට්‍ය නැරඹීම කියන කටයුත්තට සංස්කෘතිකව පුහුණු කළ යුතුයි. සතියේ නිශ්චිත දවසක පාසලේම හෝ ඉන් පිටත සාමූහිකව නාට්‍ය නරඹන්නට යමින් නාට්‍ය නැරඹීම ඔවුන්ගේ පාසලේ සහ ළමා කාලයේ විනෝදජනක සංස්කෘතික අංගයක් බවට පත්කළ යුතුයි. බොහෝ බටහිර යුරෝපීය රටවල් වල මිනිසුන් බස්රථ වල සහ පෝලිම් වල පවා රැඳී සිටින විට පොත් කියවනවා ඔබ දැක ඇති. මිට හේතුව නම් ඉතාම කුඩා කාලයේ සිට පාසල් මට්ටමෙන් විෂයෙන් බාහිර පොත් කියවීම සංස්කෘතික පුරුද්දක් විදිහට ඔවුන්ට හුරු කිරීමයි. ඉන්පසු දෙමව්පියන්ගෙන් ද එය පැවත ඒමයි. ඒ නිසා මෙවැනි අභ්‍යාස ඇති කිරීමට ඉතාම හොඳ කාලය කුඩා කාලයයි.

පින්තුරය: The Tightrope.පීටර් බෲක් (Peter Brook)ශිෂ්‍යයින්ට වැඩමුළුවක් මෙහෙ වන මොහොතක දී ඔහුගේ පුත් සයිමන් බෲක්(Simon Brook) විසින් සඟවපු කැමරා පහකින් පටිගත කර හදපු වාර්තා චිත්‍රපටිය.

පුළුල් රංග කලා කතිකාවක් උදෙසා


ශ්‍රී ලාංකේය නාට්‍ය කළාවේ අර්බුදය 1

 ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ගැන විමසන කෙනෙකුට , එය ඉගෙන ගන්න හෝ එහි අර්බුද තේරුම් ගන්න හදන කෙනෙකුට පමණක් නෙවෙයි ඒ පිළිබඳ වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන්නෙකු පවා මුහුණ දෙන ප්‍රධානම සහ පළවෙනිම අභියෝගය නම් නාට්‍ය කලා විෂයේ ප්‍රමාණවත් අධ්‍යයන පර්යේෂණ කරලා නැතිවීමත් අවශ්‍ය මූලාශ්‍ර පිළිබඳව ප්‍රමාණවත් සංරක්ෂණයක් හෝ නැති වීමයි. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අර්බුදය තේරුම් ගන්නට උත්සාහ කරන මෙම ලිපිපෙළ ලියන්නට යාමේදී මම ද මුහුණ දුන් ප්‍රධානම අභියෝගය නම් සමහර අංශ සම්බන්ධයෙන් අවශ්‍ය මූලාශ්‍ර සොයා ගන්නේ කෙසේද කියන එකයි.

උදාහරණයක් ලෙසට, අපි හිතමු, ශ්‍රී ලංකාවේ භීෂණ සමයේ නාට්‍ය නිෂ්පාදන වල රාජ්‍ය වාරණයෙන් ගැලවීම උදෙසා නිර්මාණය වූ රංග ශෛලීන් සහ උපක්‍රම පිළිබඳව අපි අධ්‍යයනය කරනවා නම් හෝ කතා කරනවා නම් ඒ සඳහා අප පාදක කරගන්න අපට දැනුම ලබාදෙන විශ්වාසනීය අධ්‍යන පර්යේෂණ සහ මූලාශ්‍ර මොනවාද? පිටපත් ඇතුළු ඊට අදාළ මූලාශ්‍ර සොයා ගැනීමට යම් පිළිවෙලක් හෝ සංරක්ෂණ ක්‍රමයක් තිබෙනවා ද?

රැසක් වාර්ෂිකව කෙරෙන බව අපි දන්නවා. එහෙත් අවාසනාවට ඒ පර්යේෂණ නිබන්ධන නිරික්ෂණය කරන කොට අපට පෙනී යන්නේ ඒවා බොහොමයක් බැරෑරුම්ව ගැනීමට තරම් මට්ටමක නැති බවයි. සාමාන්‍යයෙන් පර්යේෂණයකට අඩංගු විය යුතු මූලිකාංග තිබුනත් පර්යේෂණය කරලා තියෙන ආකාරය, තර්ක කරන ආකාරය, මූලාශ්‍ර සහ දත්ත සාධක උදාහරණ ඉදිරිපත් කරන ආකාරයන් අතිශය දුර්වල සහ ප්‍රශ්නකාරී යි. බරසාර බවක් පෙන්නන්නටදෝ සමහර අවස්ථාවල විදේශීය න්‍යායධරයින්ගේ ප්‍රකාශන ආදිය විවිධ තැන්වලින් ඔබ්බවා තිබුණත් ඉහත දුර්වලතා පවතින තාක් ඒවා ද තාර්කිකව සහ අර්ථ ජනනය වන ලෙස යොදාගත් බවක් පෙනෙන්නට නැහැ. මෙම රචනා අදාල විෂය පථය පිළිබඳව යම් අනුරාගයකින් සහ කුතුහලයකින් කළ ගවේෂණයක ප්‍රතිඵලයකට වඩා උපාධිය සඳහා හදිසියේ ලියපු සටහන් ලෙසයි අපට පෙනෙන්නේ. එසේම පසුගිය කාලයේ ඉලෙක්ට්‍රොනික් ආදී මාධ්‍ය භාවිතයත් සමඟ ඇතිවුණු ව්‍යාකූල සමාජය හේතුවෙන් බැරෑරුම් කියවීම් වලට යෑමට ඇති උනන්දුව අඩුවීම ද මෙම අධ්‍යාපනයේ ම අර්බුදයක් විදිහට සලකා විසඳුම් සෙවිය යුතුයි. කෙසේ හෝ මෙම අධ්‍යාපන පසුබිමේ ඇති අර්බුදය නිසාම විය යුතුයි පලවෙන අති බහුතරයක් පොත්පත් වලද ඉහත සඳහන් කළ දුර්වලතා එයාකාරයෙන්ම තියෙන්නේ.

මෙය තවදුරටත් ආදර්ශයකින් දෙකකින් පැහැදිලි කරන්නේ නම්, අපි දන්නවා කුමාරි ජයවර්ධන විසින් ලියූ Nobodies to Somebodies නම් අගනා පර්යේෂණය ඉන්පසු බිහිවුණ බොහෝ සමාජ අධ්‍යයනයන් සහ පර්යේෂණයන් වලට (පමණක් නොව නිර්මාණවලට පවා)විශාල මූල ග්‍රන්ථයක් වුණා. තිස්ස කාරියවසම් විසින් ලියූ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ මුල ඉතිහාසය පිලිබද ග්‍රන්ථ පෙළ (උදා: සිංහල නාට්‍යයේ විකාශනය) ද නාට්‍ය කලාව සම්බන්ධයෙන්ම රංජිනී ඔබේසේකර විසින් ලියු Sri Lankan theatre in a time of terror නම් ග්‍රන්ථය ද නිවරදිව පර්යේෂණයක් හෝ විමර්ශනයක් කරන ආකාරයට හොඳ ආදර්ශයක්. මෙවැනි සමාජ විද්‍යාත්මක පර්යේෂණ සහ විමර්ශන ප්‍රමාණවත්ව කෙරි නැතිවීමයි මම මෙතනදී පෙන්වා දෙමින් සිටින්නේ. එවැනි පර්යේෂණ කිරීමට නාට්‍ය කලාවට අදාළ මූලාශ්‍ර සොයා ගැනීම ඊටත් වඩා දුෂ්කර වෙලා තියෙන්නෙ නාට්‍ය කලාවේ තොරතුරු සම්බන්ධයෙන් විධිමත් සංරක්ෂණ වැඩසටහනක් නැති නිසායි.

ඕනෑම විෂයක් සහ ක්ෂේත්‍රයක් වර්ධනය වීමට ප්‍රධාන භූමිකාවක් කරන්නේ ඒ විෂය පිළිබඳව කරන පර්යේෂණ සහ අධ්‍යයනයි. ඒ හරහා මතු කරන ඥානමීමංසාත්මක (Epistemological) කාරණායි. ඒවා හුදෙක් පර්යේෂණ සහ අධ්‍යයන නමින් සිදු වූ පමණින් සාර්ථක නොවන අතර ඒවා සාර්ථකව කිරීමද වැදගත් වෙනවා. විෂයේ මතවාදීමය විශ්වය නැතහොත් කතිකාමය විශ්වය පොහොසත් වෙන්නේ ඒ අධ්‍යයන පර්යේෂණ හරහා නිෂ්පාදනය කරන දියුණු අදහස් සහ දැනුම ක්ෂේත්‍රය තුළ සංසරණයවීම( Circulation )මතයි. ඒවා හරහා වේදිකාවේ (ලේ පෙන්වන්නට සුදුසුද වැනි) අමුද්‍රව්‍ය( Materials) පාවිච්චි කිරීමේ සිට සභ්‍ය අසභ්‍ය භේදය ආදිය දක්වාත් නාට්‍යකරුවාගේ සමාජමය, සංස්කෘතික සහ දේශපාලන පැවැත්ම ආදිය දක්වාත් විවිධාකාර තාක්ෂණික, කලාත්මක සහ දාර්ශනික සංකල්ප සහ සීමාවන් පර්යේෂණයට ලක් විය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් සිංහල නාට්‍ය කලාවේ මෙතෙක් බිහිවුනු සීමිත පර්යේෂණ සහ විමර්ශන ග්‍රන්ථ අධ්‍යයනය කරන කොට පෙනී යන්නේ ඒවා බොහොමයක් ඉහතින් මා පෙන්වූ ආකාරයට විශ්වාසනීය කරුණු තර්ක මූලාශ්‍ර මත එතරම් බැරෑරුම්ව කෙරී නැති බවයි. සිංහල නාට්‍ය කලාව පිළිබඳ කතිකාව තුළ බොහෝ ප්‍රශ්න නොකෙරුණු මත වාද සංකල්ප විශ්වාස ඇති අතර ඒ බොහෝ කරුණු එසේ කියන්නේ කෙසේද කියන එකවත් විමර්ශනයකට හෝ ප්‍රශ්න කිරීමට ලක්නොකර යොදාගන්නවා අපිට දකින්නට තියෙනවා. මම වෙනත් තැන්වලදීද පෙන්නලා දුන්නු පරිදි එවැනි එක් වැදගත් දෝෂයක් නැවතත් මතක් කරනවා නම්, බොහෝ අවස්ථාවල ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව ලෙස අරගෙන කතා කරන්නේ දමිල සහ ඉංග්‍රීසි නාට්‍ය කලාව බැහැර කරමින් සිංහල නාට්‍ය කලාව පමණයි. බොහෝ පතපොත විමර්ශන ග්‍රන්ථ මෙසේ පරීක්ෂාවට ලක් නොකරපු අදහස් මතිමතාන්තර විශ්වාස මත පදනම්ව ලියූ ඒවායි. එසේ බලන විට ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ඉතිහාසයම නැවත ලිවිය යුතුයි. බොහෝ අදහස් හා මතිමතාන්තර ඇති වීමට බලපාපු විමර්ශන සහ අධ්‍යයනයන් නැවත පරීක්ෂාවට ලක් විය යුතුයි නැතහොත් ඒවා නැවත කියවිය යුතුයි.( වර්තමාන සිංහල නාට්‍ය කලා කතිකාවේ පොදුවේ දකින්නට ඇති අදහස් කීපයක් ගෙන ඒවා එසේ කියන්නේ කෙසේදැයි පරීක්ෂාවට ලක් කිරීමට මෙම නාට්‍ය කලාවේ අර්බුදය ලිවීමේ අවසාන අදියරේ දී මම යම් උත්සාහක යෙදෙනවා).

වර්තමානය වන විට විශේෂයෙන් සිංහල නාට්‍ය කලාවේ කතිකාව කෙතරම් දාර්ශනිකව දිළිඳු වී ඇද්දැයි කියනවානම් සුබසාධනය, වරප්‍රසාද, සම්මාන සහ සමාජයේ දිනාගැනීම සඳහා තරගකාරීත්වය ආදිය පිළිබඳ තිබෙන උනන්දුවට සාපේක්ෂව, දැනුම සහ විෂය සම්බන්ධ දාර්ශනික කාරණා පිළිබඳ උනන්දුව අඩු වෙලා ගොස් ඇති බව පේනවා. ඒ තත්ත්වය දැනුම නිෂ්පාදනය සඳහාම වෙන්වුනු ස්ථානය ලෙස සලකන විශ්වවිද්‍යාලවල ද සුභසාධනය ආදිය දිනාගැනීමට තිබෙන උනන්දුවට සාපේක්ෂව අධ්‍යාපනයේ ගුණාත්මකත්වය සම්බන්ධයෙන් උනන්දුව අඩු වීමට සමාන වෙනවා. අවසානයේ මෙවැනි දිළිඳු කතිකාවක් තුළින් පොහොසත් නිර්මාණ සහ රසිකත්වයක් බිහිවීමට හැකියාවක් ඇත්ද? දියුණු නාට්‍ය කලාවක් බිහි වීමට එතරම් ම දියුණු රංග කලා කතිකාවක් අවශ්‍යයි!
උක්ත අර්බුදය පාලනය කරගැනීමට විසඳුම් වශයෙන් යම් හදිසි යෝජනා කීපයක් අපට මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරන්න පුළුවන්.

රංග කලා අධ්‍යයන පාඨමාලා ඇතුළු විශ්වවිද්‍යාල ආදීයේ කෙරන පර්යේෂණ නිබන්ධන වඩා නිවැරදිව සහ බැරෑරුම්ව කිරීම සඳහා මීට වඩා විශේෂ අවධානයක් යොමු කිරීම. ඒවායින් වඩාත් සාර්ථක වන නිබන්ධන ග්‍රන්ථ ලෙස පළ කිරීම හෝ පොදුවේ පරිහරණයට ලබාදීම. එක් වසරකට දහස් ගණනක් විෂයට අදාළ උපාධි සඳහා කරන අති විශාල මුදල් සහ ශ්‍රමය එම විෂයට කිසිදු විශේෂ ඥානයක් සම්පාදනය නොකර අපතේ යාම ද මෙයින් වළක්වා ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දෙමළ සිංහල ඉංග්‍රීසි සෑම නාට්‍ය කලාවකට ම අදාළ සියලු ඓතිහාසික සහ සමකාලීන තොරතුරු සංරක්ෂණය කිරීමේ විධිමත් වැඩසටහනක් ඇති කිරීම.

ඊට ලංකාව පුරාම නිෂ්පාදනය වන නාට්‍යවල පිටපත් ඇතුළු හැකි තරම් නිෂ්පාදන තොරතුරු ඇතුලත් කිරීම.

වඩාත් සාර්ථකව විමර්ශන සහ පර්යේෂණ කර ඇති ප්‍රවීනයින් වෘත්තිකව යොදා ගෙන මෙතෙක් ලාංකේය නාට්‍ය කලාවෙහි කෙරී නැති විෂය පථයන් පිළිබඳව අධ්‍යයන සහ පර්යේෂණ කිරීමට සැලැස්වීම.

ඉහත දැනුම නිෂ්පාදනය කිරීමේ අර්බුදය වඩාත් කැපී පෙනෙන්නේ සිංහල භාෂාවෙන් කරන ලද වැඩ වල බැවින් විශ්ව නාට්‍ය කලාවේ ඉතාම වැදගත් ග්‍රන්ථ හැකිතරම් සිංහලයට පරිවර්තනය කිරීමේ පුළුල් වැඩසටහනක් ඇති කිරීම.

ශ්‍රී ලාංකේය නාටය්‍ය කළාවේ අර්බුදය ‘ හදුනා ගැනීම සඳහා ලියන ලිපි පෙළක පළමුවෙනි ලිපිය එයයි. මෙහි සඳහන් කළේ එහි එකම අර්බුදය නොව අර්බුදයේ එක් ප්‍රධාන පැත්තක් පමණයි. එය විවිධ කොටස් වලින් ඉදිරියේ දී තවදුරටත් අපි පුළුල්ව හඳුනා ගන්නට උත්සාහ කරමු.


Image: Adam’s Passion by Robert Wilson

නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වඩා දියුණු හොඳින් සංවිධානාත්මක වූ නාට්‍ය කලාවක් ඇති සෑම රටකම වගේ නාට්‍ය කලාව සහ සංචාරක කර්මාන්තය අතර හොඳ සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ...

සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක්